Posted on 02.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවැක්ස් යාන්ත්‍රණය යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රමාද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% ක් ආවරණය වන පරිදි කොවිඩ් එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර තිබිණි. ඒ අනුව පළමු එන්නත් කාණ්ඩය කොවැක්ස් යාන්ත්‍රණයෙන් ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබේ. එහෙත් කොවැක්ස් යාන්ත්‍රණය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇති අතර මෙම ගිවිසුමට නීතිපතිවරයා සංශෝධන එකතු කිරීම හේතුවෙන් එන්නත් ලබාගැනීම ප්‍රමාද විය හැකි බව කොවැක්ස් යාන්ත්‍රණය දැනුම් දී ඇත.
අදාළ ගිවිසුම ඉදිරිපත් කළ විගස මෙම මස අවසානයේ එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් යාන්ත්‍රණය තීරණය කර තිබිණි. නමුත් ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුම සංශෝධනය කිරීම හේතුවෙන් ප්‍රමාද වී එන්නත් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22 වැනිදා) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට සංදේශයක් ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අතර ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්කා සෙනිකා එන්නත් මිලියන 10 ක් මිලදී ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය එම ආයතනයෙන් සෘජු මිල ගණන් කැඳවීමක් කර ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිල ගණන් කැඳවා ඇති අතර එන්නත් තොගය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 52.5 ක මුදලක් වැයවන බවට ගණන් බලා ඇත. එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 10,500 කි. ඊට නැව් ගාස්තු, රේගු ගාස්තු, රක්ෂණ වියදම්ද ඇතුළත් වෙයි.