தமிழ்
English
Contact
Thursday 1st October 2020    
ඖෂධ හිඟයෙන් ජනතාව පීඩාවට - මුග්ධ තීරණ හේතුවෙන් රෝහල්වලත් ඖෂධ හිගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඖෂධ හිඟයෙන් ජනතාව පීඩාවට – මුග්ධ තීරණ හේතුවෙන් රෝහල්වලත් ඖෂධ හිගයක්!



මේ වනවිට විවිධ ප්‍රදේශවල ජනතාවට එදිනෙදා අවශ්‍ය ඖෂධ ලබාගැනීමේ ගැටලුවට අමතරව රෝහල්වල ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ හිගයක් දිගින් දිගටම පවතින බව වාර්තාවේ.

මේ තත්වය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක ඖෂධ හිඟයක් පවතින බව පෙන්වා දෙමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස එම රෝහල්වල ප්‍රධානින්, ඖෂධවේදින් මෙන්ම වෛද්‍යවරු පවා ඉල්ලීම් ඉදිරිපත්කරන ලදී. මෙහි නවතම තත්වය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයකම දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරකය ප්‍රතිකාර කටයුතු සඳහා නොමැති බව අද (02) පැවැති දකුණු පළාතේ කොරෝනා වයිරස තත්ත්වය මර්දනය සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අනාවරණය විය. ඇල්පිටිය මූලික රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ නොමැති බවද එහිදී නිශ්චිත ලෙස ප්‍රකාශ කර තිබිණි. මේ අවස්ථාවේ දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග ප්‍රකාශ කර සිටියේ කොළඹ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉන්සියුලින් බෙදාහැරීමේ ප්‍රමාදයක් පවතින හෙයින් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තිය අවම කර ගනිමින් හා අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටීම වලක්වා ගනිමින් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වුණු නමුත් මෙම ගැටලුව සම්බන්දයෙන් වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ සම්බන්ධ වගකිවයුතු මැදිහත්වීමක් දක්නට නැත. කෙසේවෙතත් වසංගත රෝගයක් පවතින අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය අක්‍රිය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ බාධාවක් ඇතිව තිබේ. මේ වනවිට කැබිනට් මණ්ඩලයේ බලාධිකාරියට යටත්කර ඇති රාජ්‍ය ක්‍රියාකාරිත්වය යටතේ සෞඛ්‍ය සේවය එහි ප්‍රමුඛතා වෙනුවෙන් මෙහෙයවන්නට අවධානයක් යොමුව නැති බව අමාත්‍යංශ නිලධාරින්ගේ මතය වී ඇත. කොරෝනා වසංගතය ලංකාවේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් නිසි ප්‍රමුඛ හා ප්‍රධාන පියවරයන් ගැනීම වෙනුවට දුර්වල හා අමනෝඥ තීන්දු ගැනීම ආරම්භක අවස්ථාවේ සිට දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය දිනවල ප්‍රධාන නගරවල මෙන්ම ප්‍රදේශීය නගරවල ඔසුසල් වසා තිබීමෙන් ජනතාව මහත් අසීරු තත්වයට පත් වූහ. සියලුම පෞද්ගලික ඖෂධහල් වසාදැමීමට නියම කළේ ඇඳිරි නීතිය යටතේ ජනතාව එක් තැනක රැස්කෑමේ ප්‍රශ්නය වැළැක්වීමේ අරමුණින් බව ආණ්ඩුව ප්‍රකාශ කරණ ලදී. එහෙත් රට පුරා ඖෂධහල් 3000කින් පමණ ඖෂධ ලබාගත් ලක්ෂ ගණනක් ජනයාට රජයේ ඔසුසල්වලින් ඖෂධ බෙදාහැරීමේ හැකියාවක් නැති බව එම තීන්දුව ගන්නා විට සළකා බලා නොතිබිනි. නමුත් ඔසුසල් වසා දමා තිබීමෙන් පසුව ආණ්ඩුව නැවත පෞද්ගලික ඔසුසල්වලට ඖෂධ නිකුත් කිරීමේ අවසරය ලබා දෙන ලදී. ඒ අතරම දිගින් දිගටම ජාතික රෝහලේ මෙන්ම වෙනත් සියලු ප්‍රධාන රෝහල්වල සිට ප්‍රදේශීය ආරෝග්‍ය ශාලා දක්වා පවතින ඖෂධ හිතය තවදුරටත් ගැටලුවක්ව පවතී. දිගින් දිගටම ඇඳිරිනීතිය පනවා තිබෙන පසුබිම යටතේ මෙම ගැටලුව ඉදිරියේ මහත් බරපතළ තත්වයකට වර්ධනයවනු ඇතිබව ඖෂධවේදීහු අනතුරු අගවති.

පසුගිය වසරේ සිට වරින්වර රජයේ රෝහල්වල මෙන්ම ඇතැම් පෞද්ගලික ඔසුසල්වලද ඖෂධ හිගයක් පැවතුනි. මෙම තත්වය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් අනුගමනය කළේ ප්‍රශ්නය මගහැර යමින් නිදහසට කරුනු ඉදිරිපත් කිරීමේ පිළිවෙතකි. එහෙත් ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය’ විසින් මෙම ඖෂධ හිඟය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්  ප්‍රධාන නගරවල උද්ඝෝෂණ පවත්වන ලදී. වත්මන් ආණ්ඩුව යටතේද ඖෂධ හිගයේ ප්‍රමාණාත්මක බලපෑම සළකා බලා කිසිදු පියවරක් ගෙන නැත.