Posted on 01.09.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
උතුරේ බිහිවූ ජ්‍යේෂ්ඨතම සිනමාකරුවකු වූ කේසවරාජන් නවරත්නම් හෘදයාබාධයකින් අභාවයට පත් විය.
ඊයේ (08) රාත්‍රියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු අභාවප්‍රාප්ත වූ මෙම සුවිශේෂී කලාකරුවාගේ මෘතදේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (10) පෙරවරුවේ යාපනය, සුදුමලේ පිහිටි නිවසේදී සිදු කිරිමට නියමිත ය.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ සහ යාපනය හින්දු විදුහලේ අධ්‍යාපනය ලැබූ ඔහු සිනමාව හදාරන්නට උත්සාහ කළේ ස්වෝත්සාහයෙනි. ‘තායගමේ තාහම්’ නිර්මාණය කරමින් ඔහු 80 දසකයේ සිනමා ක්ෂේත්රයට පිවිසියේය. යම් යම් අවස්ථාවල සිනමාකරුවන්ගේ සහයෝගය ලැබුණ ද ඔහු සතු සිනමා ප්රාගුණ්යය මූලික වශයෙන් ඔහු විසින්ම කළ අභ්‍යාසයක ප්‍රතිඵලය බව පසුකාලයක සඳහන්කර තිබිණි. එහිදී විමුක්ති කොටි සංවිධානයේ අරගලය වෙනුවෙන් කළ නිර්මාණ සඳහා සංවිධානයේ සහයෝගය ලබාගන්නට හැකි වීම සිනමාකරුවකු ලෙස පවතින්නට අවස්ථාවක් වූ බවද ඔහු කෘතවේදීත්වය සටහන්කර තිබිණි.
වසර දසක තුනක් ඇදී ගිය යුද්ධය හේතුවෙන් ලංකාවේ තමිල් සිනමාව බිඳවැටී තිබුණු අතර උතුරේ සිට සිනමාව මෙන්ම වීදි නාට්‍ය හා වෙනත් කලාවන් ඇසුරෙන් සිය නිර්මාණකරණය සිඳී යා නොදී පවත්වාගෙන යන්නට දැරූ උත්සාහය ඉතිහාසයට එක් වේ. අවම පහසුකම් මැද ‘අම්මා නල්ලමා'(අම්මේ, සුවෙන්ද?), වැනි සිනමා නිර්මාණයක් බිහි කරමින් සන්නද්ධ අරගලයේ යෙදුණු තමිල් ජනයාගේ ජීවන යථාර්ථය කෙරෙහි ප්‍රේක්ෂක ඇස යොමුකරන්නට උත්සාහ දැරීය. ‘කඩරෝල කාට්රු’ (මුහුදු සුළං) වැනි නිර්මාණයක් බිහි කරමින් තමිල් සන්නද්ධ අරගලයේ අත්දැකීම් සිනමාවට නැගීමෙන් ඔහු අරගලයේ සිනමාකරුවක් ලෙස වඩාත් අවධානයට ලක් විය.
ඔහු දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකත්වය විශ්වාස කළ කලාකරුවෙකි. කොටි සංවිධානයේ පාලනය පවතින කාලයේ එම ප්‍රදේශවල තරුණ ප්‍රජාව කලා නිර්මාණවලට සම්බන්ධ කරගන්නට උත්සාහ කළ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රසාදයට ලක් විය.
2009 සන්නද්ධ අරගලය පරාජය වීමෙන් පසුව ‘පනයිමරක්කාඩු'(තල් අරණ) නමැති චිත්‍රපටය ඔහු විසින් නිර්මාණය කරණ ලදී.