தமிழ்
English
Contact
Friday 29th May 2020    
කොවිඩ් 19: දෘෂ්ටිවාදයේ වෛරසය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් 19: දෘෂ්ටිවාදයේ වෛරසය



සුමිත් චාමින්ද විසින්, ස්ලෙවෝයි ශිෂෙක්ගේ  PANDEMIC-Covid19 Shakes the World (වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි) කෘතියේ අන්තර්ගතය, සිංහල අනුවාදයකට ගොනුකරන ලිපි මාලාවේ හයවැනි පරිච්ජේදය මෙහි පළ වේ.

(උපුටා පළ කිරීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

හැඳින්වීම
මේ පරිච්ජේදයේදී ශිෂෙක් මානව වර්ගයා මුහුණ දෙමින් සිටින සාංදෘෂ්ටික ගැටළුව ඉතාම සරල ලෙසත් ඒත්තු යන සුළු ලෙසත් පැහැදිලි කරයි. පළමුව ඔහු පෙන්වා දෙන්නේ අතිශය දියුණු තාක්ෂණික වර්ධනයක් අත්පත් කරගෙන සිටින මානවයා සොබා දහමේ කුඩා කැළඹීමක් ඉදිරියේ වුවත් කොතරම් අසරණයෙකු වන්නේද යන්නයි. තාක්ෂණික වර්ධනය එක් අතකින් මිනිසාව සොබා දහමින් ස්වාධීන කරන අතරම අනෙක් අතින් සොබා දහම මත පරායත්ත කරවයි. 
දෙවනුව, කතුවරයා මානව ශිෂ්ටාචාරයේ මහා විනාශයක් පිළිබඳ කාල්පනික චිත්‍රය ධනවාදී පාරිභෝජනවාදයේ අවසානය පිළිබඳ පරිකල්පනයක් සමග ගලපයි. මේ ඔහුගේ ලිවීම් තුළ නිතර මුණ ගැසෙන සමරූපීකරණයකි. කෙසේ වුවද, මෙහිදී ඔහුගෙන් ප්‍රකට වන්නේ මිශ්‍ර හැඟීම් එකතුවක් බැව් පෙනේ. වුහාන් නගරය පිළිබඳ ඔහුගේ ප්‍රබන්ධමය චිත්‍රය මේ මොහොතේ සැබවින්ම වුහානයේ ජීවත් වන ජනයාගේ හැඟීම් සමග සමපාත නොවන බව ශිෂෙක් දනී. එසේම වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනයාගේ දුක් පීඩාවන් ගැනද ඔහු සංවේදීය. වසංගතයේ වෙස් වලා ගත් ආශීර්වාදයන් හඳුනා ගන්නට කෙරෙන ශිෂෙක්ගේ ඇරයුම ඒ අතරම වසංගතයට ගොදුරු වූ ජනයා වෙත මානවීය සහෝදරත්වය ලබා දීමේ ඇරයුමක් සමග සම්බන්ධය.      
අවසන් වශයෙන්, ඔහු මේ එළැඹ ඇති මහා දුර්දසාව අපට අපගේ ජීවිත ගැනත් අප සමාජය සංවිධානය කරගෙන තිබෙන ආකාරය ගැනත් නැවත සිතන්නට අවස්ථාව උදා කරනු ඇතැයි අපේක්ෂා කරයි. මේ පරිච්ජේදය තුළද ඉඟි කෙරෙන කිසියම් කොමියුනිස්ට් ආකෘතියක් පිළිබඳ ශිෂෙක්ගේ අදහස ඔහුගේ ඉහත සුබවාදී අපේක්ෂාව සමග අත්‍යන්තයෙන්ම සම්බන්ධය.

සයවන පරිච්ජේදය:  දෘෂ්ටිවාදයේ වෛරසය

සංඛ්‍යානය ගැන විශේෂඥයෙකු නොවන මා වැන්නෙකුට වුවත් කොරෝනා වසංගතයෙන් මතු කෙරෙන සිත් ගන්නා සුළු එක් ප්‍රශ්නයක් තිබේ:  එය නම් “දත්ත අවසන් වී දෘෂ්ටිවාදය ආරම්භ වන්නේ කොතැනින්ද” යන්නයි. මෙහිලා බල පැවැත්වෙන පරස්පරතාවක් ඇත. අපගේ ලෝකය වඩාත් අන්තර්-සම්බන්ධිත වත්ම, කුඩා ප්‍රාදේශීය ව්‍යසනයකට වඩ වඩාත් ගෝලීය භීතියක් සහ ඉන්පසුව විනාශයක් පන ගැන්වීමේ හැකියාව ලැබේ. 2010 වසරේ වසන්ත සෘතුවේදී අයිස්ලන්තයේ කුඩා ගිනි කඳු පිපිරීමකින් ඇති වූ දූලි වලාවක් විසින් (එය මිහිතලයේ සංකීර්ණ යාන්ත්‍රණයේ කුඩාම කැළඹීමකි) යුරෝපයට ඉහළ අහසේ  විශාල ප්‍රදේශයක ගුවන් ගමනාගමනය නවත්වා දැමිණ. එයින් තියුණු ලෙස සිහිපත් කෙරුණේ, සොබා දහම පරිවර්තනයට ලක් කිරීමේ සුවිසල් මිනිස් ක්‍රියාකාරීත්වයන් සියල්ල නොතකා හරිමින්, මිනිස් වර්ගයා පවතින්නේ හුදෙක් මිහිතලය මත වෙසෙන තවත් එක් සත්ව වර්ගයක් ලෙස පමණක්ය යන කාරණයයි.               
එවන් කුඩා පුපුරා යාමකින් විනාශකාරී සමාජ ආර්ථික බලපෑමක් සිදු වන්නේ අපගේ තාක්ෂණික වර්ධනයෙහි බිඳෙන සුළු භාවය නිසාය; මේ සිද්ධියේදී එය ගුවන් ගමනාගමනයට අදාළය. මීට සියවසකට ඉහතදී එවන් පුපුරා යාමක් ඇස ගැටීමකින් පවා තොරව පසු වී යාමට ඉඩ තිබිණ. තාක්ෂණික දියුණුව අපව සොබා දහමින් වඩාත් ස්වාධීන කරවයි; ඒ සමගම වෙනස් තලයකදී සොබා දහමේ ක්ෂණික හැසිරීම් මත පරායත්ත වන්නටද සලස්වයි. මෙය කොරෝනා වෛරසය සම්බන්ධයෙන්ද අදාළය. එය ඩෙන් ෂියාඕපිං ගේ ප්‍රතිසංස්කරණවලට පෙර සිදු වූයේ නම්, ඇතැම්විට අපට ඒ ගැන කිසිවක් ආරංචි නොවන්නට පවා ඉඩ තිබිණ.        එක් දෙයක් සහතිකය. හුදෙකලා භාවය, නව තාප්ප ඉදි කිරීම සහ වැඩි දුර නිරෝධානය කිරීම මගින් පමණක් මේ ප්‍රශ්නය නොවිසඳෙනු ඇත. කොන්දේසි විරහිත පූර්ණ සහයෝගීතාවක් සහ ගෝලීයව සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් අවශ්‍යය. අප වරක් කොමියුනිස්ට්වාදය ලෙසින් හැඳින්වූ දෙයෙහි නව ආකෘතියක් අවශ්‍යය. අප අපගේ ප්‍රයත්නයන් මේ දිශාවට යොමු කරන්නේ නැතිනම්, වත්මන් වුහානය අපගේ අනාගත නගරයේ සදෘශ්‍ය බවට පත් වනු ඇත. එවන් අනාගතයක් පිළිබඳව පරිකල්පනය කෙරුණු බොහෝ “ඩිස්තෝපියාවන්” (ඩිස්තෝපියාව යනු පරමාදර්ශී අනාගතයක් පිළිබඳව පරිකල්පනය කෙරෙන මනෝ රාජ්‍යය නොහොත් “යුතෝපියාව” යන්නෙහි ප්‍රතිවිරුද්ධයයි. අතිශය අසුබවාදී අනාගතයක් පිළිබඳව පරිකල්පනය කෙරෙන ඩිස්තෝපියානු නවකතා සහ චිත්‍රපට රැසක් පසුගිය දශක කිහිපය තුළදී නිමැවී තිබේ – පරිවර්තක) දැනටමත් පවතී: එය අප නිවසේම නතරව සිටින, පරිගණක මගින් වැඩ කරන, වීඩියෝ කොන්ෆරන්ස් මගින් සන්නිවේදනය කරන, නිවසේ ඇති කාර්යාල කාමරයේ පසෙක යන්ත්‍රයක් මත ව්‍යායාම කරන, ඉඳහිට උග්‍ර ලිංගික ජවනිකා ප්‍රදර්ශනය කෙරෙන තිරයක් ඉදිරිපිටට වී ස්වයං-වින්දනයේ යෙදෙන, බෙදා හැරීම් සේවා මගින් ආහාර ලබා ගන්නා සහ කිසිදාක සෙසු මානවයින් පුද්ගලිකව මුණ නොගැසෙන ආකාරයේ අනාගතයකි.               
කෙසේ වුවත්, මෙම භයානක සිහිනයේ දර්ශනය තුළ සැඟවුණු අනපේක්ෂිත විමුක්තිකාමී අපේක්ෂාවක්ද ඇත. පසුගිය දින කිහිපයේදී මා වුහාන් නගරයට සංචාරය කිරීම ගැන සිහින දුටු බව පිළිගත යුතුව තිබේ. මහා නගර තුළ අත හැර දමන ලද පටු මාවත්ය; නිරන්තරයෙන්ම සෙනඟින් පිරුණු නාගරික මධ්‍යස්ථාන අවතාර නගර සේ දිස් වේ; දොරවල් හැර දමන ලද කඩ සාප්පු තුළ පාරිභෝගිකයින් නොමැත; ඉඳ හිට තැනක තනියම ඇවිද යන මිනිසෙකු හෝ හුදෙකලා මෝටර් රථයකි. මෙය පාරිභෝජනවාදී නොවන ලෝකයක් දිස් වන ආකාරය ගැන ජායා මාත්‍රයක් සපයයි. ෂැන්හයි හෝ හොං කොං නගරයේ හිස් පටු මාවත්වල දුක්මුසු සුන්දරත්වය මා හට ලෝක විනාශයෙන් පසු ලෝකය පිළිබඳව තැනුණු On the Beach වැනි පැරණි චිත්‍රපටයක් සිහියට නංවයි. එයින් පෙන්වනු ලබන්නේ ජනයා අති මහත් ප්‍රමාණයක් අතු ගා දමන ලද නගරයකි. දෘෂ්‍යමානයට හසුවන මහා විනාශයක් නොමැත. නමුත්, අප වෙනුවෙන්, අප එනතුරු මග බලා සිටින, අප දෙස නෙත් යොමා සිටින, අපේ අතේ දුරින් පවතින ලෝකය තවදුරටත් එහි නොමැත. එහෙ මෙහෙ ඇවිද යන මිනිසුන් කිහිප දෙනා පැළඳ සිටින සුදු පැහැති මුහුණු ආවරණ පවා තිලිණ කරන්නේ නන්නාඳුනන ඇරයුමකි; එසේම හඳුනාගනු ලැබීමේ සමාජ තෙරපුමෙන් නිදහස ලැබීමකි.                      
1966 දී පළ කෙරුණු ශිෂ්‍යයන්ගේ “Situationist” ප්‍රකාශනයේ ප්‍රසිද්ධ නිගමනය අප බොහෝ දෙනෙකුට මතකය (Situationist International යනු 1957 සිට 1972 දක්වා කාලය තුළ යුරෝපයේ ක්‍රියාත්මක වූ පෙරටුගාමී කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ සහ ශිෂ්‍යයින්ගේ ව්‍යාපාරයකි – පරිවර්තක): එය නම් “මිය ගියා වූ කාලයෙන් තොරව ජීවත් වීම, බාධාවකින් තොරව විනෝද වීම” යන්නයි. ෆ්‍රොයිඩ් සහ ලකාන් අපට කිසිවක් උගන්වා තිබේ නම්, ඒ සුපිරි අහමේ සුපිරිතම නියෝගයක් වන මෙම සූත්‍රය විනාශකාරීත්වය සඳහා වන වට්ටෝරුවක්ය යන්නයි (මන්ද යත්, ලකාන් විශිෂ්ට ලෙස පෙන්වා දුන් පරිදි සුපිරි අහම යනු ඉතාම මූලික ලෙස විනෝද වීම සඳහා වන සාධනීය නියෝගයකි; යමක් තහනම් කිරීමේ නිශේධනීය ක්‍රියාවක් නොවේ). අපට හිමිව තිබෙන කාලයේ සෑම මොහොතක්ම තීව්‍ර ක්‍රියාකාරීත්වයකින් පිරවීමට කෙරෙන බල කිරීම නොවැලැක්විය හැකි ලෙසම අවසන් වන්නේ හුස්ම හිර කරවන ඒකාකාරීත්වයකිනි. මිය ගිය කාලය, නොහොත් පසු බසින මොහොතවල්, පැරණි මුනිවරුන් හැඳින්වූයේ මෝක්ෂය ලෙසයි. අපට අපගේ ජීවන අත්දැකීම් පුනර්ජීවනයට පත් කර ගැනීම සඳහා එවන් මොහොතවල් තීරණාත්මකය. එසේම, ඇතැම්විට ලොව පුරා නගර තුළ සිදු කෙරෙන නිරෝධානයේ එක් අනපේක්ෂිත ප්‍රතිපලයක් විය හැක්කේ අඩු තරමින් යම්කිසි පිරිසක් තම කලබලකාරී ජීවිතයෙන් ඉස්පාසුවක් ලැබ තමන්ගේ දුර්දසාවේ (නො)තේරුම කුමක්දැයි කල්පනා කරන්නට කාලය යොදවනු ඇතැයි යන අපේක්ෂාවය.     
මේ සිතුවිලි ප්‍රසිද්ධියට පත් කිරීමෙන් මා ආලෝලනය කරමින් සිටින අනතුර ගැන මම හොඳින්ම දැනුවත්ය. මා නිරතව සිටින්නේ (තවමත්) ආරක්‍ෂිත මගේ පරිබාහිර ස්ථානයේම සිටිමින් පීඩාවට පත්ව සිටින අසරණුන් හට කිසියම් ගැඹුරු යථාභූත  ප්‍රඥාවක් ආරෝපණය කිරීමේ ක්‍රියාවකද? එනයින්, නරුමවාදී ලෙස ඔවුනගේ දුක් පීඩා සාධාරණීකරණය කිරීමකද?    වුහානයේ මුහුණු ආවරණ පැළඳ ගත් පුරවැසියෙකු ආහාර හෝ බෙහෙත් සොයා ඇවිද යන විට ඔහුගේ හෝ ඇයගේ මනසේ ඇත්තේ නිශ්චිතවම පාරිභෝජනවාදයට එරෙහි සිතුවිලි නොවේ; ඒ වෙනුවට භීතිය, කෝපය සහ ත්‍රස්තයයි. මගේ ආයාචනය වන්නේ භයානක සිදුවීම්වල පවා අනපේක්ෂිත සාධනීය ප්‍රතිපල පැවතිය හැකිය යන්නයි. 
කාර්ලෝ ගින්ස්බර්ග් යෝජනා කළ අදහසක් වන්නේ යමෙකුට තම රට පිළිබඳව ආදරයක් වෙනුවට ලැජ්ජාවක් ඇති වන්නේ නම් ඇතැම්විට එය එම පුද්ගලයා ඒ රටට අයිති අයෙකු බවට වන සත්‍ය සළකුණක් බවයි. ඇතැම්විට, මේ හුදෙකලාවේ සහ බලහත්කාර නිහඬ බවේ කාලය තුළ ඇතැම් ඊශ්‍රායල ජාතිකයින් තමන් වෙනුවෙන් නෙතන්යාහු සහ ට්‍රම්ප් කරන දේශපාලනය පිළිබඳව ලැජ්ජා වීමට අවශ්‍ය ධෛර්යය උපදවා ගනු ඇත; ඒ සැබවින්ම යුදෙව්වකු වීම පිළිබඳව ලැජ්ජා වීමේ අරුතින් නොවේ; නමුත්, ඊට පරස්පරව, බටහිර ඉවුර ප්‍රදේශයේ ඊශ්‍රායලය කරන දේශපාලනය විසින් යුදෙව්වාදයේ ඉතාම වටිනා උරුමයට සිදු කරනා දේ පිළිබඳව ලැජ්ජා වීමකි.

ඇතැම්විට, ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයින් තමන්ව බ්‍රෙක්සිට් කරා රැගෙන ගියා වූ දෘෂ්ටිවාදී සිහිනයට තමන් ඇද වැටීම ගැන ලැජ්ජා වීමට අවශ්‍ය ධෛර්යය උපදවා ගනු ඇත. නමුත් වුහානය තුළ සහ ලෝකය පුරාම හුදෙකලාව සිටින මිනිසුන් හට මේ ලැජ්ජා වීමට සහ ගර්හාවට ලක් වීමට කාලයක් නොවේ. නමුත්, ධෛර්ය උපදවා ගැනීමට සහ ඉවසීමෙන් තම අරගලය කරගෙන යාමට කාලයකි. චීනය තුළ සත්‍ය වශයෙන්ම ලැජ්ජාවට පත් විය යුත්තේ වසංගතයේ තරම ප්‍රසිද්ධියේ අඩු කොට පෙන්වන අතර තමන්ව අධික ලෙස ආරක්ෂා කරගත් අයවලුන්ය; සෝවියට් රුසියාවේ චර්නොබිල් අනතුර සිදු වන විට එහි කිසිදු තර්ජනයක් නැතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර ඉක්මනින් තම පවුලේ සාමාජිකයින් එම ප්‍රදේශයෙන් ඉවත් කර ගත් සෝවියට් නිලධාරීන් සේ හැසිරුණු පුද්ගලයින්ය. නොඑසේනම්, ගෝලීය උණුසුම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන අතර නවසීලන්තයේ නිවාස මිළදී ගන්නා (නවසීලන්තය සොබාවික උපද්‍රවවලින් සාපේක්ෂව ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස සැලකේ – පරිවර්තක) හෝ උස් කඳුකර ප්‍රදේශවල ආරක්‍ෂිත බංකර ඉදි කර ගන්නා ඉහළ පෙළේ කළමණාකරුවන්ය. 
ඇතැම්විට, එවන් දෙබිඩි ස්ථාවරවලට එරෙහිව නැගෙන මහජන කෝපය (එම කෝපය විසින් විනිවිද පෙනෙන ආකාරයෙන් ක්‍රියා කරන්නේ යැයි පොරොන්දු වීමට බලධාරීන්ට දැනටමත් බල කෙරී ඇත) මෙම අර්බුදයේ අනපේක්ෂිත සාධනීය අතුරු පලයක් ජනනය කරනු ඇත.