Posted on 10.30.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
PCR පරික්ෂණ සම්බන්ධ උද්ගතව ඇති ගැටලු නිසා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම දුෂ්කරවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ අනතුරු අගවයි.
මේ වනවිට කෝවිඩ් 19 සම්බන්ධ හඳුනාගැනීමේ PCR පරික්ෂණවල ප්‍රතිඵල නිසි කාර්යක්ෂම ආකාරයෙන් නිකුත් කිරීම දුෂ්කර වී ඇත්තේ එම පරික්ෂණ සඳහා භිවිත කෙරෙන යන්ත්‍ර අක්‍රියවීම හෝ PCR පරික්ෂණ කට්ටල හිගය නිසා බව ඔහු පෙන්වා දෙයි. මේ තත්වය නිසා ඇතැම් අත්‍යවශ්‍ය PCR පරික්ෂණ සංඛ්‍යාත්මක මට්ටමෙන් සිදු නොකිරීම වසංගතය නැවත වර්ධනය වීමේ හේතුවක් විය හැකි බව වෛද්‍ය අලුත්ගේ පවසයි.
එසේම මේ වනවිට ඇතැම් දිස්ත්‍රික්කවල රෝගීන් හමු නොවීම හේතුවෙන් එම ප්‍රදේශවල PCR පරික්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවක් නැති බවට මතයක් වර්ධනය වෙමින් පවතින බවද එය කොරෝනා පොකුරු නොදැනුවත්ව එවැනි ප්‍රදේශවලින් මතුවීමේ තත්වයකට හේතු විය හැකි බවද පවසයි.
වෛද්‍ය හරිත අලුත්ගේ අද ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ අදහස් මෙසේය.
“කෝවිඩ් 19 සම්බන්ධයෙන් PCRපරික්ෂණවලට සතියකට පෙර ගත්තු සාම්පලවල ප්‍රතිඵල තවමත් ඇවිත් නැහැ. මේක ඉතාමත් අවාසනාවන්ත කණගාටුදායක තත්ත්වයක්. සාමාන්‍යයෙන් 100ක් බැලුවොත් 2.5ක් 3ක් වගේ ප්‍රමාණයක් “පොසිටිව්“ වෙනවා. එතකොට මේ 20000 තුළ අපි උපකල්පනය කළහොත් ඒ ගණන, මේ 20000යේ ප්‍රතිඵල අඩුමගානේ තව 500ක්, 600ක් “පොසිටිව්“ වෙන්න ඕනේ. මේක අද නතරවෙන ප්‍රශ්නයක් නෙමෙයි. සමහර ප්‍රදේශවල සමාජ නියැඳිවලට තැනක් දිලා නැහැ. ඒ වාර්තාව කරුණාකරලා කැඳවන්න ජනාධිපතිතුමනි. එතකොට තමයි ඔබතුමාට තේරෙන්නේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය කොහොමද වැඩකරලා තියෙන්නේ කියලා. වයඹ පළාත තුළ කුරුණෑගල දිසිත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක සමාජ නියැදි කිසිවක් සිදුවෙන්නේ නැහැ. දවසකට කුරුණෑගල දිස්ත්‍රික්කයටම ලැබෙන්නේ PCR කරන්න අදාළ උපකරණ කට්ටල 50ක විතර ප්‍රමාණයක්. ඒ 50යෙන් කොහොමද සමාජ නියැඳි කරන්නේ. මාතර අය අපිට කථා කළා. මාතර මේ වෙනකොට ගත්ත සාම්පල 3000ක ප්‍රතිඵල ලැබෙන්න තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ දවස් 5කට 6කට ගත්ත සාම්පල තවම ලැබිලා නැහැ.”