Posted on 11.06.2020 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
කොරෝනා මර්දනය සඳහා හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ අසාර්ථක බව දෙවැනි කොරෝනා රැල්ල ව්‍යාප්ත වන ආකාරයෙන් පැහැදිලි වන බවත් එම නිසා වසංගත රෝග විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ යුතු බවත් වෛද්‍ය ගිශාන්ත දසනායක පවසයි.
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ යම් අමානුෂික ස්වරූපයක් සහ මිලිටරිකරණයක් පෙනෙන්නට ඇති බවයි. ලංකාවේ වසංගත රෝග විශේෂඥයන් සැලකිලය යුතු පිරිසක් සිටින බවත් ඔවුන් සම්බන්ධ කර ගනිමින් දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ප්‍රතිව්‍යූහගත කළ යුතු බවත් වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවේය.
එමෙන්ම, මිත්‍යා මත පතුරවන ඖෂධ නිෂ්පාදන රාජ්‍ය ඇමැති වෛද්‍ය චන්න ජයසුමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන බවද වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවේය.
”චන්න ජයසුමන රාජ්‍ය ඇමැතිවරයා සුදර්ශන පැණිය කියලා පැණියක් අරගෙන රටපුරා යනවා. අපි මේ පිළිබඳව විමසුවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අදාළව රටේ ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. එකක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව, අනෙක ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය සහ ආයුවේද වෛද්‍ය පර්යේෂණ ආයතනය. මේ ආයතන තුනම මේ සුදර්ශනී පැණිය කොරෝනා රෝගයට සුදුසු බවට පරීක්ෂණ කරලා අනුමත කරලා නෑ. සුදර්ශන පැණිය කියන්නේ පෞද්ගලික සමාගමක් විසින් විකුණන බෙහෙතක වෙළෙඳ නාමය. සුදර්ශනී චූර්ණය කියලා බෙහෙතක් ආයුර්වේදයේ තිබෙනවා. නමුත් එය ලබා දෙන්නේ සෙම්ප්රතිෂ්යාව උත්සන්න වීම නිසා උණ හැදුණු කුඩා දරුවන්ට. ඒත් ඒ සඳහා පුහුණුව ලත් වෛද්‍යවරයකුගේ නිර්දේශයක් සහිතව පමණයි. මේ සුදර්ශන පැණිය කියන්නේ සුදර්ශනී චූර්ණය මත පදනම්ව පෞද්ගලික සමාගමක් හැදූ බෙහෙතක්.
ඒ වගේම මේ ඖෂධයේ අධික ලෙස සීනි අන්තර්ගත වෙනවා. අපි දන්නවා කොරෝනා රෝගය දියවැඩියා රෝගීන්ට මරණය පවා කැඳවන්න පුළුවන්. ඒ නිසා දියවැඩියා රෝගියෙක් මේ සුදර්ශන පැණිය පාවිච්චි කළොත් ඔහු කොරෝනා රෝගය නිසා මරණයට පත්වන්න පවා ඉඩ තිබෙනවා.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය දුම් හට්ටියක් රැගෙන රට වටා යන බවත් ඒලියන්ත වයිට් නමැත්තා රජයේ අමැතිවරුන්ද සම්බන්ධ කර ගෙන විශ්වශක්ති මුට්ටි ගංගාවලට මුදා හරිමින් සිටින බවත් පැවසූ වෛද්‍ය ගිශාන්ත දසනායක මේවා මිත්‍යා විශ්වාස පමණක් බවත් මේවායින් කොරෝනා වසංගතයට කිසිදු බලපෑමක් නොවන බවත් පෙන්වා දුන්නේය. රජය මෙම මිත්‍යාවන් පැතිරවීමට අනුබල දෙන නිසා ජනතාව ඒවා විශ්වාස කරන තත්වයක් නිර්මාණය වී තිබෙන බව කී ඔහු මෙය වසංගතය තවත් ව්‍යාප්ත වීමට හේතු වී තිබෙන බවද පැවසුවේය. මේ නිසා මිත්‍යා විශ්වාසවල එල්බගෙන නොසිට, නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් වසංගතය පැතිර යාම පාලනය කිරිමට රජය කටයුතු කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.