தமிழ்
English
Contact
Sunday 31st May 2020    
ඔත්තු නිලධාරින්ට නීති විරෝධි කටයුතුවලට බලය පවරන පනතක් - පෙ.ස.ප. හෙළි කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඔත්තු නිලධාරින්ට නීති විරෝධි කටයුතුවලට බලය පවරන පනතක් – පෙ.ස.ප. හෙළි කරයි



ආණ්ඩුව විසින් ඔත්තුකාර සේවාවන්හි නිලධාරින්ට නීතියේ රැකවරණය ලබාදෙමින් ඔවුන් මර්දනය සහා කරන ඕනෑම ක්‍රියාවකින් ආරක්ෂා කිරෟමේ නීති ගෙන එන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චොද්නා කරයි.

පෙ.ස.ප. පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනි. ජනවාරි 20 වැනිදා බත්තරමුල්ල පෙ.ස.ප. කාර්යාලයේ පැවති මාධය හමුවකදී ඔහු පළ කළ අදහස් කෙටියෙන් මෙසේය.

“ජනවාරි 14 වැනිදා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය විසින් ‘ජාතික ආරක්ෂාවට බලපෑම් කරන ක්‍රියාකාරකම් පුරෝකථනයකර ඒවා වැළැක්වීම පිණිස අවශ්‍ය ක්‍රියමාර්ග ගැනීම හා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ලංකාවෙ බුද්ධි ආයතනවලට බලය පවරන පනතක් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතා ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්‍ර ආවරණයවන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් සඳහා කෙටුම්පතක් සකස් කරන ලෙස පැමිණි යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කළ බව සඳහන් වේ.

ඇමති මණ්ඩලය සකස්කළ ප්‍රතිපත්ති රාමුවේ තිබෙන්නේ ඔත්තු සේවා නියාමනය කිරීමේ හා බලගැන්වීමේ අදහසක් පැවති නමුත් මෙම පනතෙන් ඔත්තු සේවා බලගැන්වීම පමණක් සිදුකරන බව එහිදී සඳහන් විය. ත්තු සේවා නිලධාරින්ට නීතියේ මුක්තිය ලබාදීම එහි අරමුණකි. ඒ කියන්නෙ ඔත්තු සේවා නිලධාරින් රාජකාරියේ යෙදී සිටිනවිට රටේ යම් නීතියක් කඩ කළොත් ඒ නිලධාරියා ආරක්ෂා කිරීම මෙම නීතියෙන් සිදුවන කාර්යයක්. ලංකාවෙ නීතිය අනුව, තමන් කළ රාජකාරි මත නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන්න බැරි එක් කෙනයි, ඒ ජනාධිපති. විධායක ජනාධිපතිවරයාට නීතියේ මුක්තිය සම්බන්ධ විශාල සංවාදයක් තිබෙනවා. අවුරුදු 40ක් තිස්සේ මේ සම්බන්ධයෙන් විවිධ පොරොන්දු දුන්නා. අපේක්ෂකයන් හැටියට මේක වෙනස්කරනවා කියලා පොරොන්දු දෙනවා, නමුත් ඒ පොරොන්දු කවදාවත් ඉටු කලේ නෑ. ජනාධිපති සාමාන්‍ය නීතිය කැඩුවත් නීතිය හමුවට ගේන්න හැකියාවක් නෑ.

දැන් මේ එක් කෙනෙක් නෙවෙයි දහස් ගනනකට නීථියේ මුක්තිය දෙන ප්‍රතිපාදන ගේන්න යන්නෙ. හමුදා ඔත්තුකාරයන්, පොලිස් ඔත්තුකාරයන් හා වෙනත් රාජ්‍ය ඔත්තුකාරයන්ට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නීතියේ මුක්තිය ලබා දෙන්නෙ රටේ නීතිය කඩකළොත් එවුන් ආරක්ෂා කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පහුගිය කාලෙ විශාල ඝෝෂාවක් කළ අය මේ සම්බන්ධයෙන් අවධානයක් යොමුකරල නෑ. රනිල් වික්‍රමසිංහට රස්සාව නැතිකරපු 2019 ඔක්තෝබර් 26න් පස්සෙ මේ අය ලොක් කලබලයක් කළා. මේ වනවිට 15000කට රැකියා අහිමි වුණ, ලංගම සේවකයන් 1500ට උසස්වීම් අහිමි කරපු තත්වයක් තියෙන්නෙ. එහෙත් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් කට හොල්ලන්න තවම මේ ව්‍යාජ සටන්කාමින් සමත් වෙලා නෑ. අපි කියන්නෙ රනිල්ගෙ රස්සාව ගැන විතරක් සටන් කරපු අයට මේ ඇතිත පීඩාවට මුහුණ දෙන පිරිස ගැනත් කතා කරන්න කියලා. ආණ්ඩුව විසින් මේ නීතියෙ මුක්තිය ලබාදීලා වරප්‍රසාද සහිත ලෙස ඔසවන්න හදන ඔත්තු සේවා සම්බන්ධයෙන් ප්‍රශ්නය අවධානයට ගත යුුතුයි. දැන් මේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් ලෙස සළකා බැලිය යුතුයි.

මේක අවධානය යොමුකළ යුතු තත්වයක් ලෙස අප සළකන්නෙ මේ වනවිට මේ රටේ සෑම තැනකම ඔත්තුකාරයන් යොදවා රාජ්‍ය මර්දනය උග්‍ර කරමින් තිබෙන තත්වය නිසා. නිදසුනක් හැටියට විශ්වවිද්‍යාල තුළ පමණක් මේ තත්වය දැඩි බලපෑමක් මතුකර තිබෙනවා. විශ්වවිද්‍යාල ගැටලු රාශියක් තිබියදී, විසඳුම් ඉල්ලා ශිෂ්‍යයෝ දැඩි අරගලයක නිරත වී සිටිනවා. නමුත් ඒ වෙනුවට ආණ්ඩුව මර්දනය බලවත් කරන පියවර අරගෙන. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කියන විදියට ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න විඳන්න ප්‍රමුඛතා දෙනවා වෙනුවට ශිෂ්‍ය නායකයන් දඩයම් කරන්න ඔත්තුකාරයන් 34ක් රාජකාරියට අරගෙන. මේ වනවිට ඒ අය රටේ නීතියට යටත්ව ඔත්තු බලන එක කරන්නෙ. ඒ වුණත් මේ නීතිය බලාත්මක කළොත් ශිෂ්‍ය මර්දනය වෙනුවෙන් නීතියට පිටින් ඕනම දෙයක් කරන්න ඔවුන්ට හැකි වෙනවා. ශිෂ්‍ය නායකයන් පැහැර ගන්න, ඔවුන් රඳවා තබාගන්න, මහෙස්‍ර්ාත්වරයෙකුට ඉදිරිපත් නොකර බලහත්කාරිව රවාගන්න, පහර දෙන්න, වදහිංසා පමුණුවමින් ප්‍රශ්න කරන්න හැකියාව ලබා දෙන්න තමයි මේ නීතිය ගෙන එන්නේ.

අපි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ට කියනවා මේවට අත උස්සලා එන්න එපා කියලා. මොකද මේ මර්දනය එල්ල කරන්න යන්නෙ ශිෂ්‍යයන්ට කියලා හිතන අය අහක බලාගෙන හිටියත් තමන්ට මේ මර්දනය එන වෙලාවට එවුන් ආරක්ෂා කරන්නත් නීතියක් නැති වෙනවා. නීතිය මගින් බැදිලා ඉන්න පොලිසිය පවා සැකකරුවන්ට පහරදෙන, වද දෙන තත්වයක් තිබෙනවා. පොලිසිය නීතිය ඉක්මවා කටයුතු කළ අවස්ථා තිබියදී ඔත්තුකාරයන්ට නීතියෙන් පිට වැඩකරන්න බලය දුන්නොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිවක් ඉතිරි වෙන්නෙ නෑ.

පහුගිය කාලෙ බොහෝ දෙනා කිව්වා, ගෝඨාභය රාජපක්ෂ ආවොත් මේ රටේ පිලිවෙළක් කරයි, වංචා දූෂණ නැති කරයි, නීතියේ ආධිපත්‍ය ඇති කරයි කියලා. නමුත් මේ පවතින ආර්ථික රටාව විසින් පාලකයන් ඇද දමන තත්වය විසින් තමයි ඔවුන් මර්දනකාරිත්වයට තල්ලු කරන්නෙ. විධායක ජනාදිපති ක්‍රමය මේ ආර්ථිකය ආරක්ෂා කරන්න බිහිකළ අත්තනෝමතික බලයක්. විවිධ නීති සංහෝධන මගින් එය ආරක්ෂා කරගන්න ජේ.ආර්.ගෙ සිට මහින්ද රාජපක්ෂ දක්වා කටයුතු කළා. මෛත්‍රිපාල සිරිසේන පවා ඒ බලය හොඳහැටි පාවිච්චි කළා. ඒ නිසා ගෝඨාභයත් මේ මර්දනකාරි නීති අරගෙන ඇවිත් සූධානම් වෙන්නෙ මොකටද කියන එක පැහැදිලියි.

අපි ඉතාමත් ඕනකමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් වෙනුවෙන් වැඩකරන අයට, වාමාංශිකයන්ට, වෘතිය සමිතිවලට, බහුජන සංවිධානවලට සහ සාමාන්‍ය ජනයාට ආයචනා කරනවා මේ තත්වය වහාම අවධානයට ගන්න, එලඹෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වය පරාජය කරන්න සූදානම් වන්න, හඬ නගන්න, විරෝධය දක්වන්න, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ අරගලය වෙනුවෙන් ජනතාව සමග එක්ව කටයුතු කරන්න සූදානම් බව අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා.”