தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කොරෝනා මරණ ලක්ෂය ඉක්මවද්දී ඇතැම් රටවල් සීමා ලිහිල් කරන්න සැරසෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා මරණ ලක්ෂය ඉක්මවද්දී ඇතැම් රටවල් සීමා ලිහිල් කරන්න සැරසෙයි



කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ(11) දිනයේදී ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 102,026කි.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් එනම් 2037ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එය ලොව ඕනෑම රටක එක්දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

ඒ අනුව එක්සත් ජනපදයේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 18,719 දක්වා ඉහළ යන අතර, එරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද පන්ලක්ෂය ඉක්මවා තිබෙනවා.

වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් එනම්, 18,849ක් වාර්තා වන ඉතාලියේ නව මරණ සහ නව ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා.

ස්පාඤ්ඤයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවා ඇති අතර ආසාදිතයන් 1058,000ක් වාර්තා වේ.

ඉතාලිය සහ ස්පාඤ්ඤය කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

ස්පාඤ්ඤය ඉදිකිරීම් සහ කර්මාන්තශාලා නිෂ්පාදන කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. කෙසේ නමුත්, එරට රජය දැනුම් දී ඇත්තේ පාස්කු සති අන්තයේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

එරට පනවා ඇති සීමාවන් ලබන මැයි 3 වන දා දක්වා දීර්ඝ කරන බව ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි නිවේදනය කර තිබුණි. එසේම කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ඉතාලිය ලබා ඇති ප්‍රගතිය අහිමි කර ගත නොහැකි බව ඔහු සඳහන් කර තිබුණි.

කෙසේ නමුත්, පසුගිය මාර්තු 12 වන දා සිට වසා දමා තිබූ ව්‍යාපාරික කටයුතු ලබන අඟහරුවාදා සිට සීමිත ලෙස විවෘත කිරීමට ඉතාලිය කටයුතු කිරීමට නියමිතයි.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොරෝනා වෛරස් ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා රටවල් ක්‍රියාත්මක කර ඇති සීමාවන් කලින් ඉවත් කිරීම වසංගතය යළි පැතිර යාමේ මාරාන්තික පියවරක් විය හැකි බවටයි.

ඇතැම් රටවලට එහිදී ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය හැකි වුවද, එලෙස සීමාවන් පවත්වා ගැනීම වැදගත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ සීමාවන් ඉවත් කිරීමේදී එය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් කොරෝනා වසංගතය විශාල වශයෙන් පැතිරීමේ මාරාන්තික අවදානමක් පවතින බවයි.

මේ අතර, අයර්ලන්තය එරට පනවා තිබූ කොරෝනා වෛරස් සීමාවන් මැයි 5 වන දා දක්වා දීර්ඝ කර ඇති අතර, තුර්කිය නගර 31ක පැය 48ක් ඇඳිරි නීතිය පනවා තිබේ.

පෘතුගාලය ද එරට කොරෝනා වෛරස් සීමාවන් මැයි 1 වන දා දක්වා දීර්ඝ කර ඇත.

කෙසේ වෙතත්, ස්වීඩනය තවදුරටත් එම සීමා කිරීම් ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කර තිබේ.

ස්වීඩනය තුළ අවන්හල් සහ මත්පැන් අලෙවිසැල් තවදුරටත් විවෘතව පවතින අතර ක්‍රීඩාංගන සහ පාසල් ද මේ දක්වා විවෘතව පවතින බවයි එම පුවත් සේවය වාර්තා කර ඇත.