தமிழ்
English
Contact
Friday 13th December 2019    
'කොට තුවක්කු' කියැවීම - සුදර්ශන සමරවීර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘කොට තුවක්කු’ කියැවීම – සුදර්ශන සමරවීර



මාධ්‍යවේදී ප්‍රියන්ත ලියනගේ විසින් රචිත “කොට තුවක්කු” නම් නවකතාව ජූලි 15වැනිදා මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්විණි. එහිදී සුදර්ශන සමරවීර විසින් සහෘදයන් වෙත ඉදිරිපත් කළ අදහස් දැක්වීම. ඔහු විසින්ම සංස්කරණය කරමින් මුහුණු පොතේ පළකර තිබිණි. මෙහි පළ කෙරෙන්නේ සුදර්ශන සමරවීර විසින් සටහන් කළ එම විචාරාත්මක ලියැවිල්ලයි.

ජාතියක් නැති ජන්මයක් ඇති තරුණයෙකු වටා ගෙතෙන උපාඛ්‍යාන රැසකින් යුතු ප්‍රියන්ත ලියනගේ විසින් රචනා කරන ලද ‘කොට තුවක්කු’ මෑත කාලයේ මම ආසාවෙන් කියවපු සිංහල නවකතාවක්. කොට තුවක්කුවට මං කැමති ඇයි කියල යන්නයි අද මේ කොළඹ ආවෙ. ඉතිං,
සභාවෙන් අවසරයි..
මේ නවකතාව පසුබිම් වන ඓතිහාසික කාලය සහ අවකාශය පිළිබඳ මේ සභාවෙ ඉන්න සජීවි අත්දැකීම් නැති සුළුතරය අතරින් කෙනෙක් මම. ඒ නිසා නවකතාවට පසුබිම් වන ඓතිහාසික සන්දර්භය වෙත මගේ අවධානය බොහෝසෙයින් මගහැරීම් සහිත එකක්. නමුත් මට පස්සෙ මෙතන කතා කරන්නේ මට වඩා පරිණත ලේඛකයකු මෙන්ම කථිකයෙකුද වන උපුල් ශාන්ත සන්නස්ගල. එතුමා අතින් මට මගහැරෙන බොහෝ දේ කියවෙයි කියල මම අවංකවම විශ්වාස කරනව.
මුලින්ම කියන්න ඕන ප්‍රියන්ත ලියනගේ ශූර ලේඛකයෙක්. හොඳ අදහස් තනන්නෙක් වගේම ඒ හොඳ අදහස් හොඳ වාක්‍යවල අනන්නෙක්. ඒ ගැන කිසිම සැකයක් නෑ. -කොට තුවක්කු- සෞන්දර්යාත්මක සහ අර්ථකාරක වැකි ගොන්නක එතුණ කතා කිහිපෙක ඒකාත්මිකයක්. මේ නවකතාව කියවල ඉවර වෙලා අවසාන පිටුවෙ -නිමි- කියන අකුරු දෙකට යටින් පැන්සලෙන් මම මෙහෙම ලිව්ව;
“මේ ලිවීමේ ශෛලියේ එන්නෙ ලියනගේ අමරකීර්ති වගේ මෑතකාලීන සිංහල සාහිත්‍ය සංස්කෘතියෙ විශිෂ්ටයෙකුගෙ ප්‍රබන්ධමය භාෂාවෙ එන ශෛලිමය සුගන්ධයක්. තේමාත්මකය ඉලක්කය කරගෙන සුන්දර පාද පා තබා දුර ගමන් යන කතා ලතාවක්. භාෂා කැරලිකාරීත්වයක් වෙනුවට තේමාත්මක හී විදිල්ලක් වෙනුවෙන් දුනු මානන භාෂාවක්.”
මුලින්ම ඒ ලිවීමේ ශෛලියට මගෙ කැමැත්ත සහ ගෞරවය ප්‍රකාශ කරනවා.
මේ වගේ නවකතාවක් අයත් වන නවකතා ශානරය “දේශපාලන නවකතා” කියල කියන්න කෙනෙක්ට පුළුවන්. මේ නවකතාවෙ කේන්ද්‍රීය පසුතල වෙන්නෙ 71, 83, 88-89 යන ලංකා සමාජයේ අරගලකාරී සමයන්. මෙරට වාමාංශික තරුණ විප්ලව දෙක සහ සිංහල-දෙමළ ජාතීන් අතර ප්‍රශ්නයේ ඓතිහාසික සන්දර්භ මත පදනම්ව කතුවරයා සිය නවකතාමය තේමාත්මකය අවුළුවන්නට -කොට තුවක්කු-ව මානනවා. වඩාත් පුළුල් අර්ථයකින් මේ දෙස බලල මෙවැනි නවකතාවලට “අදහස්මය නවකතා” කියල කියන්න පුළුවන්.

Novel of ideas. අදහස්මය නවකතාව.
මෙයින් අදහස් වෙන්නෙ novel with ideas නෙමෙයි. අදහස් සමග නවකතාව කියන එක නවකතාවට පොදු එකක්. නමුත් novel of ideas ඊට වඩා ටිකක් වෙනස්. කිසියම් දාර්ශනික පර්යාලෝකයක් දිගේ දුවමින් කතාව පුපුරවනව මේ නවකතා. දේශපාලනික – දාර්ශනික පර්යාලෝකයක් ඔස්සේ මෙහෙයවෙමින් කිසියම් ඉලක්කයක් සොයා යන අදහස් නිෂ්පාදනයක් කෙරෙනව මේ නවකතාවල. මේ නවකතාව කියවන්න ගද්දි ජැකට් කවරයේ ඇතුල් පැත්තෙ ඇති මේ වාක්‍ය කිහිපය මුලදිම අපිට කියවන්න ලැබෙනව. කවරයේ තියෙන ප්‍රියන්ත ලියනගේ සහ කොට තුවක්කු කියන වචන හතර කියවපු අපිට ඊළඟට කියවන්න වෙන්නෙ මේ වාක්‍ය ටික.
“තමුසෙ දන්නවද මං දේශප්‍රේමින්ට ආදරේ ඇයි කියල. උන්ට තියෙන්නෙ කොට තුවක්කු සහ ළඟ ඉලක්ක. උන් කලබලයි. ඒත් කොමියුනිට්ස්කාරයො… උන් හරියට ස්නයිපර් වගේ. උන්ට තියෙන්නෙ දුර ඉලක්ක සහ තියුණු සැලසුම්.”
මට මතක විදිහට මේ ප්‍රකාශය කරන්නෙ වමේ සහෝදරවරු අතරෙම ඉන්න “දේශප්‍රේමි අමුත්තො” එක්ක හවුලේ වමට කෙළින – වමට කෙළවන පොලිස් නිලධාරියෙක්. නවකතාවෙ එන විප්ලව සහෝදර චරිත කිහිපයකටම මරු කැන්දපු මහතන්තිල. දැන් මේ අපි ජැකට් එකේ කියවපු වාක්‍ය කිහිපය, නවකතාවේ ඉස්මත්තට ගෙනෙන ප්‍රධාන අදහස ගැනම හොඳ රූපකාත්මක ඉඟි කිරිල්ලක්. ලංකාවේ වමේ සහෝදර අරගලයට ළඟ ළඟම වැරදිච්චි ඓතිහාසික සන්දර්භ නැවත පරීක්ෂා කරමින් ඒවා දෙස විවේචනාත්මකව බලමින් දුර බලා දුර දිග විහිදුණ වමේ සහෝදර මාවතක් යළි විවර කරගන්නට එකමුතු වෙමු කියන යෝජනාව තමයි මේ නවකාවෙ කේන්ද්‍රීය අදහස කියල මට හිතෙනවා. ඒ ගැන අර වැකි ඉඟි දෙනව.
නවකතාවේ පසු කවරයේ ජැකට්ටෙක ඇතුළෙ අපිට පෙනෙනව මෙහෙම ප්‍රකාශයක්.
“මං කැමතියි ජාතිය කියන්න බැරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මගෙ බඩේ ඉපදෙනවට. එතකොට ඒ ළමය කවදහරි ආදරය කරද්දි ජාතිය ගැන හිත රිදිල හරි, ජාතිය ගැන බය වෙලා හරි එයාට එයාගෙ ආදරෙන් පැනල යන්න වෙන එකක් නෑ. මට ඕනෙ මගෙ කුසෙන් ජාතියක් නැති ජන්මයක් දෙන්න. ජාතීන්ට ඉරි ගහල බෙදුණු ලෝකෙක ජාතියක් නැති මිනිස් දරුවෙක් වදන්න.”
අපි ඒ කියෙව්වෙ මේ නවකතාවෙ කේන්ද්‍රීය චරිත කිහිපය අතරින් එකක් වන පවන්‍යා, ඒ කියන්නෙ නවකතාවේ කතා නායකය වන අරවින්දගෙ අම්මගෙ මුවින් පිටවන අදහසක්. ඇත්තටම මේක තමයි අපි අර මුලින් කිව්ව ප්‍රධාන අදහස වෙත යන්න යෝජනා කෙරෙන සැලසුම. අපේක්ෂිත අරගලය ගැන රූපකයක් කියන්නත් පුළුවන්. ඇත්තටම අපිට නවකතාවෙදි හමු වෙන කතානායක අරවින්ද අර කිව්ව විදිහට ජාතියක් නැතිව ජන්මය ලද දරුවා. එහෙම දරුවෙක් වැදුවම ඒ දරුවා වෙත එල්ල වෙන අභියෝගය අපි ඉස්සරහ දිග හැරෙනව. “තේමාත්මකය” නැතිනම් “කේන්ද්‍රීය අදහස” වඩාත් මුවහත් කරන්නට කතුවරයා හැබැයි ඒ තරම් උත්සාහ ගන්න බවක් පෙනෙන්නෙ නෑ. ඔහු කරන්නෙ වෙනත් උපාඛ්‍යාන ගොන්නක් අරවින්දගෙ කතාව වටා දවටන එක. අපි ඒ ගැන ආයෙත් සංවාදෙට එමු.
දැන් අපි මේ ජැකට් කවරයේ කියවපු ප්‍රකාශ දෙක දිහා බැලුවම අපිට පේනවා ඒවා නවකතාවේ ආඛ්‍යානිත සිද්ධි එක්ක බද්ධ වෙලා තියෙන්නෙ. ඒ වගේම ඒවා මේ නවකතාවේ කතිකා කෙරෙන දේශපාලනික පර්යාලෝකය තුළ සංවාදශීලීයි. නවකතාවේ තේමාත්මකය වෙත ඇරුණු, අදහස් ප්‍රකාශනයේ දෙබස්. මේ නවකතාව පුරාම මේ වගේ දෙබස් එනවා. සාමාන්‍යයෙන් හුදු කතාන්දරයක් කියනවා හෝ චිත්‍රණය කරනවා වෙනුවට අර කිව්ව වගේ දේශපාලන-දාර්ශනික සංකථනයක් චරිත සහ සිද්ධි ඇසුරේ කරන්නට මෙහිදී උත්සාහ ගැනෙනවා. තේමාත්මක ඉලක්කය ගැන නිරන්තර වධ වෙන ලේඛකයෙක් අතින් ලියැවෙන ලියවිලි මෙහෙම තමයි.
ලියනගේ අමරකීර්තිගෙ – අහම්බකාරක – මෙවැනි අදහස්මය නවකතාවකට මෑතකාලීනව හොඳ උදාහරණයක්. නිශ්ශංක විජේමාන්නගෙ හරිම හුරුබුහුටි නවකතාව වන – හඳ පළුව තනි තරුව – පොතෙත් අදහස්මය ගැඹුරකට කිඳා බහින්නට අර අඳින නවකතාකාර ලකුණ පේනවා. මංජුල වෙඩිවර්ධන කියන්නෙත් මේ “අදහස්” පිට්ටනියෙ නිදහසේ සෙල්ලම් කරන ප්‍රන්ධකතාකාරයෙක්. ඔහුගෙ මෑතකාලීන ප්‍රබන්ධ සියල්ලම වගේ මේකට සාක්ෂි දෙනව.
ප්‍රියන්ත ලියනගේගෙ – කොට තුවක්කු – මේ අදහස්මය පොරපිටියට බට අලුත් නවකතාකාරයෙක්ගෙ මැච් එකක්. මේ නවකතාවේ තේමාත්මක අදහස් ගැන කතාකරන්නට මත්තෙන් මම මේ නවකතාවේ ව්‍යුහනය කෙරෙන ආඛ්‍යානය ටිකක් එහෙන් මෙහෙන් සාරාංශ කරන්නට අවශ්‍යයි.
මේ නවකතාවෙ “සිතියම” කියල නම් කර ඇති ඉතා කෙටි ආරම්භක පරිච්ඡේදයෙ ඉන්නෙ උත්තම පුරුෂ ඒක වචන “මම” කථකයෙක්. නමුත් ඒ උත්තම “මම” නවකතාවෙ කතන්දරමය වැදගත්කමක් ඇති චරිතයක් නෙමෙයි. කතාව අපිට කියන කතාවෙන් පිට චරිතයක්. කතුවරයාගෙ මේ ප්‍රවේශය අදහස්මය නවකතාවකට හොඳ ප්‍රවේශයක් කියල මම හිතනව. මොකද මේ වගේ නවකතාවලදි කෙරෙන්නෙ චරිත සහ ඒ චරිත මුහුණ දෙන සිදුවීම්වලට ආත්මීයව ඇලෙමින් කඳුළු සැලීම හෝ සිනාසීම නොව බුද්ධිම යළි සිතා බැලීම් සහ පරිකල්පනීය පොහොසත්කම හඹා යන කියවීම්. ඒ නිසා නවකතාවෙ චරිත සමග අතේ දුරින් ඉන්න එක හොඳයි. සුප්‍රකට නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගෙ “ඒලියනේෂන්” හෙවත් “දුරස්ථීකරණ රංග රීතිය” එහෙම නැත්තම් “තදාත්මක විඝටනය” එක්ක මේ නවකතාවේ කථක එළඹුම ටිකක් සමීපයි කියල මට හිතෙනව. නවකතාව ඇතුළට යනකොට බ්‍රෙෂ්ටියානු දුරස්ථීකරණය සමග කොතෙක් දුරට කතුවරයා අනන්‍ය වෙනවද කියල ඔබ නවකතාවට කතා කරල අහල බලන්න. නවකතාව ඉස්සරහදි තව උත්තම “මම” කථකයො කිහිපදෙනෙක්ම එනවා. ඒ අය තමන්ගෙ කතාව වගෙම අනුන්ගෙ කතාත් කියනව. ඇතැම්විට සර්වඥ කථක වේශයෙනුත් එනව.
සිතියම නම් කොටසේ එන උත්තම “මම” කථක චරිතය නවකතාවේ කථානායකයා වන අරවින්දගේ හිත අස්සට ඇතුල් වෙනව. විටෙක උත්තම පුරුෂයෙනුත් ප්‍රථම පුරුෂයෙනුත් දෙකෙන්ම කථක මුවින් අපිට කතාව කියවන්න ලැබෙනව. තවත් උප කතා ගණනාවකටම දොරවල් ඇරෙනව. අපි දැන් මේ නවකතාවෙ ආඛ්‍යානිත සිදුවීම් ටිකක් එහෙන් මෙහෙන් අවුස්සල බලමු.
මූලික වශයෙන් නවකතාවෙ උප කතා ගොඩනැගෙන්නෙ එක් සිද්ධියක් කේන්ද්‍රය කරගෙන. කථානායක අරවින්ද ඉතාම දක්ෂ පාසල් ශිෂ්‍යයෙක්. ඔහුට දරුණු චෝදනාවක් එල්ල වෙනව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මෙන්ම විදුහල්පතිවරයාගේ නොනිල පතිනිය වන සුගුණවතීගේ ප්‍රත්‍රයාට පහර දීමක් සම්බන්ධයෙන්. ඒ වගේම තවත් චෝදනාවක්. පෙබරවාරි හතරවෙනිදා ජාතික නිදහස් දිනයේත් පාසල පැවැත්වෙනව. මේ නිදහස් දිනයෙ වත්සලා නම් පාසල් ගුරුවරිය විසින් කරන කොලොප්පමක් මුල් කරගෙන. වත්සලා, ජාති වාත්සල්‍යයෙන් අගතැන්පත් මහින්ද නම් ඉතිහාස සර්ට කොලොප්පමක් කරන්නට සිතා ඔහුට උදේම එන්නට නියමිත වන පන්ති කාමරයේ කළු ලෑලේ “ජාතියේ මළගම” යනුවෙන් ලියනව. පන්තියට එන මහින්ද සර් මේක දැකල කිපෙනව. උදේ රැස්වීමට නොගිය අරවින්ද නම් ශිෂ්‍යයා මත වැරැද්ද පැටවෙනව. මේ චෝදනා දෙක කාර්යාලෙදි නඩුවක් විභාග කරන්නාක් මෙන් විමසා බැලෙනව. කතුවරයා මේ සිද්ධිය නවකතාව තුළ චිත්‍රණය කරල තියෙන්නෙ උසාවියක නඩු විමසීක ආකෘතිය අනුව යමින්. පෘෂ්ටීය වියමන තුළ ඔහු නඩු විභාගය තත්වානුරූපි ලෙස කියාපාන්නට උත්සාහ දරණ බව පේනවා. උදුල බණ්ඩාර සේනාරත්න විදුහල්පතිතුමා.ජාතිරත්න විනයභාර ගුරුවරයා. සුගුණවතී හෙවත් නියෝජ්‍ය විදුහල්පතිනිය. ඉතිහාස සර් මහින්ද. කුවේණි නමින් පාසල් ශිෂ්‍යයන් අතර අති ජනප්‍රිය රූමත් තරුණ ගුරුතුමිය වත්සලා. අරවින්ද නම් පාසල් ශිෂ්‍යයා. ඒ අය නඩු විභාගයට සහභාගි වෙන අය.
බැලූබැල්මටම අපිට තේරෙනව මේ සිදුවීම ඒ තරම් සිද්ධිමය වැදගත්කමක් ඇති එකක් නෙමෙයි. මෙවැනි විනය කැඩිලි අපේ පාසල්වල සුලබව වෙනව. කෙසේවෙතත් මේ කේන්ද්‍රීය සිද්ධිය අස්සෙ ඉන්න චරිතවල ක්‍රියාකාරීත්වය සහ අවලෝකන නිසා අතුරු සිද්ධි ගණනාවක් අස්සෙන් රස්තියාදුවක් ගහන්නට පාඨකයට සිද්ධ වෙනව. ඒවා කේන්ද්‍රීය සිද්ධිය සමග සමකාලික අන්තර්සම්බන්ධයක් නැති තරම්. ඒ නිසා මම ඒ චරිත සහ ඒ චරිත සම්බන්ධ වන තවත් චරිතවල කතා උප ආඛ්‍යාන නමින් හඳුන්වන්න කැමතියි. ඒ ඒ චරිත හා බැඳුණු අතීත කතා දැන් අපි කියවනව. සුළු සිද්ධියක් වටා දැවැන්ත කතා ගොන්නක් ගැටගැහෙනව. නවකතාවේ කේන්ද්‍රීය අදහස, එහෙම නැත්තම් තේමාත්මකය වෙත අපිට එළඹෙන්න වෙන්නෙ නවකතාවේ ප්‍රධාන සිදුවීම තුළින් නෙමෙයි අර උපාඛ්‍යාන ගොන්න පරීක්ෂාවෙන්. අරවින්ද සහ බැඳුණු පාසල් නඩුව ඒ වෙත කවුළුවක්. අපි දැනට එහෙම හිතමු.
නවකතාවෙ කියවෙන සිදුවීම් සියල්ල සාරාංශ කරන්නට මෙතනදි අපි ඉඩ නෑ. අපිට මුණ ගැහෙන අරවින්ද, උදුලෙ බණ්ඩාර, වත්සලා සහ මහින්ද වගෙ චරිතවල අතීත කතා තුළින් තවත් නොයෙක් අතුරු කතා වෙත දොර ඇරෙනව.
අරවින්දගෙ අම්මා, පවන්‍යා. අරවින්දට තාත්තල දෙන්නෙක් ඉන්නව. ඔහු ඒ දෙන්නගෙම ලේ මුහුං වීමෙන් ඉපදුණු අසාමාන්‍ය මනුෂ්‍ය ප්‍රාණියෙක් බව නවකතාව අවසානෙදි අපිට ඒත්තු යනව. එක තාත්තෙක් ඩර්බා. ඩර්බා කියන්නෙ දෙමළ තරුණයෙක්. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කාලෙ මේ සුළුගුණේ කියන දුෂ්කර ගමේ උපන් පවන්‍යා පේරාදෙණියෙ උගන්නන කථිකාචාර්යවරයෙක්ගෙ ඥාති ගෙදරක ඉඳල පාසල් අධ්‍යාපනය ලබමින් ඉන්නෙ. සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න මේ කෙල්ල එක්ක ඩර්බා ආලෙන් වෙළෙනව. හැබැයි මේක අප්‍රකාශිත ආදරයක්. පවන්‍යාගේ දෙමාපියන් සමග අතිශය කුළුපග වන ඩර්බාට පවන්‍යා සමග සහෝදරත්වයක් ප්‍රදර්ශනය කරන්නට සිද්ධ වෙනව. ඔහුගේ ආදරය ඔහු තුළම සිරගත වෙද්දී පවන්‍යා අසරණ වෙනව. ඔහු 83 කළු ජූලියෙන් පසු කලෙක ඇති වෙන දෙමළ ජාතික අරගලයට සිය දායකත්වය පුදනව. අරවින්දගෙ අනෙක් තාත්තා හේමන්ත. හේමන්ත කියන්නෙ 88-89 තරුණ අරගලයේ මුල් පෙළේ විප්ලවකාර සහෝදරයෙක් බව පෙනෙනව. ඔහුට තමන්ගෙ දේශපාලනය ව්‍යාපාරයෙහි අභ්‍යන්තරය තුළින්ම ප්‍රහාර එල්ල වෙනව. “දේශප්‍රේමීන්” අතින් ගොඩනැගෙන සීමාන්තික ජාතිකවාදී නැඹුරුව නිසා දේශපාලනික විප්ලවකාරීත්වය දියව යනව. තමන්ගේ වමේ ව්‍යාපාරයේ අනාගතය වඩාත් පුළුල් මාවතකට සේන්දු කරගන්නට කැපවීමෙන් වැඩ කරන ඔහු ඔහුගෙ පක්ෂයේම “අමුත්තන්” අතින් වෙඩි කනව.
පවන්‍යා මේ වෙනකොට ඉන්නෙ පේරාදෙණියෙ ඉඳල සුළුගුණේ නම් අති දුෂ්කර – කැලෑබද ගම්මානයට යළි පැමිණ. ඒ ග්‍රාමීය පාසලේ ස්වෙච්ඡාවෙන් උගන්වමින්. සමාජවාදී අරගලකරුවන් සිය ව්‍යාපාරයේ අනාගතය දිසාගත කරන්නට රැස් වූ එක් හමුවක් පැවැත්වෙන්නේ මේ සුළුගුණේ ආශ්‍රිත නකල්ස් කඳු බෑවුම් පෙදෙසක වනන්තරයේ. ඒ හමුවෙන් පස්සෙ තමන්ගෙ සහෝදර “අමුත්තන්” අතින්ම වෙඩි කෑ සිහිසුන් හේමන්ත සුළුගුණේදි පවන්‍යාගෙ නෙත ගැටෙනව. පවන්‍යා ඔහුව තමාගෙ නිවෙසට එක්ක යන්නට කටයුතු කරනව. පවන්‍යාගේ පියා දේශීය වෙදෙක්. උපැවදිව පවන්‍යාගේ මව හා විවාහ වූ මේ වෙද මහතාගේ පවුලේ අතීත කතාව නවකතාවේ තවත් එක් උපාඛ්‍යානයක්. වෙද මහත්තයගෙ වගේම ඔහුගෙ බිරිඳ, පවන්‍යගෙ අම්මගෙ අතීත පසුබිමත් විප්ලවයට සම්බන්ධ එකක්. ඒ 71 කලබල දවස්. කොහොමහරි වෙද මහත්තය හේමන්තව සුවපත් කරනව. අම්මා සහ දියණිය පවන්‍යා ඒ සඳහා නොමද සහය දෙනව. සුවපත් වෙමින් සිටින හේමන්ත පවුලේ සාමාජිකයෙක් තරමටම ඔවුන් හා සමාගමයට වැටෙනව. ඩර්බාගේ නොසිතූ වියෝවෙන් දැඩි සේ බැට කෑ පවන්‍යා හේමන්ත වෙතත් හේමන්ත ඈ වෙතත් ආලෙන් ඇලෙනව. මේ අතරෙ සුළුගුණේ ග්‍රාමීය පාසලෙහි උගන්වන ධනපති දේශපාලනයට පන්දම් අල්ලන්නෙකු – ස්ත්‍රී සොඩෙකු වන උදුල බණ්ඩාර සේනාරත්න එහි විදුහල්පති බවට පත්ව පවන්‍යාට විවාහ යෝජනා ගෙනෙනව. ඒ විවාහ යෝජනාව පවන්‍යා මෙන්ම පිය වෙද මහතා අතින් නිෂ්ප්‍රභා කෙරෙනව. හේමන්ත පිට රටෙක සිට පවන්‍යා විවාහ කරගන්නට පැමිණ සිටින ඥාති තරුණයෙකු බවට කතාවක් නිවැසියන් විසින් පතුරුවා හරිනු ලබනව. මේ අතරේ අතුරුදන්ව සිටි ඩර්බා යළි පවන්‍යා සොයා එනව. මේ ඩර්බාගේ යළි පැමිණීම නවකතාවේ තීරණාත්මක අවස්ථාවක්. කතා වින්‍යාසමය හැරවුම් ලක්ෂ්‍යයක්.
පවන්‍යා-හේමන්ත-ඩර්බා තුන්කොන් ආදර කතාවකට මුල පෑදෙනව. ඒක සාම්ප්‍රදායික තුන් කොන් ප්‍රේමයක් නෙමෙයි. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා මුහුවුණු ආදර උත්කර්ෂණ නිමේෂයක්. නවකතාවේ තේමාත්මකය උද්දීපනය කරන – නවකතාවේ මධ්‍ය අදහස පිළිබඳ සංවාදය අවුළුවන කේන්ද්‍රීය උපාඛ්‍යානය මේක. මේ තුන්දෙනා ආදරයෙන් බැඳෙනව. පවන්‍යා මේ දෙන්නගෙම ආදරවන්තිය. සහකාරිය. ඩර්බාත් හේමන්තත් හවුලේ සම සමව පවන්‍යාට පෙම් කරනව. ඔවුන් විවෘතව මේ ගැන කතාබහ කරනව. ආදරය බෙදා ගන්නව. හේමන්ත සහ ඩර්බා ඔවුනොවුන් වෙත සහෝදර පෙමින් වෙළෙනව. හේමන්ත ජාතියෙන් සිංහල. වාමාංශික ව්‍යාපාරයේ කාඩර්වරයෙක්. ඩර්බා දෙමළ. ජාතික අරගලයේ විප්ලවකාර චරිතයක්. මේ අරගලකාරයන් දෙදෙනා සහ පවන්‍යාගේ නව ආදර කතාව තුළ නව දේශපාලන මාවතක්ද විවර වෙමින් එනව. ආදර දේශපලනයේ මාවත. අපේ සංවාදයේදී මුලදිම කිව්ව නවකතාවෙන් යෝජිත “විප්ලවයට අලුත් පාර” කැපෙන්නෙ මේ තුන්කොන් ආදරයෙන්. නවතාවේ මේ තේමාත්මක අඩවිය වෙත අපි නැවත එමු.
වත්සලා. ඇය තමයි මේ නවකතාවෙ මුඛ්‍ය සිදුවීම වන පාසල් කාර්යාලයේ ඇසෙන නඩුවෙදි අරවින්දගේ ගැලවුම්කාරිය වන රූමත් තරුණ ගුරුවරිය.. ඇය ඩර්බාගේ වැඩිමහල් සොයුරා වන තරුණ වියෙහිදිම ජාතිවාදී ගැටුම් සමයේ ප්‍රංශයේ පදිංචියට ගිය සර්බාගේ දියණිය. ඇය ප්‍රංශයේ සිට ලංකාවට පැමිණ ස්වෙච්ඡාවෙන් පාසලක උගන්වනව. ඇගේ කතාව තවත් එක් උපාඛ්‍යානයක්. වත්සලා සහ අරවින්දගේ කතාව එහි තවත් දිගුවක්.
මහින්ද. නිදහස් දිනයේ වත්සලා කළ කොලොප්පමට අරවින්දට එරෙහිව විදුහල්පති වෙත පැමිණිලි කරන කුවේණිට ලොබින් සිටින ඉතිහාස ගුරුවරයා. පසුව වත්සලා සමග එකතුව අරවින්ද වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කරන ඔහුත් ආදි වාමාංශික කැරලිකාරයෙක්. ඔහුගෙ අතීත කතාව මේ නවකතාවෙ තවත් එක් උපාඛ්‍යානයක්. මහින්ද – වත්සලා සහ අරවින්ද යන තුන් කොන් සම්බන්ධය තවත් දිග කතාවක්. මාගරට් සහ ගුණා, ශිවා ආදි ලෙස තවත් අවශේෂ චරිත කිහිපයකම තවත් පොඩි පොඩි උප ආඛ්‍යාන එනවා නවකතාවෙ. මෙතැනදි ඒවා සාරාංශ කරන්නට ඉඩ මදි.
කතුවරයා මේ සියලු උපාඛ්‍යාන චිත්‍රණය කරන්නෙ නවකතාවෙ “මධ්‍ය අදහස” එහෙම නැත්තම් “කේන්ද්‍රීය අදහස” වඩාත් උද්දීපනය කරල ඉස්මත්තට ගන්නට බව කියවගෙන යනකොට තේරෙනව. මෙතනදි “කේන්ද්‍රීය අදහස” කියන්නෙ මොකද්ද කියන එක ඉතාම කෙටියෙන් සලකල බලමු. Central idea. එහෙම නැත්තම් Main idea. මේක සාමාන්‍යයෙන් අපි theme – තේමාව, වඩාත් සියුම් කරල අපි වටහගන්න “තේමාත්මකය” යන්නට පර්යාය ලෙස භාවිතයට ගන්න යෙදුමක්. කොහොම වුණත් අපි මුලදිම කිව්ව වගෙ මේ – කොට තුවක්කු – වගෙ නවකතා අදහස්මය නවකතා. ඒ වගේ නවකතාවක් සම්බන්ධයෙන් මේ “මධ්‍ය අදහස” පිළිබඳ සංකල්පය ඉතාම වැදගත්. ඒ කියන්නෙ මේ අදහස් ගොඩකින් පිරුණු චරිත-සිදුවීම් සහිත උපාඛ්‍යාන ගොන්න කුල්ලෙන් පොලා ගත් විට කුල්ලේ ඉතිරි වන අදහස. ඒක තමයි මේ නවකතාවල ඉලක්කය. කේන්ද්‍රීය අදහස. තේමාත්මකය.
අපි දැනටමත් එහෙන් මෙහෙන් කියල තියෙන විදිහට මේ නවකතාවේ කේන්ද්‍රීය අදහස වෙන්නෙ වමේ නව අරගලයක සිහිනය. අතීත අරගලවල සීමාවන් අතික්‍රමණය කරමින් වඩාත් පුළුල් එක්කාසුවක් මෙහි යෝජනා වෙනව. ලංකාවේ අරගලකාරී ඓතිහාසික සන්දර්භ පරීක්ෂා කරමින් වාමාංශික අරගලයට නව දිශානතියක් පෙන්වන්නට නවකතාකරුවා වෑයම් කරනව. දෙමළ සිංහල ජාති ප්‍රශ්නය දෙස වඩාත් ප්‍රගතිශීලීව බලමින් සිංහල-දෙමළ ජාති භේද නැති වාම එකමුතුවක් අපේක්ෂා කෙරෙනවා. දේශප්‍රේමී-ජාති උන්නතිකාමී පටු දේශපාලනය වෙනුවට ආදර දේශපාලනයේ මාවතකට නකතාවේ පාර කැපෙනව. මේක තමයි අපි මුලිනුත් කිව්ව වගෙ -කොට තුවක්කු-වෙ කේන්ද්‍රීය අදහස. අනාගත ලංකාවෙ දේශපාලනය ගැන උනන්දුව වඩවන මේ සංවාදය වෙත පාඨකයාව ව්‍යංගා වංගු නැතිවම කැඳවාගෙන යන්න ප්‍රියන්ත ලියනගේ කටයුතු කරන හැටි පේනවා. මේක අදහස්මය නවකතාවක් වෙන්න මේ කතුවර මැදිහත්වීම පිටට පෙනෙන එකත් එක හේතුවක් කියල මම හිතනව. මේ නවකතාවෙදි තැනින් තැන එක් එක් චරිතවල, කථකයන්ගෙ මුවට විවිධ ප්‍රවේශයන්ගෙන් “මධ්‍ය අදහස” ප්‍රකාශ කෙරෙනව. පැහැදිලිවම. සෘජුවම. ඒ ගැන අපිට නොයෙක් විවේචන සහ චෝදනා වගෙම වෙනස් වෙනස් කියවීම් තියෙන්න පුළුවන්. කොහොමවුණත් මේ නවකතාවට පැහැදිලි දේශපාලනික අධ්‍යාශයක් තියෙන බව පෙනෙනවා. ඒ අර්ථයෙන් මේක නූතනවාදී හෝ පශ්චාත් නූතන ප්‍රබන්ධ කතාවකට වඩා වැඩිපුර ළං වෙන්නෙ සාම්ප්‍රදායික නවකතා කලාවට.
පශ්චාත් නූතන සාහිත්‍ය තුළ අපි දන්නවා පරමාදර්ශ නෑ. කේවළ සත්‍යයක් නෑ. අර්ථකථනය සංදිග්ධයි. ආඛ්‍යානයෙත් කැබතිලිමය ස්වභාවයක් තියෙන්නෙ. මේ නවකතාවෙත් ආඛ්‍යාන ව්‍යුහයෙ නම් කැබලිතිමය ස්වභාවයක් තියෙන බව ඇත්ත. නමුත් මේ නවකතාව අර්ථකථනය වෙනත් නූතනවාදී හෝ පශ්චාත් නූතන සාහිත්‍ය පඨිතයක් අර්ථකථනය කරනවට වඩා ලේසියි. කිසියම් ඒකාධිකාරී අර්ථකාරකයෙක් නවකතාභ්‍යන්තරයේ හිටගෙන ඉන්නවා. ඇවිදිනව. ඒ නිසා අර්ථකථනමය සංදිග්ධතා අඩුයි. රූපකමය යථාර්ථයක් වෙනුවට සෘජුවම පාඨක ආලෝචනය ඉල්ලා සිටිනව නවකතාවේ මුඛ්‍ය යථාර්ථය පිළිබඳවම. භාෂාත්මක තලයෙදි සංකේත නම් බහුලව මුණ ගැහෙනවා. ඒක මාව ටිකක් දුර්මුඛ කරවන තරම්. සාම්ප්‍රදායික නවකතාවල කිසියම් අනතුරක් පිළිබඳ ඉඟි දෙන්නට, ඉදිරියෙදි සිදුවන දෙයක් පිළිබඳ පූර්ව ඇඟවුම් දෙන්නට පරිසරයේ විවිධ සංකේත විස්තර කරන හැටි අපි දන්නවා. මේ නවකතාවෙත් එහෙම පරිසර වර්ණනා බහුලව යෙදෙනව.
කොහොම වුණත් කතුවරයා කරන්නෙ සුළු සිදුවීමක් ඇසුරින් කවුළු සදාගෙන ඒ කවුළු තුළින් ඉතා බරපතල ඓතිහාසික සන්දර්භ වෙත අපේ අවධානය මෙහෙයවන එක. ඒ ඔස්සේ නව දේශපාලනික අදහසක් මතු කරන්නට පොරකෑම. සාමූහික සහෝදරත්වයේ නව අරගලයක් යෝජනා කිරීම. ජාතිය හෝ ආගම වැනි පටු සීමා මත පදනම් නොවන විශ්වීය දැක්මක් සහිත අරගලයක්. ඒක නවකතාවෙ තවත් කුළුගැන්වුණා නම් හොඳයි.
දැන් අපි මේ කතාවත් හිතේ තියාගෙන අපේ කතාබහේ අවසානය වෙත පියවර තබමු.

තේමාත්මක කුළුගැන්වීම සහ උපාඛ්‍යාන සමෝධානය

තේමාත්මක කුළුගැන්වීම කියනකොට මෙතනදි මම අවධානය යොමු කරන්නෙ අපි කලින් කතා කළ කේන්ද්‍රීය අදහස.
ජාතිවාදයෙන් තොර වමේ සහෝදර අරගලයක්. මේ ක්‍රමයට විකල්පයක් සොයා යන ආදර දේශපාලනයේ මාවතක්.
මේ කොට තුවක්කු නවකතාව හරියට මෑත වසරක පළ වූ ඉසුරු ප්‍රසංගගෙ -පේමතෝ ජායතී අසෝකො- නවකතාවෙ පරස්පරය වගේ. දැන් මට ඒ නවකතාවෙ කථානායකගෙ උදාන පාඨය මතක නෑ. මුලින් මාක්ස්වාදියෙක්, කොමියුනිස්ට්වාදියෙක් විදිහට විප්ලවය එක්ක සහෝදරත්වයෙන් වැඩ කරන ඔහු මේ වමේ ව්‍යාපාරය ගැන කලකිරෙනව. භෞතිකවාදී වාම දේශපාලනයෙන් මිදිල ඔහු ජ්‍යෝතිෂ්‍ය යන්තර මන්තර ගුරුකම් පස්සෙ යනව. නොයෙක් දේශපාලන ව්‍යාපාර එක්ක ගණුදෙනු කරනව. කලාවෙ නියැලෙනව.නොයෙක් අතුරු දේශපාලන මාවත් දිගේ ඇවිදිනව. විමුක්ති මාවතක් හොයනව. ක්‍රමය වෙනස් කරන අරගලයට පාරක් හොයනව. එතනදි ඔහු සම්පූර්ණයෙන්ම හොයාගන්න යථාර්ථය කොට තුවක්කු නවකතාවෙ විරුද්ධ පැත්ත. ඉසුරුගෙ නවකතාවෙ අවධාරණය වෙන්නෙ දේශප්‍රේමයෙන් ඔද වැඩුණු අපේකම විහිදෙන අරගලයක්. ජාති වාත්සල්‍යයෙන් මුසපත් වෙච්ච කොමියුනයක් ඔහුගෙ පැතුම. අර මට මතක නැති ඉසුරුගෙ නවකතාවෙ කථානායකය ඉංග්‍රීසියෙන් කියක උදාන පාඨයෙ එන්නෙ “අයි ඈම් සේ ඉට් ලවුඩ්, අයි ඈම් සේ ඉට් ප්‍රවුඩ් .. අයිම් අ කොමියුනිස්ට්” වගෙ එකක්. ඔහු නවකතාව අවසාන වෙද්දි ආපහු කොමියුනිස්ට්වාදියෙක් වෙනව. හයියෙන් කෑ ගහල කියනව තමන් කොමියුනිස්ට්වාදියෙක් බව. හැබැයි ඔහු ජාති වාත්සල්‍යයෙන් මුසපත් වෙච්ච සමාජවාදියෙක් එතකොට. එහෙම කොමියුනිස්ට්වාදයක් පවතින්න පුළුවන්ද කියන ප්‍රශ්නය මට තියෙනව. ප්‍රියන්ත ලියනගේගෙ නවකතාවෙ -දේශප්‍රේමියො- නමින් තම සහෝදර අරගලකරුවන්ටම වැඩේ දෙන -අමුත්තො- අතරින් කෙනෙක් වගෙයි මට ඉසුරු ප්‍රසංගගෙ නවකතාවෙ කථානායක චරිතය පෙනෙන්නෙ. ඇත්තටම ඉසුරුගෙ -පේමතෝ ජායතී අසෝකො – කියන්නෙ සිංහල ජාතිවාදී අලකලංචියේ උපමා කතාවක්. මං ඒ නවකතාව ගැන රාවයට ලිව්ව විචාරාත්මක රචනයේ මාතෘකාව දැම්මෙත් ඒ වගෙ එකක්. ප්‍රියන්ත ලියනගේ අභියෝග කරන්නෙ මෙන්න මේ ඉසුරු ප්‍රසංග හයියෙන් කෑගහන “දේශප්‍රේමී වමේ කැරලිකාරයන්ගෙන්” අනාගත අරගලය වෙන් කරගෙන ඒක වඩාත් පුළුල් තලයකට ගෙන ඒම.
කොහොම වුණත් මේ නවකතාවේ “මධ්‍ය අදහස” නවකතා රසිකයා මත පැටවෙන්නෙ එක්තරා කෘත්‍රීම ආකාරයකට කියලත් වෙලාවකට මට හිතෙනව. ඒ කියන්නෙ නවකතාකාර පොළොවෙන්ම මතු වෙනව වෙනුවට අහස දෙසින් අර අදහස පාත් වෙනව වගෙ එකක්. ඒ තරම් නරුම විදිහට කිව්වට මේ නවකතාවෙ සංරචනය වෙන අත්දැකීම් ටික මරු. ඒව ගැන වෙනම කතිකා ගොඩනැගෙන්න ඕන. කෝකවෙතත් අපි දැන් මේ නවකතාවෙ ව්‍යුහ සංරචනය ගැන ටිකක් කතා කරල ඉමු.
මේ නවකතාවෙ කථකයො ගොඩක් ඉන්නව. කථකයො වරින් වර මාරු වෙනව. ප්‍රබන්ධ කතාව තුළ මේක දැන් කාලාන්තරයක් තිස්සෙ භාවිතා වෙන ව්‍යුහමය උපක්‍රමයක් වුණත් ඒක නූතනවාදී ලක්ෂණයක්. සාම්ප්‍රදායික ප්‍රබන්ධ කතාවෙදි වගේ උත්තම පුරුෂ හෝ ප්‍රථම පුරුෂ සර්වර්ඥ කේවළ කථකයෙක් ලවා කතාව කියැවෙනවට වඩා මේක නැවුම් වැඩක්. සාහිත්‍ය න්‍යාය තුළ මුල් කාලයේ මේ කථකයා සම්බන්ධ සිද්ධාන්තය හැඳින්නුවෙ point of view කියල. ඒ කියන්නෙ දෘෂ්ටිකෝණය. කාගෙ දෘෂ්ටිකෝණයෙන් පෙරිලද කතාව පාඨකයා වෙත එන්නෙ කියනෙක. ඕනෑම ප්‍රබන්ධ කතාවක මේ කථකයගෙ එළඹුම බරපතල ලෙස වැදගත්. දෘෂ්ටි කෝණය කියනකොටම එතැන කිසියම් දෘෂ්ටිමය ආධිපත්‍යයක් තියෙනව පේනව. ආඛ්‍යානිත සිද්ධිය අපි වෙත එන්නෙ කිසියම් කෙනෙක්ගෙ දෘෂ්ටිකෝණයකින්. ඒ සිද්ධිය දෙසම වෙනත් කෙනෙක්ගෙ දෘෂ්ටිකෝණයකින් බැලුවොත් ඒ සිද්ධිය අපිට පේන්නෙ වෙනස් විදිහකට වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රබන්ධකතාකරුවෙක්ට අභියෝගයක් තියෙනව. ඒකමානීය හෝ පාර්ශවීය දෘෂ්ටියක් ඉස්මත්තට එන්න පුළුවන්. ඒ නිසා දැන් බොහෝ කාලයක් තිස්සෙ ප්‍රබන්ධකතාකරුවො මේ අභියෝගයට නොයෙක් විදිහට මුහුණ දෙන්න උත්සාහ කරනව. Focalization කියන සංකල්පය තමයි දැන් ප්‍රබන්ධ කතා න්‍යායෙදි වැඩිපුර භාවිතා වෙන්නෙ point of view කියන යෙදුම වෙනුවට. නාභිගතකරණය කියල සිංහලෙනුත් දැන් ගොඩක් තැන්වල මේ සංකල්පය ගැන කතා වෙනව. එක් චරිතයක් හෝ එක් මානයකින් කතාව වෙත පක්ෂග්‍රාහී ලෙස එළඹෙනවා වෙනුවට අදාළ චරිත සිද්ධි වෙත කිසියම් දෘෂ්ටිමය ආධිපත්‍යයක් නැතිව පාඨකයව සම්මුඛ කිරීම තමයි මේකෙ අරමුණ. මේක මුළුමනින්ම ජයගන්න පුළුවන් තත්වයක් නෙමෙයි. නමුත් දැන් දැන් සිංහලෙන් ලියවෙන ඇතැම් නවකතාවලත් මේ නාභිගතකරණයේ මහඟු ඵල ලැබෙන අවස්ථා අපි දැකල තියෙනව.
කිසියම් කෙනෙකුගෙ පර්යාලෝකයෙන් – කෙනෙක්ගෙ ඇස් දෙකෙන් මුළු කතාවම අපි දැකගන්නව වෙනුවට අදාළ සිද්ධි – චරිත වෙත වෙන වෙනම එළඹෙන්න අපිට පුළුවන් වෙන්න සමකාලීන ප්‍රබන්ධකතාකරුවො උත්සාහ ගන්න බව පෙනෙනව. එතකොට එකම කතාව තුළ අපිට කටහඬවල් ගොඩක් ඇහෙනව. අපි බහුශාබ්දිකත්වය කියල හඳුනගන්නෙ මේක. ප්‍රබන්ධකතාවක් කියවීමෙදි බහුශාබ්දිකත්වය උපදිනව කියන්නෙ ඒ කතාවෙ විශිෂ්ටතාවක්. මේ කතාවෙත් කථකයො ගොඩක් ඉන්නව. නමුත් මේ නවකතාවෙ බහුශාබ්දිකත්වයක් උපදින බවක් මගෙ කියවීමට පෙනෙන්නෙ නෑ. කිසියම් පූර්ව නිශ්චිත අරමුණක් ඇතිව කිසියම් අදහස්මය පර්යාලෝකයක් දිගේ මේ නවකතාව දිවවෙන බව අපි කලිනුත් කිව්වා. මං ඒක නරකයි කියන්නෙ නෑ. නමුත් මේ නවකතාවෙ චරිත ගොඩක් කතා කරාට අපිට එකම කටහඬයි වගෙ ඇහෙන්නෙ. සියලු චරිතවල ක්‍රියාකාරීත්වයන්ගෙන් සහ ඒ චරිත නිරූපණය වෙන ආකාරයෙන් අර මධ්‍ය අදහස ඉස්මත්තට ගැනෙනව.
නවකතාව ව්‍යුහනය කිරීමෙදි කතුවරයා තමාට විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවණතා පිළිබඳ තමාගෙ දැනුවත්කම පෙන්වනව කියලත් හිතෙනව. ඔහු පාවිච්චි කරන ඇතැම් සංරචනාමය උපක්‍රම කතාව සමග ආත්මබද්ධතාව අඩු බවයි මට හිතෙන්නෙ. කථකයා හසුරුවන ආකාරයේ ඉඳලම ඔහු තව තවත් කල්පනා කළා නම් හොඳයි කියල මට ඇතැම් විට හිතෙනව.
මේ නවකතාවෙ කතා වින්‍යාසය හදල තියෙන්නෙ කාලානුක්‍රමික කාලයට නෙමෙයි. ඒ වගේම පෘෂ්ටීය වියමන තුළ නොයෙක් අත්හදාබැලීම් ඔහු කරනව. පාසලේ කාර්යාලයේ අරවින්දට එරෙහි චෝදනා විමසන ආකාරය නවකතාවෙ සංරචනය කෙරෙන්නෙ උසාවියක ආකෘතිය සිහිගන්වන විශේෂ ආකාරයකට. නමුත් ඒ පෘෂ්ටීය වියමන ඒ ආකාරයෙන් තැබීමෙන් නවකතාවෙ මධ්‍ය අදහසට ඒ තරම් ආලෝකයක් ලැබෙන බවක් පෙනෙන්නෙ නෑ. ලියුම් සහ නොයෙක් ශීර්ෂ යෙදූ උපාඛ්‍යාන සංරචනය කෙරෙනව. නවකතාව ආරම්භයෙදි අරවින්දගෙ හිත අස්සට යන කථකයා වරින් වර මැදට ඇවිත් නොයෙක් බලපෑම් කරනවා. නවකතාවට බාහිර විසිතුරු බවක් මේවායින් ඇති වන බව ඇත්ත. ඒ වුණත් මම හිතන්නෙ සාහිත්යික කලාත්මකතාව කියන්නෙ මීට වඩා කලා කෘතිය එක්ක ආත්මබද්ධ විය යුත්තක් කියලයි.
අනෙක් අතට නවකතාවේ මධ්‍ය අදහස පෝෂණය කරන්නට, තේමාත්මකය කුළු ගන්වන්නට , වඩාත් පැහැදිලිව කියනව නම් නවකතාවෙම කියවෙන ආදර දේශපාලනය පිළිබඳ පාඨක විදර්ශනාව වඩවන්නට අර කේන්ද්‍රීය චරිතය සහ සිදුවීම වටා අනෙක් සිද්ධි ගොඩනැගුණා නම් හොඳයි. අරවින්ද කියන චරිතය සහ පවන්‍යා, ඩර්බා, හෙමන්ත ඇසුරින් අර මධ්‍ය අදහස තව තවත් තියුණු කරන්න තිබුණ කියල මට නිකමට හිතෙනව. මට මේ හිතෙන දේවල් ඒ තරම් නිවැරදි නොවෙන්නත් පුළුවන්. මම මේ නිගමනයක් දෙනව නෙමෙයි. කොහොම වුණත් නවකතාවෙ කේන්ද්‍රීය සිදුවීම සමග අනෙක් උපාඛ්‍යාන දක්වන අන්තර් සම්බන්ධය තවත් තියුණු කළා නම් හොඳයි.
උදාහරණයක් විදිහට පාසලේ කාර්යාලයේ විමසෙන අරවින්දගේ ප්‍රශ්නය වෙත මහින්දගේ අතීත විප්ලව ජීවිත කතාව දක්වන අන්තර්පෝෂණමය සම්බන්ධය මොකද්ද කියල අපි හිතල බලන්න ඕනෙ. මාගරට්ගේ හෝ ගුණාගෙ කතාවත් එහෙමයි. මේ වගෙ තව උප කතා බොහොමයක් තියෙනව. ඒව මරු කතා. හද සසල කරවන අපව අවුස්සන කතා. ඒව මනරම් භාෂාවෙන් පාඨකයාගේ කියවීමේ ලොල වඩවමින් ලියවිලා තියෙන බවත් ඇත්ත. ඒත් අන්තර්සම්බන්ධයයි මම මෙතනදි අවධාරණය කරන්නෙ. මධ්‍ය අදහස පෝෂණය කරන්නට මේ උපාඛ්‍යාන සමෝධානය කරන්නට නවකතාකරුවා සියුම් හුයකින් ඒවා වෙළන්න අවශ්‍යයි.
ප්‍රියන්ත ලියනගේ මේ කෘතියෙ සාහිත්යික කලාත්මකත්වය ඇති කිරීම පිණිස පාවිච්චි කරන ව්‍යුහමය උපක්‍රම නිසා “සාහිත්‍යය” සහ “නවකතාවේ ආනුභූතික සිද්ධි” අතර පැල්මක් ඇති වෙනව කියලයි මට දැනෙන්නෙ. කිසියම් දුරස්ථ බවක්. සාහිත්‍යය වෙනම පේන්න ගන්නවා. උප කතා වෙනම පෙනෙනවා. ඒවා ඉතාම ආකර්ෂණීය විදිහට ලියවිලා තියෙන බවත් ඒවා ඉතාම කාවදිනසුළු – කම්පක කතා බව යළි යළිත් කියන්නට අවශ්‍යයි. නමුත් ඒ කතා මෙහෙම ව්‍යුහමය සැකැස්මකට දැම්මම ඒකෙන් තේමාත්මකය – මධ්‍ය අදහස පෝෂණය වෙනවද කියන එක අපි යළි යළිත් කල්පනා කරන්නට ඕන. ප්‍රියන්ත ලියනගේ විතරක් නෙමෙයි මේ කාරණය සමකාලීන සිංහල සාහිත්‍යකරුවො බහුතරයක් තීරණාත්මක විදිහට කල්පනා කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.
ප්‍රබන්ධ කතාවේ වස්තු විෂයාත්මක අත්දැකීම සහ සාහිත්‍ය පඨිතයෙහි කලාත්මක ව්‍යුහය අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇති වන සේ නිර්මාණාත්මකව සාහිත්‍ය පඨිතය සංරචනය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ගැඹුරින් සිතිය යුතුයි. ඉතිං, නවකතාකරුවා තමාගේ නවකතාවේ ආඛ්‍යානිත සිද්ධි තේමාත්මකය හා හගිස්සවමින් සාහිත්‍ය පඨිතය ව්‍යුහනය කළ යුතුයි. ඒක තමයි කලාව.
ප්‍රියන්ත ලියනගේ විසින් රචනා කරන ඊළඟ නවකතාව කියවන්න දැන් මම ආසාවෙන් මග බලාගෙන ඉන්නවා. ඒ ආසාව, ඒ බලාපොරොත්තුව දැල්වුවෙ මේ මගෙ අතේ තියෙන නවකතාව. කොට තුවක්කු. ඒ හින්දම මම කොට තුවක්කුවට කැමතියි.


සුදර්ශන සමරවීර

ප්‍රියන්ත ලියනගේ – ‘කොටතුවක්කු‘