தமிழ்
English
Contact
Saturday 24th October 2020    
කාන්තා ක්‍රියාකාරිනියන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන්තා ක්‍රියාකාරිනියන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීම



කොටුව දුම්රියපොළ ආසන්නයේ දැනුවත් කිරීමේ හා ආධාර එකතු කිරීමේ වැඩසටහනක නිරතව සිටි කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් අත්අඩංගුවට ගෙන පැය දෙකකට ආසන්න කාලයක් පොලිසිය තුළ රඳවා තබා ගෙන සිට නිදහස් කිරීමට කොටුව පොලිසිය ක්‍රියා කර තිබේ. අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව වන අතරම නිදහස්කර ඇත්තේ ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමකින් තොරවය. එනම්, ඔවුන් අත්අඩංගුවට ගැනීම ලංකාවේ පවතින නීතියට පටහැනිව සිදු වූ, එය නීතියට පටහැනි බව පොලිසියද දන්නා සිදුවීමකි. සිද්ධියේ බරපතළකම එයයි.
නීතිය පිළිබඳව මෙන්ම නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද අපට බරපතළ විවේචන, සැක සංකා, ගැටුම් තිබේ. එහෙත්, නීතිය යැයි කුමක් හෝ දෙයක් තිබෙන තත්වයක් තුළ ඊට පිටින් යමක් සිදු වන්නේ නම් එතැන ඇත්තේ නීතිය පිළිබඳ ඇති ගැටලුවට වඩා ලොකු ගැටලුවකි.
අත්අඩංගුවට ගන්නා ලද කාන්තා ක්‍රියාකාරිනියන් සිව් දෙනා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවෝය. ඔවුන් ඇතුළු කණ්ඩායම අද(13) කොළඹ, කොටුවට පැමිණියේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීම හා ඊට අදාළව සිදු කරන වැඩපිළිවෙළට ආධාර ලබා ගැනීමටය. මෙවැනි සමාජ ව්‍යාපාර නඩත්තු වන්නේ ජනතා මුදලින්ය. විවිධ විවේචන තිබියදීත් ජනතාව එම සංවිධානවලට රුපියල් 10කින්, 20කින්, 100කින් ආධාර කරති. එය මහජන සංවිධාන හා ජනතාව අතර සම්බන්ධයක් ඇති වන එක් ආකාරයකි, මෙලෙස ආධාර දීම. එමෙන්ම මෙම මහජන සංවිධාන ජනතාවට වගකියන සංවිධාන බවට පත් වන්නේද ඒවා නඩත්තු වන්නේ ජනතා ආධාරයෙන් වීම නිසාය. ඒ එක් පැත්තකි.
පොදුවේ සියලුම ජනතාව දේශපාලන වශයෙන් සක්‍රිය නැත. දේශපාලන වශයෙන් සක්‍රිය වන්නේ මහජන සංවිධානවල සාමාජිකයන් වන ක්‍රියාකාරිකයන්ය. ජනතාව කරන්නේ ඔවුන්ට අනුග්‍රහය සපයමින්, විවේචනාත්මක සහාය දක්වමින් හෝ ඔවුන් කුමක් කරන්නේදැයි බලා සිටීමය. ජනතාවගේ අපේක්ෂාව ජනතා ක්‍රියාකාරිකයන් හරහා එළියට එන්නේ ඒ ආකාරයෙන් වන අතරම ජනතාවගේ අපේක්ෂාව කරළියට පැමිණෙන ප්‍රධානම ආකාරයක් වන්නේද සමාජ ක්‍රියාකාරිකයන්ගේ මැදිහත්වීමය. ඒ නිසා ඔවුන් ජනතාවගේ නියෝජිතයන් වන අතර ඔවුන්ට ක්‍රියාත්මක වීමට හැකි වටපිටාවක් තිබිය යුතුය.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එයට සම්බන්ධ වූ පොලිස් නිලධාරිනියන්ගේ පවා ස්ථාවරය වී තිබෙන්නේ ඔවුන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කරන බවයි. ඒ අනුව පොලිස් ජීප් රථයක නංවා ගත් ක්‍රියාකාරිනියන් සිව් දෙනා කොටුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. එහිදී අත්අඩංගුවට පත් කාන්තා ක්‍රියාකාරිනියන් විසින් ප්‍රශ්න කර ඇත්තේ, තමන් අත්අඩංගුවට ගන්නා ලද්දේ කවර නීතියක් යටතේද යන්නයි. නීති විරෝධී ක්‍රියාවක් සිදු කරන බව පොලිසිය පවසන්නේ නම් ඒ කවර නීතියකට විරුද්ධවද යන්න පෙන්වා දීම ඒ තරම් දුෂ්කර ක්‍රියාවක් විය නොහැකිය.
එහෙත්, ඊට පිළිතුරු නොදුන් පොලිසිය ටික වේලාවකට පසුව පැමිණ දැනුම් දී තිබෙන්නේ ‘පාදඩ ආඥා පනත‘ යටතේ ඔවුන් විසින් වරදක් සිදු කර තිබෙන බවයි. කාන්තා සංවිධානයක ඉදිරිපෙළ ක්‍රියාකාරිනියන් පිරිසක් ජනතාව දැනුවත් කිරීම හා තමන්ට අනුග්‍රහය දැක්වීමට කැමති අයගෙන් ආධාර මුදලක් ලබා ගැනීම පාදඩ ආඥා පනතට අනුව වරදක් වන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි විට ”ඕඅයිසී මහත්තයා එනකං ඉන්නැ”යි පවසා තිබේ.
“ඕඅයිසී මහත්තයා” එනම් කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැමිණි පසුව, කාන්තා ක්‍රියාකාරිනියන් තමන්ගේ ප්‍රශ්නය ඔහු වෙත ඉදිරිපත් කර ඇත. එහිදී මෙම අත්අඩංගුවට ගැනීම කිසිදු නීතියකට අනුව සිදු වී නැති බවත්, ඔවුන් කිසිදු වරදක් සිදුකර නැති බවත් පිළිගෙන තිබෙන ඕඅයිසී මහත්තයා ඔවුන්ව නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතරම “නීතියක් නැතත් කොටුවේ මුදල් ඉල්ලන්න දෙන්නේ නෑ” යැයි කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත. එහෙත් එය පොලිසියේ තර්ජනයක් මිස නීතිමය ප්‍රතිපාදනයක් ඇති නියෝගයක් නොවේ.
මීතොටමුල්ලට කොළඹ කුණු ට්‍රැක්ටර් පිටින් ගෙන එද්දී, ඊට විරුද්ධව කුණු කන්ද ඉදිරිපිට පත්‍රිකා බෙදන සමාජ ක්‍රියාකාරිකයන්ට ‘කඩදාසි බිම වැටීමෙන් පරිසරයට හානි වෙනවා’ යැයි කියමින් බාධා කිරීමට පරිසර පොලිසිය යෙදවීමේ හා මෙම අත්අඩංගුවට ගැනීමේ වෙනසක් නැත. අරමුණ කෙසේ හෝ සමාජ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම බව පැහැදිලිය.