தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
කුරුණෑගල මහාධිකරණයේ ඇප නියෝගය නැති නිසා ශක්තික යළිත් බන්ධනාගාරයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුරුණෑගල මහාධිකරණයේ ඇප නියෝගය නැති නිසා ශක්තික යළිත් බන්ධනාගාරයට!



ආගමික වශයෙන් අපහාසාත්මක කෙටිකතාවක් මුහුණුපොතේ පළකල බවට යැයි චෝදනා කරමින් ලේඛක ශක්තික සත්කුමාරට ඇප ලබාදීම පිළිබද ඊයේ (5) කුරුණෑගල ගරු මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගය අදවනවිටත් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී නොතිබීම නිසා ලේඛකයා 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත යටතේ චෝදනා ගොනුකර ඇති නිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබා දිය නොහැකි බව සළකමින් ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකොරළ විසින් කුරුණෑගල මහාධිකරණයේ ඇප අයදුම්පතක් ඉදරිපත් කරමින් සේවාදායකයා බරපතළ අයිතිවාසිකම් උල්ලංඝනයකට ලක්ව ඇති බවට කරුනු ඉදිරිපත්කර තිබිණි. ඒ අනුව ඇප ලබාදීමේ නියෝගය මහාධිකරණය විසින් නිකුත්කරන ලදී. පොල්ගහවෙල පොලීසිය විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී හමුවේ අද(6)කැදවන ලද අතර නීතිඥ අථිල අතාවුද කරුණු දක්වමින් ඊයේ දිනයේ තම සේවාදායකයාට කුරුණෑගල ගරු මහාධිකරණය විසින් ඇප නියම කරන ලද බව දක්වන ලදී. මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් එම ඇප නියෝගය තවමත් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ලැබී නැති බැවින් මෙම නඩුව බ්‍රහස්පතින්දා (08) දින කැදවන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා, තම සේවාදායකට ඇප නියම කිරීමෙන් පසුව ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සදහා පොලිස් වාර්තාවක් ලබාගැනීමට පොල්ගහවෙල පොලිස් සිථානයට ගිය ලේඛයාගේ බිරිය, යනූෂා ලක්මාලිට ඒ සදහා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගෙන් ලබාගත් චරිත සහතිකයක් ඇතුළුව චරිත සහතික පහක් රැගෙන එන ලෙස දන්වා ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ පොල්ගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරියා පැවසුවේ, සැකකරු⁣ට ඊයේ මහාධිකරණය ඇප නියම කර ඇති බවට තමාද දැනුවත් බව ප්‍රකාශ කළේය. ඊට අමතරව මෙම නඩුවේ චෝදනා ගොණුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇති බවද පොලිස් නිලධාරියා අධිකරණයට වාර්තා කළේය.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්තුමිය සැකකරු වෙනුවෙන් සිදුකරන ලද ඉල්ලීමට ඉඩදෙමින් මෙම නඩුව අගෝස්තු 08 වැනි බ්‍රහස්පතින්දා කැදවීමට නියම කර, සැකකරු එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පොල්ගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන්ද, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ උපුල්සරා ජයසිංහ සමග නීතිඥ සරත් දසනායක පෙනී සිටියහ. සැකකරු වෙනුවෙන් නීතිඥ බුද්ධදේව ගුණරත්න, නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක සමග නීතිඥ අථිල අතාවුද පෙනී සිටියේය.

මිනිත්තු 20ක පමණ කාලයකින් කුරුණෑගල නගරයේ සිට පොල්ගහවෙල කරා කි.මි.19 පැමිනිය හැකි නමුත් ලංකාවේ අධිකරණ ක්‍රමය පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක නොවන්නක් බව නැවත සනාථ කරමින් මෙම විහිලුස්‍හගත නිරුවත හෙළිකර ඇත.