தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
කොවිඩ් 19: සංසුන්ව කලබල වීම! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් 19: සංසුන්ව කලබල වීම!



සුමිත් චාමින්ද විසින්, ස්ලෙවෝයි ශිෂෙක්ගේ  PANDEMIC-Covid19 Shakes the World (වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි) කෘතියේ අන්තර්ගතය, සිංහල අනුවාදයකට ගොනුකරන ලිපි මාලාවේ හත්වන පරිච්ජේදය මෙහි පළ වේ.

(උපුටා පළ කිරීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

හැඳින්වීම
මෙම පරිච්ජේදයේදී ශිෂෙක් තමන් මින් පෙර කිහිප වතාවකදීම සඳහන් කළ “සීමිත අරුතින් කොමියුනිස්ට්වාදය” යන්න ප්‍රායෝගික නිදසුන් ඇසුරින් පැහැදිලි කරයි. මෙහිදී ඔහුගේ ප්‍රවේශය වන්නේ කොමියුනිස්ට්වාදය පිළිබඳ යම් වියුක්ත දාර්ශනික නිර්වචනයක් සැපයීම නොවන බව ඉතාම පැහැදිලිය. “Pandemic!” කෘතිය ලිවීමේ ඔහුගේ ක්‍රියාව යනුම කොරෝනා වසංගතය විසින් උදා කරන ලද බහු විධ අර්බුදය තුළට කෙරුණු ගෝලීය මහජන බුද්ධිමතෙකුගේ මැදිහත්වීමක් ලෙස සැලකිය හැකිය. අර්බුද සමයක් තුළදී මින් පෙර සිතන්නට පවා අපහසු වූ සහ අතිශයින්ම රැඩිකල්වාදී ලෙස සලකන ලද දේ ක්‍රියාවට නැගෙන්නට ඉඩ තිබෙන බව මෑතකාලීනව වඩාත් හොඳින් තේරුම් කළ න්‍යායවේදියා වන්නේද ශිෂෙක්ය. දැන් එළැඹ ඇත්තේ ඔහුගේ එම න්‍යායේ ව්‍යවහාරික වලංගුතාව මැනවින් සනාථ වන මොහොතකි. 
නිදසුනක් ලෙස, 1929 ආර්ථික අවපාතයෙන් පසුව එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක කරන්නට යෙදුණු “New Deal” වැනි වැඩ පිළිවෙලක් අද අවශ්‍ය බව දැන් නව-ලිබරල්වාදයේ ප්‍රමුඛ ප්‍රකාශකයෙකු වන Financial Times සඟරාව පවා ප්‍රකාශ කරයි. අප දැන් නාගරික මහා කාර්මික නිෂ්පාදනාගාර වෙතින් ග්‍රාමීය සහ ප්‍රාදේශික ආර්ථික ක්‍රියාකාරීත්වයන් කරා මාරු විය යුතු යැයි අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදීන්ද ප්‍රකාශ කරති. “New Deal” හෝ ප්‍රාදේශික ආර්ථිකයන් කරා මාරු වීම තවදුරටත් රැඩිකල් සටන් පාඨ ලෙස නොගැනේ. දැන් ඒවා යෝජනා කරනු ලබන්නේ පාලක පංති කොටස් විසින්මය. 
අනෙක් අතින්, අර්බුදයේ මොහොත මිනිස් වර්ගයා නැවත ම්ලේච්ජත්වය කරා රැගෙන යන ආකාරයේ ප්‍රවේශයන් සඳහාද ඉඩ සැලසිය හැකිය යන කාරණය ගැන ශිෂෙක් අපට අනතුරු හඟවයි. රැඩිකල් විසඳුම් ලෙස අතිශයින්ම නිර්-මානුෂික ක්‍රියා මාර්ගද ඉදිරිපත් විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා වසංගතය පැමිණ ඇත්තේ පැවති ලෝක පර්යාය විශාල අර්බුදයකට ලක්ව පැවති තත්ත්වයක් තුළ බැව් අප සිහි තබා ගත යුතුය. එබැවින්, සරලව කිව හොත්, විවෘත වී ඇති නව අවකාශය අතිශයින්ම පසුගාමී සහ අධිකාරීවාදී ප්‍රවණතාවල ග්‍රහණයට ලක් වන්නටද ඉඩ තිබේ. ශිෂෙක් බුද්ධිමතෙකු ලෙස අදහාගත නොහැකි තරමේ වේගයකින් මෙම අවිනිශ්චිතතාවයේ නිමේෂයට මැදිහත් වන්නේ එම දක්ෂිණාංශික විය හැකියාව මැඩ පැවැත්වීමේ අරමුණින් යැයි සිතීම සාධාරණය. 
නමුත්, මේ මොහොතේදී කරනු ලබන කවර බුද්ධිමය මැදිහත්වීමක වුවත් කිසියම් හෝ දේශපාලනික වටිනාකමක් තිබිය හැක්කේ එයින් කාටත් වැටහෙන සහ කාටත් ඒත්තු යන සුළු ප්‍රායෝගික විසඳුම් සඳහා වන ප්‍රවේශයක් ඉදිරිපත් කළ හොත් පමණකි. ශිෂෙක් ඔහුගේ නවීකරණය කරන ලද කොමියුනිස්ට් ප්‍රවේශය ඉදිරිපත් කරන්නේ එවන් ප්‍රායෝගික දැක්මක් සහිතව බැව් මේ පරිච්ජේදයෙන් කදිමට පැහැදිලි වේ. ඔහු එහිදී පළමුව කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරීවාදී පාලනය විවේචනයට ලක් කරමින් තම ප්‍රවේශය එයින් වෙනස් වන්නේ කෙසේදැයි තේරුම් කිරීමයි.                                   
සත් වන පරිච්ජේදය – සංසුන්ව කලබල වීම!

අපේ මාධ්‍ය “කලබල නොවන්න!” යන සූත්‍රය අවසානයක් නැතිව මතුරයි. ඉන්පසුව අපට ලැබෙන සියලුම තොරතුරු කලබල නොවී සිටිය නොහැකි ආකාරයේ ඒවාය. මේ තත්ත්වය මා මගේ තරුණ කාලයේ කොමියුනිස්ට් රටක් තුළ ලැබූ අත්දැකීමක් සිහි ගන්වයි (ශිෂෙක්ගේ මව් රට වන ස්ලෝවීනියාව 1991 වර්ෂය දක්වාම කොමියුනිස්ට් යුගෝස්ලාවියාවේ කොටසක් වශයෙන් පැවතිණ – පරිවර්තක). එහිදී ආණ්ඩුවේ නිලධාරීන් නිරන්තරයෙන්ම මහජනයාට සහතික කළේ කලබල වීමට කිසිදු හේතුවක් නොමැති බවයි. නමුත්, අප සියලු දෙනාම එවන් සහතික කිරීම් භාර ගත්තේ ඔවුන්ම කලබල වෙමින් සිටින බවට වන පැහැදිලි සංඥාවක් ලෙසයි. කලබල වීමෙහි එයටම ආවේණික තර්කනයක් තිබේ.                කොරෝනා වසංගතයේ භීතිය හේතු කොටගෙන එක්සත් රාජධානියේ වෙළඳසැල්වල ටොයිලට් පේපර් පවා අතුරුදහන් වී ගියේය යන කාරණය මට මගේ තරුණ වියේදී සමාජවාදී යුගෝස්ලාවියාව තුළදී අත් දකින්නට ලැබුණු ටොයිලට් පේපර් ආශ්‍රිත අමුතු සිද්ධියක් සිහියට නංවයි. ප්‍රමාණවත් තරම් ටොයිලට් පේපර්ස් නොමැත්තේ යැයි එක්වරම කට කතාවක් පැතිර යන්නට පටන් ගත්තේය. එවිට බලධාරීන් සාමාන්‍ය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් ටොයිලට් පේපර්ස් තිබේ යැයි වහාම නිවේදනයක් නිකුත් කළහ. පුදුම සහගත ලෙස එය සත්‍ය වූවා පමණක් නොවේ; මිනිසුන් බොහෝ දුරට එය සත්‍ය යැයි විශ්වාස කළහ. කෙසේ වුවද, සාමාන්‍ය පාරිභෝගිකයින් කල්පනා කළේ පහත දැක්වෙන ආකාරයෙනි:
 “ප්‍රමාණවත් තරම් ටොයිලට් පේපර්ස් තිබෙන බවත් කටකතාව බොරුවක් බවත් මම දන්නවා; ඒත් සමහර මිනිස්සු මේ කටකතාව ඇත්තටම විශ්වාස කරලා ඒකෙන් කලබල වෙලා ටොයිලට් පේපර්ස් වැඩියෙන් මිළදී ගන්න පටන් ගත්තොත් ඇත්තටම ඒවගේ හිඟයක් ඇති වෙන්න බැරිද? ඒ නිසා මමත් ටිකක් වැඩිපුර මිළදී ගත්තොත් හොඳයි.”           මෙහිදී වෙන කිසිවෙක් කටකතාව බරපතලව ගනීවි යැයි විශ්වාස කිරීම පවා අවශ්‍ය වන්නේ නැත. කටකතාව බරපතලව ගන්නා මිනිසුන් සිටීවි යැයි සමහරුන් විශ්වාස කරාවිය කියා සිතීමද ප්‍රමාණවත්ය. ප්‍රතිපලය එකමය. එනම්, වෙළඳසැල්වල සැබවින්ම ටොයිලට් පේපර්ස් හිඟ වීමය. අද දවසේ එක්සත් රාජධානියේ සහ කැලිෆෝනියාවේ සිදු වන්නේද මෙවැන්නක් නොවේද?         
වත්මනෙහි මෙන් අතිමහත් භීතියක් පැවතීමේ තත්ත්වයෙහි අරුම පුදුම අනෙක් අන්තය වන්නේ කලබලයට පත් වීම මුළුමනින්ම සාධාරණ වී තිබෙන අවස්ථාවලදීත් ඇතැම්විට කිසිදු කලබලයක් නොපැවතීමයි. පසුගිය වසර කිහිපයේදී සාර්ස් සහ ඉබෝලා වසංගතවලින් පසුව වඩාත් භයානක අලුත් වසංගතයක් පැමිණීම යනු කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව අපට නැවත නැවතත් දන්වනු ලැබිණ. ප්‍රශ්නය වූයේ එවැන්නක් පැමිණේවිද යන්න නොව පැමිණෙන්නේ කෙදිනද යන්නයි. මේ දරුණු අනාවැකි සත්‍යය යැයි අපට කොතෙක් ඒත්තු ගොස් තිබුණද, කෙලෙසක හෝ අප ඒවා බරපතලව ගණන් ගත්තේ නැත; අපි ඒ අනුව ක්‍රියා කරන්නට සහ සූදානම් වන්නට මැලි වූයෙමු. අප ඒවා සමග ගණුදෙණු කළේ “Contagion” වැනි ලෝක විනාශය ගැන කියැවෙන චිත්‍රපට තුළදී පමණි. 
මේ ප්‍රතිමුඛ භාවය අපට පවසන්නේ සැබෑ තර්ජනයකට මුහුණ දීම සඳහා උචිත ක්‍රමය වන්නේ කලබලයට පත් වීම නොවේය යන්නයි. අප කලබලයට පත්ව ප්‍රතිචාර දක්වන විට අප තර්ජනය බරපතලව භාර ගනු ලබන්නේ නැත; ඊට වෙනස්ව, අප කරන්නේ එය හෑල්ලු කොට සැලකීමයි. මාරාන්තික වසංගතයක් අතරමැද ඇති තරම් ටොයිලට් පේපර්ස් ගැනීමේ ප්‍රයෝජනයක් තිබේ යැයි කල්පනා කිරීමම කොතරම් විහිළු සහගතදැයි මදක් සිතා බලන්න. ඉදින්, කොරෝනා වසංගතයට දැක්විය යුතු සුදුසු ප්‍රතිචාරය කුමක් විය යුතුද? අප ඉගෙන ගත යුත්තේ කුමක්ද? මෙය බරපතල ලෙස අබිමුඛ වීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? 
කොරෝනා වසංගතය කොමියුනිස්ට්වාදයට නව ජීවයක් ලබා දෙනු ඇතැයි මා යෝජනා කළ විට අපේක්ෂා කළ පරිදිම මගේ කියා පෑම සරදමට ලක් කෙරිණ. චීන රාජ්‍යය මේ අර්බුදය කෙරෙහි අනුගමනය කළ ශක්තිමත් ප්‍රවේශය සාර්ථක වී ඇතැයි පෙනී ගියද, නැතහොත්, අඩු තරමින් එය දැන් ඉතාලිය තුළ සිදු වන දේට වඩා බොහෝ යහපත් විණැයි පෙනී ගියද, බලයේ සිටින කොමියුනිස්ට්වාදීන්ගේ පැරණි අධිකාරීවාදී තර්කනයේ සීමාවන්ද පැහැදිලිවම ප්‍රදර්ශනය විය. මේ සඳහා එක් නිදසුනක් නම් බලයේ සිටින්නන් වෙත සහ (පොදු ජනයා වෙත) නරක ප්‍රවෘත්ති රැගෙන යාමෙන් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේය යන බියයි; මුලින්ම නව වෛරසයක් ගැන වාර්තා කළ අයව අත් අඩංගුවට ලක් වීමට හේතුව මෙයයි; තවද, දැන් වසංගතය වියැකී යමින් පැවතියදීත් මීට සමාන සිදුවීම් සිදු වන බව වාර්තා වේ. 
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ චීනය නැවත වැඩ ඇරඹිය යුතුය යන බල කිරීම විසින් පැරණි පෙළඹවීමක් යළි පන ගන්වනු ලැබ තිබේ. එනම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දකින්නට අවශ්‍ය දේ දැක ගන්නට ලැබෙන ආකාරයට කරුණු කපා කොටා සකස් කිරීමේ පෙළඹුමයි. මේ ක්‍රියාවලිය දැන් ශීජියෑන් පළාතේ වෙරළ තීරයේ ඇති කාර්මික කේන්ද්‍රයක් තුළ සිදු වෙමින් පවතී. ඒ විදුලි බලය භාවිතයට අදාළවය. මේ කාරණය ගැන දන්නා මිනිසුන් පවසන පරිදි, එම පළාතේ අඩු තරමින් නගර තුනක් විසින් විදුලි බලය පරිභෝජනය කිරීම සඳහා ප්‍රාදේශීය කම්හල්වලට ඉලක්ක ලබා දී තිබේ; මන්ද යත්, ඔවුන් නිෂ්පාදනය යළි ආරම්භ කොට ඇති බව පෙන්වීමට එම දත්ත භාවිතා කරයි. ජනතාව පවසන පරිදි, මෙහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් ආයතනවල නිෂ්පාදනාගාර හිස්ව තිබියදීත් ඒවායෙහි යන්ත්‍ර ක්‍රියාත්මක කර තබන්නට ඔවුන් පෙළඹී ඇත.           
මේ රැවටීම බලයේ සිටින්නන්ගේ කණ වැකුණු පසුව කුමක් සිදු වනු ඇතිදැයි අපට අනුමාන කළ හැකිය. කඩාකප්පල්කාරී ක්‍රියා වල යෙදුණේ යැයි චෝදනා කොට ප්‍රාදේශීය කළමණාකරුවන්ට දැඩි ලෙස දඬුවම් පමුණුවනු ඇත. එනයින්, අවිශ්වාසයේ විෂම චක්‍රය යළි නිර්මාණය වනු ඇත. කොරෝනා වසංගතයට චීනය දැක්වූ ප්‍රතිචාරයෙහි සඟවන ලද දේ හෙළිදරව් කිරීමට චීන ජූලියන් අසාන්ජේ කෙනෙකු අපට වුවමනාය. 
නමුත්, මගේ මනසේ තිබෙන කොමියුනිස්ට්වාදය මෙය නොවේ නම්, මා කොමියුනිස්ට්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය වටහා ගැනීම සඳහා යමෙකු ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනයාට කරන නිවේදන කියැවිය යුතුය. මේ ඒ අතුරින් මෑතකාලීන එකකි: 
“ලොව පුරා මහජන සෞඛ්‍ය අධිකාරීන්ට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථක ලෙස පරාජය කරන්නට හැකියාව තිබුණද, ඇතැම් රටවල තර්ජනයේ තරමට ගැලපෙන ප්‍රමාණයේ දේශපාලන කැපවීමක් නොමැත්තේය යන කාරණය ගැන තම සංවිධානයේ සැලකිල්ල යොමු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ආචාර්ය ටෙඩ්රෝස් අධනම් ගෙබ්‍රියෙසස් පසුගිය බ්‍රහස්පතින්දා පැවසීය.”
“මෙය සරඹ කිරීමක් නොවේ. මේ අත හැර දැමීමට කාලයක් නොවේ. මේ සමාවට කරුණු කීමට කාලයක් නොවේ. මේ සියලුම තිරිංග තද කළ යුතු කාලයකි. රටවල් මෙවන් තත්ත්වයක් සඳහා දශක ගණනාවක් පුරාම සැලසුම් කරමින්  සිටියේය. දැන් ඒ සැලසුම් ක්‍රියාවට නැගීමට කාලයයි.” ටෙඩ්රෝස් එසේ පැවසීය. “මේ වසංගතය ආපසු හැරවිය හැකිය. නමුත්, ඒ රාජ්‍යයේ සමස්ත යාන්ත්‍රණයම යොදා ගන්නා සාමූහික, අන්තර්-සම්බන්ධිත සහ විස්තීර්ණ ප්‍රවේශයක් මගින් පමණකි.” 
යමෙකුට මෙයට එකතු කළ හැකි දෙයක් නම් ඉහත කී ආකාරයේ විස්තීර්ණ ප්‍රවේශයක් තනි රාජ්‍යයක යාන්ත්‍රණයට ඔබ්බෙන් බොහෝ දුර යා යුතු බවයි. රාජ්‍යයේ පාලනයට පිටත ප්‍රාදේශීය ජනතා එකතූන් මෙන්ම ශක්තිමත් සහ කාර්යක්ෂම ජාත්‍යන්තර සම්බන්ධීකරණයන් සහ සහයෝගීතාවන්ද එයින් ආවරණය විය යුතුය. ස්වසන අපහසුතා සහිතව දහස් ගණන් ජනයා රෝහල්ගත කරනු ලැබුවහොත්, ස්වසන පහසුකම් සපයන යන්ත්‍ර අති විශාල ගණනක් වුවමනා වනු ඇත. එසේම, ඒවා ලබා ගැනීමට රාජ්‍යයට සෘජුවම මැදිහත්වීමට සිදු වනු ඇත; ඒ හරියට යුද්ධයකදී දහස් ගණනක් ආයුධ අවශ්‍ය වූ විට රාජ්‍යයක් මැදිහත් වන ආකාරයටමය. එසේම එය සෙසු රාජ්‍යයන් සමග සහයෝගීතාවද ඇති කරගත යුතුය. යුද ව්‍යාපාරයකදී මෙන්ම තොරතුරු හුවමාරු කරගත යුතු අතර සැලසුම් පූර්ණ වශයෙන් සම්බන්ධීකරණය කළ යුතුය. 
මා අද දවසේ අවශ්‍ය “කොමියුනිස්ට්වාදය” යනුවෙන් අදහස් කරන්නේ මෙයයි; විල් හටන් සඳහන් කරන පරිදි “අද නියාමනයක් නොමැති නිදහස් වෙළඳපල ගෝලීයකරණයේ එක් ආකෘතියක් නිශ්චිතවම අභාවයට පත් වෙමින් තිබේ; ඒ අර්බුද සහ වසංගත ජනනය කිරීමේ එහි නැමියාව සමගමය. නමුත්, අන්තර්-රඳා පැවැත්ම සහ කරුණුමය පදනමක් සහිත සාමූහික ක්‍රියාකාරීත්වයේ ප්‍රමුඛත්වය පිළිගන්නා නව ආකෘතියක් ඉපදෙමින් තිබේ.”                  
නමුත්, තවමත් අධිපතිව පවතින ස්ථාවරය වන්නේ “සෑම රටක්ම තමන් වෙනුවෙන්ම” යන්නයි: වෛද්‍ය සැපයුම් වැනි ප්‍රධානතම නිෂ්පාදන අපනයනය කිරීමට අදාළව ජාතික රාජ්‍ය විසින් පැන වූ තහනම් කිරීම් පවතී. ඒ ප්‍රාදේශීය භාණ්ඩ හිඟතාව සහ අපිළිවෙල හමුවේ රටවල් ඔවුන්ගේම විශ්ලේෂණ අනුව පසුබෑමට ලක්ව තිබියදීය; වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත් කල මෙය ප්‍රාථමික ප්‍රවේශයකි.      
කොරෝනා වසංගතය සංඥා කරන්නේ වෙළඳපල ගෝලීයකරණයේ සීමාව පමණක් නොවේ; එය රාජ්‍යයේ පූර්ණ පරමාධිපත්‍ය සඳහා බල කරන ජාතිකවාදී ජනප්‍රියවාදයේ වඩාත් මාරාන්තික සීමාවද සංඥා කරයි. “ඇමෙරිකාව (හෝ අන් කවරෙක් වුවත්) ප්‍රමුඛය!” යන්න දැන් අවසන්ය. මන්ද යත්, ඇමෙරිකාව රැක ගත හැක්කේ ගෝලීය සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ඔස්සේ පමණි. මම මෙහිදී යුතෝපියානුවෙකු නොවෙමි. මා ජනතාව අතර මනෝරාජික සහයෝගීතාවක් වෙනුවෙන් ආයාචනා කරන්නේ නැත. ඊට පරස්පරව, වත්මන් අර්බුදය අපට පැහැදිලිව පෙන්වා දෙන්නේ ගෝලීය සහයෝගීතාව සහ සාමූහිකත්වය අප සැමගේ සහ එකිනෙකාගේ යහපත වෙනුවෙන් පවතින්නක් විය හැක්කේ කෙසේද යන්නයි; එය අපට කරන්නට ඇති එකම සබුද්ධික ආත්මාර්ථකාමී දේ වන්නේ කෙසේද යන්නයි.       
එසේම මෙය හුදෙක් කොරෝනා වසංගතයට පමණක් අදාළ වූවක් නොවේ. මාස කිහිපයකට පෙර චීනය ඌරන්ගෙන් බෝ වී ගිය සුවිසල් උණ රෝගයකින් පීඩා වින්දේය. දැන් එරට පළඟැටි ආක්‍රමණයක තර්ජනයටද ලක්ව ඇත. තවද, ඕවන් ජෝන්ස් සටහන් කර ඇති පරිදි, කොරෝනා වසංගතයෙන් මිය යන ප්‍රමාණයට වඩා වැඩි මිනිසුන් ප්‍රමාණයක් ලොව පුරා කාලගුණ ව්‍යසනයෙන් මිය යයි. නමුත්, ඒ ගැන කිසිදු කලබල වීමක් නැත. කොරෝනා වසංගතය යනු හරියට තරුණ නිරෝගී පැලෑටිවලට වැඩෙන්නට ඉඩ ලැබෙන පරිදි මැල වී ගිය වල් පැල උදුරා දමන්නාක් සේ මහල්ලන්ගේ, දුර්වලයන්ගේ සහ රෝගීන්ගේ බරින් මිනිස් වර්ගයා නිදහස් කොට ගෝලීය සෞඛ්‍යයට සේවය සලසන්නක් යැයි දැකීමට ඇතැම් නරුමවාදී ජීවාත්මවාදී ස්ථාවරයක සිටින්නෙකු පෙළඹිය හැකිය. එවන් ප්‍රාථමික ස්ථාවරයන් අත් හැරිය හැක්කේ මා පෙනී සිටින ආකාරයේ පුළුල් කොමියුනිස්ට්වාදී ප්‍රවේශයක් ගැනීම මගින් පමණි.             
කොන්දේසි විරහිත සහයෝගීතාවය මොට කිරීමේ සංඥාවන් මේ දිනවල සිදුවෙමින් පවතින විවාද තුළ දැනටමත් හඳුනාගත හැකිය. වසංගතය එක්සත් රාජධානිය තුළ වඩාත් විනාශකාරී අතකට හැරුන හොත්, නිර්දේශ කෙරෙන “ප්‍රඥාසම්පන්න මිනිසුන් තිදෙනෙකුගේ” භූමිකාවක් පිළිබඳව වූ පහත දැක්වෙන සටහන ඒ සඳහා නිදසුනකි. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් අනතුරු හඟවා ඇති පරිදි කොරෝනා වසංගතයේ බරපතල වර්ධනයක් හමුවේ බ්‍රිතාන්‍යයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වුව හොත් එරට ජාතික සෞඛ්‍ය සේවය (NHS) යටතේ සිටින ඇතැම් රෝගීන්ට (කෘතීමව) ජීවිත රැක ගැනීමේ සේවය ලබා දිය නොහැකි වනු ඇත. ඊනියා “ප්‍රඥාසම්පන්න මිනිසුන් තිදෙනාගේ” ක්‍රමවේදය යටතේ, රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යන අවස්ථාවලදී වෙන්ටිලේටර් යන්ත්‍ර සහ ඇඳන් සැපයිය යුත්තේ කා හටද යන කාරණය ගැන තීන්දු ගන්නට සෑම රෝහලකම ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍යවරුන් තිදෙනෙකුට භාර කෙරෙනු ඇත.             
“ප්‍රඥාසම්පන්න මිනිසුන් තිදෙනා” රඳා පවතිනු ඇත්තේ කවර නිර්ණායකයක් මතද? දුබලයන් සහ මහල්ලන් කැප කිරීමද? එසේම මේ තත්ත්වය බරපතල දූෂණකාරීත්වයකට අවකාශ නොසලසනු ඇත්ද? මෙවන් ක්‍රියා පටිපාටීන්ගෙන් හැඟවෙන්නේ අප ශක්තිවන්තයාගේ පැවැත්ම පිළිබඳ වඩාත් රෞද්‍ර තර්කනය ක්‍රියාවට නගන්නට සූදානම් වෙමින් සිටින බව නොවේද? ඉදින්, යළිත්, අප හමුවේ ඇති තෝරා ගැනීම මෙයයි: එක්කෝ ම්ලේච්ජත්වය, නැතහොත් යම් ආකාරයකින් නවීකරණය කළ කොමියුනිස්ට්වාදයක්. 
– පරිවර්තනය: සුමිත් චාමින්ද