தமிழ்
English
Contact
Friday 6th December 2019    
කරන්නාගොඩ ඇතුළු 14ට එරෙහි අපරාධ චෝදනා විභාගයට විශේෂ මහාධිකරණයක් ඉල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කරන්නාගොඩ ඇතුළු 14ට එරෙහි අපරාධ චෝදනා විභාගයට විශේෂ මහාධිකරණයක් ඉල්ලයි!



රාජපක්ෂ රෙජීමය යටතේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අද (11) අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අමතරව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව මෙසේ චෝදනා නඟා ඇත. කොළඹ හා වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන්වන මෙම තරුණයන් පැහැරගෙනයාම සහ ඔවුන් නිදහස් කිරීමට ඥාතීන්ගෙන් කප්පම් ඉල්ලීම අසාර්ථක වීමෙන් පසු ඔවුන් ඝාතනය කළ බවට සැකකෙරේ. ඒ අපරාධ සම්බන්ධයෙන් චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇත. මේ සම්බන්ධයෙන්  හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට ලිපියක් යවා ඇති නීතිපතිවරයා එම ලිපිය මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කරන ලෙස කළ දැනුම් දීමකට අනුව මේ වන විට එම ලිපිය කොළඹ මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කර ඇත.

විත්තිකරුවන් විසින් සිදුකළ අපරාධවල බරපතලභාවය සහ ඊට අදාළ අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතුවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොලනාත්මක තත්වය හේතුවෙන් මෙවැනි සංකීර්ණ, විද්‍යාත්මක, තාක්‍ෂණික නඩුවක් ඇති කරුණු මෙන්ම එම කරුණු වල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial At Bar) හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව නීතීපති දප්පුල ද ලිවේරා අගවිනිසුරු ජයන්ත ජයසුරියට කරුණු දක්වා ඇත.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙම අපරාධ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුනු සහ ඇතැම් නිල නොවන තොරතුරු මූලාශ්‍ර අනුව පැහැරගත් පුද්ගලයන් වැලිසර නාවික කඳවුරේ සිට ත්‍රිමලය ගන්සයිට් කඳවුරේ පැරණි ආරක්ෂිත අවි ගබඩාවකට රැගෙන ගොස් ඝාතනය කර එම සිරුරු ත්‍රිමලය අසළ මුහුදේ ගිල්වා දැමූ බව කියැවේ.