தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
කුසීත යෝධයන්ට කරදර කරන 'ඇටමැස්සන්' ආරක්ෂා කිරීම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කුසීත යෝධයන්ට කරදර කරන ‘ඇටමැස්සන්’ ආරක්ෂා කිරීම



“සරසවි ශිෂ්‍යායා නිර්මාණශීලී විය යුතුය, විචාරශීලී විය යුතුය, විචක්ෂණශීලී විය යුතුය, විප්ලවවාදී වියයුතුය.”
– වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමි – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු උප කුලපති

“ඉතාලිය වෙනුවෙන් මාගේ ජීවිතය පූජා කිරීමට සියලූම වහල්භාවයන්ගෙන් හා දුක්ඛිතභාවයන්ගෙන් ඈ මුදවා ගැනීමට ආධාර කිරීමට කැපවෙමි.”
– E.L.Voyinich, (ආතර් බර්ටන් – ඇට මැස්සා)

අප විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන කතාබහ කරන විට මෙහි පළමුවෙන් උපුටා දැක්වූ වැලිවිටියේ සෝරත හිමි කළ ප‍්‍රකාශය වැදගත් වේ. අප පිළිගත්තත් නැතත් විශ්ව විද්‍යාලයට පැමිණෙන්නේ තරුණ තරුණියන්ය. ශිෂ්‍යභාවය තිබියදී ඔවුන්ගේ ජිවිතය යෞවනෝන්මාදයෙන් ආතුර වී තිබෙන්නකි. ඒ යෞනෝන්මාදය, නිශේධනීය ලෙස දකින්නේ තරුණ විය ඉක්මවා ගිය කුහකයන්ය. ඒ වෙනුවට එහි සාධනීය පාර්ශ්වයෙන් සලකා බලන විට සෝරත හිමි කළ ප‍්‍රකාශය යළි වටිනාකමක් ලබයි. ස්වභාවයෙන් අලූත් දේ සොයන, ගවේෂණය කරන, නොඉවසිලිවන්ත තරුණ ප‍්‍රජාව, කැරලිකාරීත්වයක් සහිතය. ඔවුන් ඇත්ත හා යුක්තිය සමඟ සිය ජීවිතය සම්බන්ධ කිරීමට ප‍්‍රයත්න දරති.
එහිදී සමකාලීන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව හා ඔවුන් සම්බන්ධ බාහිර සමාජයේ කතිකාවන් අපගේ සැලකිල්ලට භාජනය වේ. එම කතිකාවන් ගෙන එන සමාජය සතු දුර්ගුණ දහසක් තිබියදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සාධනීය පරිපූර්ණත්වයක් අපේක්ෂා කෙරෙන බව මෙහිදී පළමුවෙන්ම අවධාරණය කළ යුතුව ඇත. එසේ වූ පමණින් සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව සම්බන්ධ විවේචන බැහැර කළ නොහැකිය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් බාහිර සමාජය විසින් ගෙන හැර පාන ප‍්‍රධාන ගැටලූ කිහිපයකි. ඉන් පළමුවැන්න නම්, ඔවුන් දේශපාලනය කරන බවත් එක් එක් පක්ෂවල අතකොලූ බවට පත්ව ඇති බවත්ය.
දේශපාලනය කිරිමේ අයිතිය සැමට තිබේ. එහෙත් දැන් ප‍්‍රශ්නය ඇත්තේ ශිෂ්‍ය ප‍්‍රජාව දහස් ගණන් පෙළ ගැසෙන විරෝධතාවලට සහ එහිදී ශිෂ්‍ය ව්‍යාපාරයේ බහුජන සංවිධානය වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය විසින් එල්ල කරන අභියෝගවලට පාලකයන්ට මුහුණදීමට නොහැකි වීමය. මේ නිසාම, ‘ශිෂ්‍යයා සරසවි තුළට යනවා නම් ඉගෙන ගත යුතුය, උපාධි අරගත් පසුව දේශපාලනයක් තෝරා ගන්නට නිදහස තිබේ’ වැනි වෙනත් ප‍්‍රලාප ඇද බාමින් ශිෂ්‍ය දේශපාලනයේ අභියෝගය හමුවේ පළා යයි. එපමණකින් නොනැවතී විශ්වවිද්‍යාලවල පවතින විවිධ අගතිගාමී තත්වයන් ගෙන හැර පාමින් ශිෂ්‍ය දේශපාලනය විත්ති කූඩුවට නංවන්නට මේ පාලක පන්තියේ විවේචකයන් සාමූහිකව කටයුතු කරති.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන සටන් පාඨ මොනවාද? නිසැකවම එහි පළමුවැන්න, ”නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවා සුරක්ෂිත කරනු” යන්නය. මේ සටන් පාඨය විසින් නෙ එන්නේ විප්ලවවාදී අරමුණක් නොවේ. මේ අයිතිවාසිකම් ලෝකය තුළ ස්ථාපිත කෙරුණේ ධනවාදයේ සුභභසාධන රාජ්‍ය පැමිමෙත් සමඟය. දැන් පාලකයන් කරමින් ඇත්තේ නවලිබරල් ධනවාදයට ගැළපෙන ලෙස ඒවා කප්පාදු කිරීමය. එහිදී ශිෂ්‍යයන් මෙන්ම කම්කරුවන් මෙම කප්පාදුවට එරෙහිව සටන් කරන්නේ ලංකාවේ පමණක් නොවේ. ලෝකය පුරාම නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට එරෙහි අරගලයේ ප‍්‍රමුඛත්වය ගෙන ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාර, රැුකියා විරහිත තරුණයන් හා වැඩ කරන ජනතා සංවිධානය.
මෙහිදී අප ඉහත දෙවනුව ගත් උධෘතය වැදගත් වේ. ඇටමැස්සා, කෘතියේ යෞන ඉතාලි ව්‍යයාපාරය නියෝජනය කරන්නේ ආතර් බර්ටන් වැනි එවකට දේශපාලන සවිඥානකත්වයක් ඇති බොහෝ තරුණයන්ගේ දේශපාලනයයි. ඔවුහු එවකට පැවති ඔස්ට්‍්‍රයානු පාලනයෙන් මිදීමට සටන් ව්‍යාපාරයක යෙදී සිටිති. එය යම් තරමක් බිහිසුනු ජිවිතයක් බව සත්‍යය. එහෙත් ඔවුන්ට දී ඇති තත්වය තුළ තෝරාගන්නට ඇත්තේ එක්කෝ විදේශික පාලනයට යටහත්වීමය. නොඑසේනම් රටින් පලා යාමය. මේ දෙකම තෝරාගන්නට අකමැති ඉතාලි තාරුණ්‍යයේ සවිඥානක කණණ්ඩායමක් සිය රටේ නිදහස උදෙසා සටන් කිරීමට තීරණය කරති. පවතින තත්වය භාරගන්නට බලකර සිටින සමාජයක ඊට එරෙහිව සටන් වැදීම යනු සෝරත හිමි පවසන ආකාරයේ විචක්ෂණශීලී විප්ලවකාරී තරුණයාගේ අනුරාගයයි. මෙහිදී සරසවි ශිෂ්‍ය ප‍්‍රජාවගේ පවතින අගතීන් සියල්ල අමතක කරනවා නොවේ. දුර්වලකම් සහ අගතිගාමීත්වය අහෝසිකර වඩා යහපත් දේ ඉදිරියට ගෙන යායුතු බවට විවාදයක් නැත.
අගතිගාමීත්වය පාර්ශ්වයෙන් වත්මන් සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව තුළ පවතින්නේ මොනවාද? ලිබරල් මහත්වරුන් තලූමරමින් නැවත නැවත කියන නවකවදය එහි එක් අංගයකි. නවකවදය යනු ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රකාශනයක් ලෙස සලකා බලන විට එය දුරු කළ යුතු ලක්ෂණයකි. විශේෂයෙන් නවක ශිෂ්‍ය කණ්ඩායම් විශ්ව විද්‍යාල පරිසරයට හුරු කරවීමේ විවිධ වැඩසටහන් තිබියදී ප‍්‍රචණ්ඩ ලෙස ඔවුන් තලා පෙළා දමන අභිචාර ක‍්‍රම අතීතයට අයත්ය. මේවා සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය වගකිව යුතු බව කියන නමුත් ඒවා සරසවි තුළ ක‍්‍රියාත්මකවීම ආරම්භ වූයේ ලිබරල් මහත්වරු විිසින් වණනා කරන බි‍්‍රතාන්‍ය විශ්වවිද්‍යාල හා උසස් පාසල්වල බව අමතක කළ නොහැකිය. කෙසේවෙතත් සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව අතර මෙය පවත්වාගෙන යාමට ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය විරුද්ධ බව පැහැදිලි කාරණයකි. ඒ සඳහා ක‍්‍රියාකාරී වන ශිෂ්‍ය නියෝජිතයන් ඇතැම් විට ශිෂ්‍ය කණ්ඩායම්වල අභියෝගයන්ට මුහුණ දෙමින් සිය ස්ථාවරය සරසවි අතරට ගෙන යමින් තිබේ.
කාලයක් තිස්සේ සමාජයක් ලෙස ප‍්‍රචණ්ඩත්වයෙන් දේශපාලන මත පරාජය කිරීමට උත්සාහ කළ දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලනයේ ආභාසය සරසවි තුළ ඇති බව පිළිගත හැකිය. නමුත් ඒවා පරාජය කිරීමේදී වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට පමණක් ඇඟිල්ල දිගු කරනු පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ හිෂ්‍ය ව්‍යාපාරයේ ගමන්මග වෙත බලපෑමක් කළ 80-90 සහ 2000 දශකවල වරින්වර ශිෂ්‍ය ගැටුම් ඇවිළ ගිය අතර සෑම විටම ඒවා එක් පාර්ශ්වයක ප‍්‍රචණ්ඩත්වක් ලෙස ගෙන චෝදනා කරනු ලැබීය. නවකවදය වැනි සිදුවීම් උලූප්පා දක්වන නමුත් පොදුවේ ශිෂ්‍ය ගැටුම් සිදුවන්නේ සිය මතය වෙනත් මතයක ගැටීමේදී ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා ශිෂ්‍ය කණ්ඩායම් නිසාය. මේ කණ්ඩායම් ඇතැම්විට ශිෂ්‍ය සංගම් නියෝජනය කරන අතර ඇතැම් කණ්ඩායම් සරසවි තුළ එවැනි නියෝජිත දේශපාලනයක් ප‍්‍රතික්ෂේප කරන මතවාද උසුලයි. මේ සියල්ල මැද අන්තරයට එනම් ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයට ප‍්‍රචණ්ඩත්වය පවත්වාගෙන යන බවට අවලාද නගන්නේ පාලකයන් විසිනි. එහෙත් සත්‍ය තත්වය පොදුවේ ප‍්‍රචණ්ඩ සමාජයක් තුළ ස්ථානගත කෙරෙන සරසවි සමාජ කණ්ඩායම් ප‍්‍රචණ්ඩත්වයෙන් විනිර්මුක්ත නොවන බවය.
ශිෂ්‍ය උපසංස්කෘතියක් පිළිබද සාකච්ඡුාව එන්නේ ඒ සම්බන්ධයෙනි. සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව අතර ඇත්තේ කාලායක් තහවුරු කරන ලද පොදු සමාජ අගතීන්ගේ සුවිශේෂ පාර්ශ්වයකි. පොදු සමාජයේ පවතින පසුගාමීත්වය, සංස්කෘතික වශයෙන් කොටුවූ ස්වභාවය හා ප‍්‍රචණ්ඩත්වය නිසැකවම ඒ සමාජයේ උප සංස්කෘතියක අන්තර්ගත වේ. ශිෂ්‍ය ප‍්‍රජාවගේ විප්ලවකාරිත්වය වැඩෙත්ම එවැනි දුර්ගුණ හඳුනාගනිමින් ඒවා පරාජය කිරීමේ ප‍්‍රවේශයක් අපේක්ෂා කළ හැකිය. සරසවි ශිෂ්‍යයා පමණක් නොව ඇතැම් විට කාර්යාල සේවක ප‍්‍රජාව, සන්නද්ධ හමුදා තුළ විවිධ සංස්කෘතික උපනතීන් ඇත. ඒවා පවතින බව නොපිළිගෙන ශිෂ්‍යයන් බිත්තියට හේත්තු කරන්නේ කුහකයන්ය. නමුත් මෙම උපනතීන් පැවතිය යුතුය යන්නක් මෙයින් අදහස් නොවේ. නිසැකවම පොදු සමාජය මෙන්ම විවිධ උපනතීන් සහිත විශේෂ සමාජ කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වය ඇතුළු අගතීන් පිටු දැකිය යුතුය. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකිය හැක්කේ පුරුෂයන් සාමකාමී විමෙන් පමණක් යැයි ඇතැමකු හාස්‍යජනක ලෙස තර්ක කරති. ස්ත‍්‍රිය දැනුවත් කිරීමෙන් එය කළ හැකියැයිද තව පිරිසකගේ අදහසයි. මේ ප‍්‍රශ්නය වලිගයෙන් අල්ලා ගැනීමකි. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පවතින සමාජ ආර්ථික පදනමකින් පැන නගින්නකි. පුරුෂමූලිකත්වය එහි තීරණාත්මක සාධකයක් මිස එකම සාධකය නොවේ. සරසවි ප‍්‍රජාව අතර ප‍්‍රචණ්ඩත්වය දේශපාලන ව්‍යාපාරයකින් මැදිහත් වී විසඳිය යුතු බව කියන්නෝද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද මූලික කාරණා අමතක කරති. එක්කෝ එය නොදැනුවත්භාවයයි. ඇතැම්හු එය සිතාමතා කරති. අප කියන්නේ ඔවුන් ප‍්‍රශ්නයේ සැබෑ හේතු ප‍්‍රතික්ෂේප කර ශිෂ්‍ය ව්‍යාපාරයට අවලාද නැඟීම අරමුණු කරගෙන එසේ කියන බවකි.
ඒ සියල්ල තිබියදී වුවද මේ සංවාදය ඉදිරියට ගෙන යායුත්තේ සාධනීය ප‍්‍රතිඵලයක් අපේක්ෂාවෙනි. සමාජ ආර්ථික පදනම වෙනස් කිරීමේ දිශාවෙන් වාම ශිෂ්‍ය ව්‍යාපාරයන් විසින් භාරගන්නා අභියෝගය සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව අතර සිය දේශපාලන අදහස් වැඩි වැඩියෙන් තහවුරු කිරිමෙන් තරමක් හෝ ප‍්‍රචණ්ඩත්වය අනුගමනය කරන කණ්ඩායම් අභිභවනය කළ හැකි වෙනත් ක‍්‍රමවලින් ජයගත හැකිය. ඒ වෙනත් ක‍්‍රම අතර ශිෂ්‍ය කණ්ඩායම් රාජ්‍ය මර්දනයට පාවාදීම තිබිය නොහැකිය. ඒ වෙනුවට ප‍්‍රචණ්ඩත්වය අනුයන දේශපාලනය හා අරාජිකත්වය අනුයන කණ්ඩායම් ශිෂ්‍ය ප‍්‍රජාව අතර හෙළිදරව් වන ආකාරයේ ක‍්‍රියාකාරීත්වයක් සලකා බැලිය හැකිය. එක් දෙයක් පැහැදිලිය.
”ඇට මැස්සා” සිය මතය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා මෙන්ම උපක‍්‍රමශීලීව ප‍්‍රතිවාදී මත හෙළිදරව් කරමින් ඉතාලියානු ජනයාගේ විමුක්ති අභිලාසයන් ජයග‍්‍රහණය කරා ගෙනයන්නට මැදිහත් විය. ශිෂ්‍ය ව්‍යාපාරයට සිය විවේචකයන් හා සතුරු කන්ඩායම් අරබයා අනුගමනය කළ හැක්කේද ස්ථාවරයෙනි නිශ්චිතව පැහැදිලි කරමින් ඒ වටා ජනතාව ඒකරාශී කිරීමේ ක‍්‍රමවේදයයි. ඊනියා විවේචකයන් හා අවංක විවේචකයන් වෙන්කර හඳුනාගත යුතුව ඇත. ජනතාවටත් ජනතාව වෙනුවෙන් කැපවෙන ඇටමැස්සන් පාවා දෙන සැබෑ සතුරන් කවුරුන්ද යන්න අනාවරණය කිරීමද විප්ලවවාදී ව්‍යාපාරයේ වගකීමකි.