தமிழ்
English
Contact
Friday 1st July 2022    
‘කාවන්’ - විදෙස් සත්වෝද්‍යානවල දුක් විඳින අපේ අලි ඇතුන්ගේ ඉරණම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘කාවන්’ – විදෙස් සත්වෝද්‍යානවල දුක් විඳින අපේ අලි ඇතුන්ගේ ඉරණම



ලංකාවේ රාජ්‍ය නායකයෝ ලංකාවේ ජනතාවට පමණක් නොව වන සතුන්ටද විවිධ ආකාරයෙන් හිතුමතයේ ‘ඉරණම’ ලියති. ඔවුන් වෙනත් රටවල නායකයන්ට විවිධ තෑගි පිරිනමන අතර ලංකාවේ අලි පැටවුන් හෝ වැඩුනු අලි ඇතුන් ‘දන් දෙන’ අවස්ථා ඉතිහාසයේ රංගගත විය. ඒවැනි ඒක්තරා අලියකු පසුකාලයක ලෝකයේම අවධානයට ලක් විය. 33 හැවිරිදි ‘කාවන්’ දින 30ක් ඇතුළත ‘ජීවත්වීමට සුදුසු පරිසරයකට ගෙන යායුතු බව පාකිස්තාන මහාධිකරණය පසුගියදා මැයි 21 වැනිදා තීන්දුවක් ලබා දී ඇත. මේ ඒ් අන්දමින් විදේශවල පීඩා විඳින ලංකාවේ සතුන් වෙනුවෙන් පරිසරවේදියකුගේ සටහනකි.

(උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ රඳවා සිටින ‘කාවන්’ නම් ලාංකික හස්තියා පිළිබඳව පසුගියදා ලෝකයේම අවධානය යොමුවූයේ ඔහුට නිදහස ලබාදීමට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කිරීමත් සමගය.

පාකිස්ථානයේ ජීවත්වන හුදෙකාලම අලියා ලෙස හැඳින්වෙන ‘කාවන්’ ගේ ජීවිතයේ දුක්ඛිතම පරිච්ඡේදය මෙම අධිකරණ නියෝගයත් සමග සමාප්ත වීමේ ලකුණු පහළ කෙරුණත් විදේශීය සත්වෝද්‍යානවල දුක් විඳින අපේ අලි ඇතුන් පිළිබඳ වෘතාන්තය එයින් අවසන් වෙතැයි කිසිසේත්ම සිතිය නොහැකිය.

පාකිස්ථානයේ අගනුවර මුර්ගසාර් සත්වෝද්‍යානයෙන් මෙම හස්තියා නිදහස් කර ගැනීම සඳහා ප්‍රකට ඇමරිකානු පොප් තාරකාවක් වන Cher විසින් පසුගිය සිව් වසර මුළුල්ලේම විශාල පරිශ්‍රමයක් දැරීය. සෙල්ලම් කිරීමට කුඩා අපිරිසිදු පොකුණක් පමණක් ඇති සත්වෝද්‍යානයේ කුඩා කූඩුවක දම්වැල් වලින් ගැට ගසනු ලැබ හුදෙකලාවේ වේදනාවෙන් සිටින කාවන්ගේ අවාසනාවන්ත ඉරණම දැක්වෙන සේයාරුවක් ඇයගේ නෙත ගැටී තිබුණේ මීට සිව් වසරකටත් පෙර දීය. එතැන් සිට Cher විසින් සිව් වසරක් පුරා ගෙනගිය අනවරත අරගලය නිමාවට පත්වුණේ ඉකුත් බ්‍රහස්පතින්දා ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් කවාන් නිදහස් කළ යුතු බවට තීන්දු කිරීමත් සමගය. කාවන් යොමුකිරීම සඳහා “සුදුසු අභයභූමියක්” දින 30 ක් ඇතුළත සොයා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙස එරට වනජීවී නිලධාරීන්ට වැඩි දුරටත් නියෝග කෙරිණි.

කාවන් පාකිස්ථාන රැකවලකු සමග….

වසරක් පමණක් වයසැති අලි පැටියෙකු වශයෙන් සිටියදී ශ්‍රී ලංකා රජය විසින් කාවන් පාකිස්ථානයට ප්‍රධානය කර ඇත්තේ 1985 වසරේදීය. එතැන් සිට මේ දක්වා එම හස්තියා ජීවිතයේ වැඩිම කාලයක් ගතකර ඇත්තේ සත්වෝද්‍යාන කූඩුවක් තුල හුදෙකලාවය. 2002 වසරේදී කාවන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් සත්වෝද්‍යාන හිමියන් ඔහුගේ රැහැන් දැඩි කිරීමට කටයුතු කළේය. 1990 දී බංග්ලාදේශයේ සිට පැමිණි ඔහුගේ සහකරු ‘සහලි’ 2012 දී මිය යාමෙන් පසු ඔහු තවත් දුක්ඛිත තත්වයක් පෙන්වීමට පටන් ගත්තේය. අලි ඇතුන් සගයන් අවශ්‍ය සමාජශීලී සතුන් විශේෂයක් වුවද කාවන් වෙනුවෙන් වෙනත් සගයෙකු ගෙන ඒමට සත්වෝද්‍යාන පාලනාධිකාරිය කටයුතු කළේ නැත.

කාවන්ගේ දුක් කම්කටොලු මෑතක් වන තුරුම පැවතුනු අතර ඔහු පීඩා විඳ තිබුණේ හුදෙකලාවෙන් පමණක් නොවේ. වියලි සමයේ සෙල්සියස් අංශක හතළිහක් ඉක්මවූ දිවා උෂ්ණත්වයෙන් බැට කෑ ඔහුගේ ආහාර පවා සොරකම්කර ඇති බව පසුව වාර්තා විය. ඔහුගේ ආහාර සොරකම් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සත්වෝද්‍යාන සේවකයෙකුගේ සේවය අත්හිටුවා ඇති අතර මීට මාස කිහිපයකට පෙර වල් ඌරන් විසින් කාවන්ගේ කූඩුවට ඇතුල්වී ඔහුගේ පාන් සහ පලතුරු සොරකම් කර ඇති බව අනාවරණය වූ අතර කාවන් ද දැඩි ලෙස විජලනය වී ඇති බව සොයා ගන්නා ලදී.

පාකිස්තාන සත්වලෝලීන් ආරම්භ කළ සතුන් හිරිහැරයෙන්ද මුදාගැනීමේ ව්‍යාපාරය
‘කාවන්’ වෙනුවෙන් පළකළ සමාජ ජාල පෝස්ටරයක්

2016 දී Cher විසින් කාවන් බේරා ගැනීමේ ව්‍යාපාරයට අත තැබූ අතර දේශීය සත්ව ක්‍රියාකාරිකයෙකු යවා කාවන් නිදහස් කර ගැනීමට උත්සාහ කළ අතර ඔහුගේ නිදහස සඳහා වූ පෙත්සමකට අත්සන් ලක්ෂ ගණනක් ලැබී තිබුණි. කාවන් නිදහස් කරමින් ලබාදුන් අධිකරණ තීන්දුව එම අරගලය අවසානය වෙත ළඟාවී ඇති බවට වන සාක්ෂියකි.

නමුත් විදේශීය සත්වෝද්‍යානවල දුක් විඳින අපේ අලි ඇතුන් සම්බන්ධ ශෝකාන්ත මෙතැකින් නිම වෙතැයි අපට අපේක්ෂා කල නොහැක්කේ ලොව නන් දෙසින් මෙවැනිම දුක්ඛිත හස්තීන් පිළිබඳව අපට අසන්නට දකින්නට ලැබෙන බැවිණි. රුමේනියාවේ Targu – Mures සත්වෝද්‍යානයේ දිවි ගෙවන ටානියා, පිලිපීනය මැනිලා සත්වෝද්‍යානයේ දිවි ගෙවන මාලි, කැනඩාවේ එඩ්මන්ටන් වැලී සත්වෝද්‍යානයේ දිවි ගෙවන ලුසී වැනි හස්තීන් සම්බන්ධයෙන් මෙවැනි ශෝකාන්තයන් පසුගිය කාලය පුරාම අසන්න ලැබුණත් ඔවුන්ගේ ජීවිත වලට සැනසුම ගෙනදීමට ශ්‍රී ලාංකීය බලධාරීන් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකළ බවක් පෙනෙන්නට නැත.

වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට අනුව අලි ඇතුන් වනාන්තර වලින් අල්ලා දේශසීමා හරහා අපනයනය කිරීම තහනම්කර ඇත. නමුත් ගෘහාශ්‍රිත අලි ඇතුන් සත්ව හුවමාරු වැඩසටහන් හරහා විදේශීය රටවලට අපනයනය කිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විවිධ අවස්ථාවල ක්‍රියාකර ඇත. හුදෙක්ම දේශීය සත්වෝද්‍යාන වල ජීවී විශේෂ විවිධත්වය සහ ජාන විවිධත්වය ඉහළ නැංවීම සඳහා මෙවැනි සත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව පැවසුනද ඒවායේ සැකකටයුතු තත්ත්වයන් බාහිර සමාජයටද නිරුපණය වූ අවස්ථාවන් නැතුවාම නොවේ. මීට කලකට පෙර ‘දිනුදා’ නම් අලි පැටවා ඇතුළු අලි පැටවුන් දෙදෙනෙකු එසේ දකුණු කොරියාව වෙත ලබාදීමට ක්‍රියාකල අවස්ථාව ඊට එක් නිදසුනකි. එම අවස්ථාවේ දිනුදා අපනයනය කිරීම වැලැක්වීමට දේශීය සත්ව සුභසාධන ක්‍රියාකාරීන් ක්‍රියාකිරීම නිසා දකුණු කොරියානු නියෝජිතයින් පින්නවල අලි අනාථාගාරයේ කලහකාරී ලෙස හැසිරුණු බවට වාර්තා පලවිය. අතයට ගනුදෙනුවක් හෝ එවැනි වංචනික ක්‍රියාවක් මෙම ගනුදෙනුව පිටුපස සිදු නොවුනානම් ඒ ආකාරයෙන් විදේශීය නියෝජිතයින්ට මෙරට තුල කලහකාරී ලෙස හැසිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැති බව ඕනෑම නොදරුවෙකුට වුව වැටහේ.

කාවන් වේදනාව ප්‍රකාශ කරන අවස්ථාවක්….

ජාතික සත්වෝද්‍යාන පනත මගින් මෙවැනි සත්ව හුවමාරු සඳහා ප්‍රතිපාදන නොමැති බවට මතුවූ නීතිමය තර්කයක් මත 2017 වසරේදී එසේ සතුන් අපනයන අත්හිටුවීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කළේය. පසුව ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධන සිදුකෙරෙන තුරු සත්ව හුවමාරු වැඩසටහන් සිදුකිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරමින් අංක CM/18/0341/708/003 දරණ 2018 මාර්තු හත්වැනි දිනැති කැබිනට් තීන්දුවක් ලැබුණි.

මීට පෙර 1989 දී පමණ ක්වේට් රාජ්‍යයේ සත්වෝද්‍යානයකට විදෙස් රටකින් ලබාදුන් අලියෙකු වසර තිහක් පමණ කුඩා කූඩුවක රඳවා සිටීම නිසා ඇතිවූ මානසික කම්පනයෙන් එම හස්තියා තම සිර මැදිරියේ බිත්තියේ හිස ගසාගෙන මරණයට පත්වූ බව අසන්නට ලැබේ. එබැවින් කුමන අරමුණින් සිදු කෙරුණද අලි ඇතුන් වැනි ශක්තිමත්, බුද්ධිමත් සහ සංවේදී සත්ව විශේෂ අපනයනය කිරීමේදී වත් අඩු තරමින් ඒ සඳහා සුදුසු නිර්ණායක සකස්කිරීම, දැනට ඇති නිර්ණායක යාවත්කාලීන කිරීම ඉතා වැදගත්ය. ඒ සඳහා කාවන් ගේ සිදුවීම පාදක කරගැනීමට මේ මොහොතේ මෙරට පාලකයින්ට ඕනෑ තරම් අවකාශ තිබේ.

යම් රටක් හෝ ප්‍රජාවක් තම සතුන්ට දක්වන කරුණාව ඔවුන්ගේ මානසික උසස් බව නිරූපණය කරයි. අප අපේ රටේ සත්වයින් කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව විදෙස් රටවලට ලබාදුන හොත් ඔවුන් නොසුදුසු පුද්ගලයින් හෝ ආයතන අතට පත්වීමේ දෝෂාරෝපණයට මුහුණදීමට රටක් වශයෙන් අපට සිදුවෙයි. එවැනි සතුන් විදෙස් රටවල අසරණභාවයට පත්වුවද අප ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන මුනිවත රකී නම් රටක් ලෙස අප තවමත් ජීවත්වන්නේ මනසින් ඉතා පහළ මට්ටමක බව ලොවටම පැහැදිළි වීමට එයම ප්‍රමාණවත් වෙයි. එබැවින් ලොව ප්‍රථම අභයභූමියටද හිමිකම් කියන රටක වර්ථමාන පරපුරේ සත්ව කරුණාව ලොවටම හඬගා කියමින් ‘කාවන්’ ට සාධාරණයක් ඉටුකිරීම බලධාරීන්ගේ යුතුකම සහ වගකීමය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

අමෙරිකානු ගායිකා Cher විසින් කාවන් වෙනුවෙන් වූ අධිකරණ තීන්දුව සම්බන්ධ
සතුට පළකර ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබිණි.
අමෙරිකානු ගායිකා Cher, ඔස්කාර්, ග්‍රැමී, ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මාන ලැබූ ගායිකාවකි.

https://www.facebook.com/kaavantheelephant/

කාවන් නිදහස් කිරීම වෙනුවෙන් ෆේස්බුක් පිටුව