தமிழ்
English
Contact
Thursday 28th January 2021    
කොරෝනා වසංගතයට මුහුණ දීමේදී ආණ්ඩුවේ ප්‍රචාර සහ ඇත්ත පරස්පරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා වසංගතයට මුහුණ දීමේදී ආණ්ඩුවේ ප්‍රචාර සහ ඇත්ත පරස්පරයි!



මේ වනවිට රටපුරා කෝවිඩ්19 ආසාදිතයන් 12,000ක් පමණ හමුව ඇති පසුබිමක ආණ්ඩුව විසින් මේ සම්බන්ධව ගන්නා ප්‍රායෝගික පියවර සහ ලබා දෙන ප්‍රමුඛතා ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේම විද්වතුන්, නිලධාරින් මෙන්ම සාමාන්‍ය සේවකයන්ද චෝදනා කරන තත්වයක් මතු වෙමින් තිබේ.

සෞඛ්‍ය ඇමතිනිය මිත්‍යාවන් පසුපස යමින්, නූතන විහාර මහාදේවිය ලෙස භූමිකාවකට පන පෙවුවද ඇයගේ දේශපාලන නායකත්වය කොරෝනා මර්දනයට ලබා දෙනවා වෙනුවට ඇයට එම කාර්ය සිදුකිරීමේ නොහැකියාවක් අනාවරණය වෙමින් පවතී. සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සිය විෂය ක්‍රියාත්මක කිරීමෙන් බැහැර කරවා ඇති බවක්ද මේ අතර දක්නට ලැබේ. ඇය ඇමති මණ්ඩලයේ හෝ ඉන් පිටත මෙම අරමුදල් හිගය හෝ සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් සාකච්ඡාවට ලක් කිරීමක් පවා සිදුකර නැත. එසේ වුවද වසංගතය සම්බන්ධ විවේචනයන්ට පිළිතුරු දෙමින් ඇමතිනිය ප්‍රකාශ කර තිබුණේ දේශපාලන තරණ කිසිවක් අමාත්‍යංශය මට්ටමෙන් ගෙන නැති බවය. එහි අන්‍යාලාපය වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හෝ වසංගත වැළැක්වීමේ කටයුතු සම්බන්ධ දේශපාලන තීන්දු ඇයගේ අනුදැනුමකින් තොරව ගන්නා බවය.

මේ අතර යුද හමුදාපතිගේ නායකත්වය යටතේ කොරෝනා වසංගතය සම්බන්ධව ගැනෙන පියවර මර්දනකාරිත්වයට ප්‍රමුඛතාව දෙන නමුත් අවශ්‍ය මූළික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අවශ්‍යතා සපුරාලීමට බලධාරින් යොමුකරන තත්වයක් නැත. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉටු කළ යුතු සැපයුම් නොලැබී යාමත් එම කාර්ය සඳහාම පත්කර ඇති කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විෂය සම්බන්ධ නොදැනුවත්කමත් අවසානයේ රට පුරා රෝග ව්‍යාප්තියක් වෙත පාර කැපෙමින් තිබෙන බව සාධක සහිතව ඉදිරිපත් කළ හැකිව තිබේ.

පහත පළ වන්නේ කළුතර මහ රෝහලේ පවතින තත්වය සම්බන්ධ එහි සෞඛ්‍ය සේවිකාවකගේ අනාවරණය හා ආයාචනයයි.
“මම කළුතර මහ රෝහලේ⁣ හෙද නිලධාරිනියක්. අපේ රෝහලේ covid ආසාධිතයැයි සැක කරන රෝගීන්ට වෙන් වූ වාට්ටුවක් තිබෙනවා.වෙනත් වාට්ටු කීපයකින්ම රෝගීන් හමු වෙනවා.මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මංඩලය ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබෙන්නේ අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා උපකරණ නැතිකමින්.රෝගියා සමීපයටම යා යුතු කාර්යයන් වැඩිපුරම සිදු කරන්නේ හෙද හෙදියන්. මෙහිදී ආරක්ෂාව සඳහා අවශ්‍ය N95 mask හිගයක් පවතිනවා.සතියකටම රෝහලට නිකුත් කරන්නේ 100 ක් වැනි ප්‍රමාණයක්.

ICU,ETU,Operation theater 2ක්,වාට්ටු 30 කට මේ ප්‍රමාණය දින දෙකකටවත් මදි.සෝදා වේලා ඉතා පිරිමැස්මෙන් පාවිච්චි කරනවා.පෞද්ගලික වියදමින් ගෙනත් බොහෝ අය පාවිච්චි කරනවා .
අප අනතුර දරන්නේ රටේ හැමෝම වෙනුවෙන්.හැකිඅය උදව් කරන්න අපිට රෝගය සෑදුනොත් රෝහල් කටයුතු අඩාල වී සෞඛ්‍ය සේවය බිඳ වැටේවි මෙහි තතු දන්නා අනතුර පෙනෙන අපට සෑම තත්පරයකම මෙහි භයානක ප්‍රති විපාක පේනවා. අපට උදව් කරන්න. N95 mask හැකි පමණ කළුතර රෝහලට ලබා දෙන්න.”

සමාජ මාධ්‍ය හරහා මෙවැනි ආයාචනා කරන්නට හේතු වී ඇත්තේ ආන්ඩුව විසින් කෝවිඩ් මර්දනය දේශපාලන ප්‍රචාරක කාර්යයක් ලෙස පවත්වාගෙන යමින් එයට සත්‍ය මැදිහත්වීමක් සිදු නොකිරීමය. මෙවර සෞඛ්‍ය ප්‍රතිපාදන රුපියල් බිලියන 20කින් කපා හැරීමෙන් පෙනී යන්නේද කොරෝනා වසංගතයේ ඉදිරි අභියෝගය ආණ්ඩුව විසින් භාර ගෙන නොමැති බවය.