தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
කොළඹින් වසංගතය බෙදාහැරීම වැළැක්වීම - වෛද්‍ය සංගම්වල යෝජනා බැහැර කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹින් වසංගතය බෙදාහැරීම වැළැක්වීම – වෛද්‍ය සංගම්වල යෝජනා බැහැර කෙරේ!



කොළඹ නගරයේ කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් නොපැවතීමෙන් නැවත නැවත ප්‍රාදේශීයව වසංගතය ව්‍යාප්ත කිරීමේ මධ්‍යස්ථානයක් බවට වානිජ අගනගරය පත් වෙමින් තිබේ.

ඊයේ (20) කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 160ක් වාර්තා වීම අනුව, පසුගිය දින ගණනාවක් මෙන්ම ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මේ වැඩිම පිරිස කොළඹ නගරයෙන් හමුවීමද අවධානයට ලක් විය යුතුය.

වැඩිම ආසාදිතයන් පිරිසක් දෛනිකව හමුවන සහ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තාවන කොළඹ නගරය සම්බන්ධව ප්‍රමාද ව හෝ විධිමත් පරික්ෂණ වැඩපිළිවෙළක් සම්බන්ධ බලධාරින් අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශයේ වෘත්තික සංවිධාන හා රෝහල් සේවකයෝ පවසති.

වෛද්‍ය සංගම් ගණනාවක් කොරෝනා වසංගත ව්‍යාප්තීයේ ආරම්භක අවස්ථාවේදීම අවධාරනය කළ කරුණක් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් (test! test! test!) අවවාදය ලෙස නිරන්තර PCR පරික්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය බව ආණ්ඩුවේ බලධාරින් තවමත් වටහා ගෙන නැත.

මේ නිසා මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවකට කොරෝනා බෙදාහැරීම කොළඹින් සිදුවන බව සනාථවී ඇත. විශේෂයෙන්ම කොළඹ සේවයකර ‘දීපාවලි’ උත්සවයට වතුකරයට පැමිණි කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී තිබීමෙන් එම කරුණ අවධානයට ලක් වේ.

වැල්ලවත්ත සහ කොල්ලුපිටිය ප්‍රදේශයන්හි පෙදරේරුවන් ලෙස කටයුතු කළ දෙදෙනෙකුද මස්කෙළිය සිය ගම් ප්‍රදේශයට පැමිණිමෙන් පසු ආසාදිත බව හඳුනාගැනුණි.

තවද, කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි කොණ්ඩා කපන්නකු ලෙස සේවය කළ පුද්ගලයෙකුද කොටගල ගම් ප්‍රදේශයට පැමිණිමෙන් පසු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

සිය නිවසේදී වෘත්තියේ නිරතවීම මෙබඳු අයගේ ජීවනෝපාය ක්‍රමයටම අයත්ය. නිවසට පැමිණිමෙන් පසුවත් වතු කම්කරුවන්ගේ කොණ්ඩා කැපීම සිදුකිරීමෙන් වාහකයකු ලෙස වසංගතය ව්‍යාප්ත කිරීමේ චෝදනාවට හසුව ඇත. දෙමටගොඩ ප්‍රදේශයේ සේවය කරමින් සිට දීපවාලි උථ්සවය හේතුවෙන් සිය ගම් ප්‍රදේශය වන තලවකැලේ ප්‍රදේශයට පැමිණි තවත් කාන්තාවට ද වෛරසය ආසාදනය වී තිබූ බව හඳුනාගැනුණි.

කොළඹ මහනගර සභා සීමාවේ සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවමත් කොරෝනා වයාප්ත වීමේ අනතුර ඇති ප්‍රදේශ අතුරින් කොළඹ නගරය ප්‍රමුඛය.

එසේ වුවද කොළඹ නගරයේ වසංගත වැළැක්වීමේ වැඩපිළිවෙළට PCR පරික්ෂණ වේගවත් කිරීම හා වැඩි ප්‍රමාණයකින් පුද්ගලයන් එහි ආවරණයට ගැනීම සිදුව නැත. මේ සඳහා ඉදිරි කාලයේදී වැඩි වියදමක් දරමින්
PCR පරික්ෂණ ප්‍රමාණාත්මකව වැඩි කිරීමට පවා ආණ්ඩුවේ අරමුණක් පවා නැති බව අවබෝධ වන්නේ ලබන වසරට සෞඛ්‍ය අමාත්‍යංශ වැයශීර්සයෙන් බිලියන 20ක් කපා දැමීම තුලිණි.