தமிழ்
English
Contact
Sunday 28th February 2021    
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සාමූහික ප්‍රකාශනයක් නිකුත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සාමූහික ප්‍රකාශනයක් නිකුත් කරයි



එක්සත් ජාතීන්ගේ විශේඥයින් දහසය දෙනෙකු, මානව හිමිකම් කවුන්සිලය සහ එහි සාමාජික රටවල් සාමූහික ප්‍රකාශනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ස්වාධීන අධීක්ෂණය, විශ්ලේෂණය සහ වාර්තා කිරීම ශක්තිමත් කළ යුතු අතර ඒ් සඳහා අපක්ෂපාතී හා ස්වාධීන ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි කියා සිටී.

මෙම මස 22වන දින ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වනු ඇති අතර මෙම ප්‍රකාශණයද ඒ සඳහා උපයෝගී වනු ඇතැයි විශ්වාස කැරේ.

එකී දීර්ඝ ප්‍රකාශනය හදුන්වාදෙමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් කෙටි මාධ්‍ය නිවේදනයක් එදිනම එනම් පෙබරවාරි 05 දින නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නැවත ගොඩනැඟීම සම්බන්ධයෙන් මෑත වසරවල දී ලැබූ ප්‍රගතිය ආපසු හැරවීම නවත්වන ලෙසත්, අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා කටයුතු කරන ලෙසත් වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

2015 සිට 2019 දක්වා එකී විශේෂඥයින් මෙරට නිල සංචාර 10 ක යෙදුණු අතර මානව හිමිකම් ප්‍රවර්ධනය සහ රැකගැනීම පිනිස ඔවුන් විසින් නිර්දේශ 400 ක් පමණ ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබේ. එකී සංචාරයන්හිදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලී සිවිල් සමාජයට ඉඩක් විවර වී ඇති බව දුටු බවත් එනමුත් දැන් එම අවකාශය වඩ වඩාත් හිරවී හා අනාරක්‍ෂිත වී තත්වයට පත්ව තිබේ.

ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ප්‍රජා අවකාශය අඩු කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වැදගත් ආයතනික ආරක්‍ෂණ දුර්වල කිරීම කිරීම යනාදී වර්ධනයන් සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශ කරන විශේෂඥයෝ එන්න එන්නම ඉහළ යන ආණ්ඩුවේ බහුතරවාදී තර්ක විතර්ක විසින් වින්දිතයින් සහ සුලතර ප්‍රජාවන් තර්ජනයට ලක් කරන බව ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා සිදුවූ ‍ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය රට කෙරෙහි දැවැන්ත පීඩනයක් ඇති කර ඇති බව සඳහන් කරන එම නිවේදනය එසේ වෙතත් ජාතික ආරක්‍ෂාව කේන්ද්‍රීයව මෙම අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමත් සහ සක්‍රීය යුද සේවයේ සිටින සහ යුද අපරාධවලට සම්බන්ධ යැයි කියනු ලබන හිටපු හමුදා නිලධාරීන් පත් කිරීමත් මගින් දක්නට ලැබෙන සිවිල් මහජන කටයුතු මිලිටරීකරනය කිරීමේ වේගවත් ප්‍රවණතාවය තැතිගන්වන සුළු යැයිද ප්‍රකාශ කරයි.‍

වැදගත් ආයතනික තුළන සහ සංවරණයන් ඉවත් කළ මෑතකදී අනුමත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 20 වැනි සංශෝධනයත් සමඟ එවැනි මිලිටරිකරණ ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ ආයතනවල සහ අධිකරණයේ අඛණ්ඩතාවයට තර්ජනයක් වී ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට අත්‍යවශ්‍ය වන ආරක්ෂක විධිවිධාන දුර්වල කර කර ඇත.

කොවිඩ් 19 වසංගතය අතරතුර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, සමාගමයේ නිදහසට අසමාන සීමාවන් පනවා ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස සමාජ මාධ්‍ය විචාරකයින් සහ වෙනත් අය අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන තිබේ.

2019 සිට රහසිගතව සොයා බැලීම් ඉහළ ගොස් තිබෙන අතර ආරක්ෂක අංශ මගින් මානව හිමිකම් ක්‍රියාධරයන්ට, මාධ්‍යකරුවන්ට හිරිහැර කිරීම්, තර්ජනය කිරීම් සහ වින්දිතයින් සඳහා පෙනී සිටින නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කෙරෙමින් ප්‍රකාශ ලබා ගැනීම වැඩිවී ඇත.

දෙමළ ජාතික සහ මුස්ලිම් ආගමික සුළුතරයන් කොන් කිරීම සහ ගැරහීම විශේෂයෙන්ම වසංගත සමයෙහි කැපී පෙනේ. සුළුතර ජාතීන්ට විශම ලෙස වෙන් කොට සැළකීම් උත්සන්න කැරෙන අදහස් දැක්වීම් නතර කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් අසමත්ව තිබේ.

සංස්කෘතික–ආගමික චාරිත්‍ර නොතකා කොවිඩ් ආසාදිතව මරණයට පත්වන්නවුන්ගේ සිරුරු බලෙන් ආදාහනය නතර කළ යුතුය.

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ අතුරුදහන්වීම් සිදුව තිබියදීත් එකී අපරාධකරුවන් අල්ලා ගැනීමට ශ්‍රී ලාංකික බලධාරීන් සමත් වී නැත.

යුද්ධයෙන් වැන්දඹු භාවයට පත්වූ ස්ත්‍රීන් මෙන්ම අතුරුදන්වූවන්ට සාධාරණත්වය සහ ඒවාට වගකිවයුත්තන් සොයා උද්ඝෝෂන කරන ස්ත්‍රී ක්‍රියාධරියන් සැවොම සිටින්නේ සුවිශේෂී අවදානමකය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම මෙන්ම බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වා ඇති නොසැලකිල්ලද වාර්තව පෙන්වා දෙයි.

අත් අඩංගුවෙහි සිටිය දී මරණයට පත්වීම්, පැහැරගෙන යාම් සහ වධහිංසා පැමිණවීම් දිගින් දිගටම ඉහළ යමින් තිබේ.

යුද්ධය අවසන් වූ 2009 වර්ශයේ සිට දොළොස් වසරක් ගතවී ඇතත් මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයන් සිදුව නැතිකම හෙළා දකින විශේෂඥයෝ කවර හෝ දේශීය වගවීමේ පියවරක් ඉදිරියට යනු ඇතැයි හෝ කිසිදු බලාපොරොත්තුවක් පිළිබඳ විශ්වාසයක් ඇති කරගත නොහැකි බවද පෙන්වා දෙති.

සිය වාර්තා මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් තවදුරටත් වළංගු බව පෙන්වා දෙන විශේෂඥයෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික වගවීමේ පියවරයන් අනුගමනය කරන ලෙසත් වගවීම හැකි උපරිම මට්ටමෙන් රට තුළ ඉහළ නැංවීම සඳහා යෙදිය හැකි හැම විකල්පයක්ම යොදා ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් මෙන් ම ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද ඉල්ලා සිටී.

මෙම තත්වය යටතේ මානව හිමිකම් කවුන්සිලය සහ එහි සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ ස්වාධීන අධීක්ෂණය විශ්ලේෂණය සහ වාර්තා කිරීම ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා අපක්ෂපාතී සහ ස්වාධීන ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළයුතු ය. එහිලා දැනටමත් එක්සත් ජාතීන්ගේ විවිධ යාන්ත්‍රණයන් විසින් රැස්කර ඇති තොරතුරු සහ විශ්ලේෂණයන්ද පදනම් කරගත හැකිය.