தமிழ்
English
Contact
Friday 6th December 2019    
කෙටිකතාවක් නිසා අධිකරණයෙන් පෑගූ ශක්තිකට අං ඇති නිලධාරින් අනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෙටිකතාවක් නිසා අධිකරණයෙන් පෑගූ ශක්තිකට අං ඇති නිලධාරින් අනී!



ප්‍රබන්ධමය නිර්මාණයක් ආගමික අරුතින් දෝ්‍ෂදර්ශනයට ලක්කරමින් ICCPR පනත යටතේ සිරගතකළ ශක්තික සත්කුමාරගේ මූලික අයිතිවාසිකම් යළිත් උල්ලංඝනය කරන්නට රාජය සේවයේ නිලධාරින් කටයුතු කර තිබේ.
මේ සම්බන්ධ නීතිඥ සංජය විල්සන් ජයසේකර විසින් පළ කළ මුහුනු පොත් සටහනක් මෙහි පළ කරන්නේ එම සිදුවීම සම්බන්ධ නිශ්චිත කරුනු ශක්තික වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නිතිඥවරයකු ලෙස ඔහු විසින් අනාවරණයකර ඇති නිසාය.

“භික්ෂූන්ට එරෙහිව පොත් ලිවීම” නම් අභූත චෝදනා මත ලේඛක සත්කුමාරට පත්වීම ලබා දීම රජයේ දෙපාර්තමේන්තුවක් ප්‍රතික්ශේප කරයි!
=============

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ විසින් සේවයේ පිහිටුවා තිබියදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රජයේ පරිපාලන නිලධාරීන් විසින් ශක්තික සත්කුමාරට වැඩ බාර නොදී සාවද්‍ය කරුනු ඉදිරිපත් කරමින් එලවාගෙන තිබේ.

සේවයේ නැවත පිහිටුවමින් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ලබාදී තිබූ ඔක්තෝම්බර් 24 දිනැති ලිපිය ප්‍රකාරව කොලඹ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් වෙත නොවැම්බර් 04 දින උදයේ වාරියපොල සිට ගොස් ශක්තික සේවයට වාර්තා කලේය. නමුත් එහිදී ඔහුට වැඩ භාරදීම ප්‍රතික්ෂේප කරමින් අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රම ළමනාකරන) ඉංජි.අයි.ඩී.එස්.සමරසූරිය ලිපියක් නිකුත් කලාය.

කුරුනෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සිට සැතපුම් සිය ගනනක් ගෙවා එදින පෙ.ව.8.30 වන විට සේවයට වාර්තා කළ නමුත්, සවස 2.00 ට පමන එකී ලිපිය නිකුත් කරන තෙක් ඔහුව අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂවරුන් කිහිප දෙ⁣නෙක් වෙත යොමු කෙරුනු අතර ඒ සෑම නිලධාරියෙක්ම ඔහුව බලවත් අපහසුතාවයට හා කලකිරීමට ලක්කරමින් නමගිය අපරාධකාරයෙකුට සලකන පරිද්දෙන් සංග්‍රහ කලෝය. ඔවුන් පුන පුනා කියා ඇත්තේ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව පොතක් ලියූ කෙනෙක් එම දෙපාර්තමේන්තුවේ සේවයට නොගැලපෙන බවයි. මෙම ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක් යවමින් ශක්තික කියා සිටින්නේ, එහිදී ඔහු ලද අත්දැකීම, ඔහුගේ කලා නිර්මානයකට එරෙහිව කෙරුනු වෛරී සහගත හා අභූත චෝදනා මත අයුතු සහගත ලෙස දින 129ක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබුනු කාලය තුල ඔහු ලද කටුක අත්දැකීම පරයායන තරමට අමිහිරි හා මානසිකව පීඩාකාරී බවය.

ඉතා සාවද්‍ය ලෙස ඉහතකී අතිරේක වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රම ළමනාකරන) නිකුත් කල ලිපියේ මෙසේ සඳහන් කර ඇත: “විනය ක්‍රියාමාර්ග හා අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මෙම දෙපාර්තමේන්තු සේවයට වාර්තා කිරීමට යොමුකර ඇති ඩී.එස්.එස්. සත්කුමාර”; “සංවර්ධන නිලධාරී සේවයේ පුරප්පාඩු බොහොමයක් තිබුණද මෙවන් විනය ක්‍රියාමාර්ග බොහොමයක් තිබෙන නිලධාරීන්”.

ශක්තික මෙතෙක් කිසිදු අධිකරනයකින් වරදකරුවෙකු ලෙස තීන්දුකොට නැත. ඔහුගේ පිටු තුනක කෙටි කතාව මත ඔහුට එරෙහිව පොලිස් පරීක්ෂන ප්‍රගතිය වාර්ථා කරන පොල්ගහවෙල මහේස්ත්‍රාත් උසාවි නඩුව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ද නීතිපති තීරනය සඳහා කැඳවීමට නියමිතය. ඒ අනුව නිර්දෝශී භාවය පිලිබඳ පූර්ව නිගමනයේ මූලික අයිතිවාසිකම ඔහුට හිමිය. ඉහත ලිපිය නිකුත් කිරීම දක්වා එම ජේෂ්ඨ නිලධාරීන්ගේ හැසිරීම ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය යටතේ එන ඔහුගේ එම මූලික අයිතිය ද උල්ලංගනය කිරීමකි.

අත්තනෝමතික ලෙස සිරබාරයට ගැනීම මගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එන ඔහුගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව ඔහු පැවරූ නඩුව එහි කරුනු මත ඇසීම සුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කිරීමෙන් පසුව එහි විමසීම ලබන වසරේ ජුලි මසට කල්තබා ඇත.

තවද කිසිදු විනය පරීක්ෂනයක් ඔහුට එරෙහිව පවත්වා හෝ පැවැත්වෙමින් නැත. ඔහුගේ සාහිත්‍ය නිර්මාන නිසා කිසිදු සේවා අක්‍රමිකතාවයක් ඔහු අතින් සිදුවී නැති තත්ත්වයක් තුල ඔහුගේ කලා නිර්මානයක් මත වෛරී සහගතව කෙරුනු පැමිනිල්ලක් නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂනයක් පැවැත්වීමේ කිසිදු යුක්ති යුක්තභාවයක්, සාධාරනත්වයක් ද නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය හොදින් දැන සිටි ධනපති පාලක පන්තියේ නියෝජිතයන් රටේ ජනාධිපති වීමට සුදුසුකම් දරද්දී, යුධ අපරාද චෝදනා ලැබූ මිලිටරි නිලධාරීන්ට උසස් නිලතල වලට පත්වීම් ලබා දෙද්දී කාලාකරුවෙකුගේ නිර්මානයක් නිසා ඔහුව සේවයේ පිහිටුවීමට රාජ්‍ය ආයතන ප්‍රතික්ෂේප කර සිටී. මෙම ක්‍රියා කලාපය හෙලි කරන්නේ කම්කරු පන්තික අරගලවලට පනපෙවිය හැකි මහජනතාවගේ කලාවට හා කලාකරුවන්ට ඇති පාලක පන්තියේ භීතිය මිස එහි කිසිදු ශක්තියක් නොවේ.

ලංකාවේ වාර්ගික හා ආගමික ව්‍යවස්ථාව මගින්ම බෞද්ධ අන්තවාදයට යටකෙරුනු ධනපති රාජ්‍යයේ ආයතනවල ප්‍රධානීහු එම අන්තවාදයට යටත්ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ අබමල් රේනුවක තැකීමකින් තොරව අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. ලේඛකයන් බිය වැද්දීම සඳහා පොලීසිය ද, උසාවිය ද, රාජ්‍ය පරිපාලන ආයතනද ආගමික සංස්ථාවේ අවශ්‍යතා ඉටුකරමින් සිටින්නේ කම්කරු පොදු මහජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදා දැමීම සඳහා ධනපති ආන්ඩු විසින් ආගමික සංස්ථාව යොදාන්නා බැවිනි. සමස්ථ රාජ්‍ය යාන්ත්‍රනයම තවතවත් දකුනට තල්ලුකෙරෙමින් පවතින බව මෙම ක්‍රියාකලාපය සාක්ෂි දරයි.