தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
කොළඹ ජාතික රෝහලේ වසංගත රෝග වැළැක්වීමේ උපකරණ හිගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ ජාතික රෝහලේ වසංගත රෝග වැළැක්වීමේ උපකරණ හිගයක්!



කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදිතදැයි පරික්ෂා කෙරෙන ඇන්ටිජන් පරික්ෂණ ඊයේ(7) නවතා දමා ඇත.

ඊයේ දහවල් සිට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් වීමේදී අනිවාර්ය වූ ඇන්ටිජන් පරීක්‍ෂාව නවතා දමා ඇති බව සමස්ත ලංකා හෙද ‍සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත පවසයි.

ඒපමණක් නොව, මේ වන විට ජාතික රෝහල තුළ සියලු මට්ටමේ කාර්ය මණ්ඩල මෙන්ම රෝගීන්ගේ පාවිච්චිය සඳහා ලබාදුන් ශල්‍ය මුව වැසුම්වල බරපතල හිඟයක් ද ඇති වී තිබේ. සෑම වාට්ටුවකට ම දෛනිකව ලබාදෙමින් ඇත්තේ මුව වැසුම් 50 ක පමණ කුඩා ප්‍රමාණයක් බැවින් එය වාට්ටුවක එක් සේවා මුරයකටවත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බව අනාවරණය වේ. මේ වනවිට පෞද්ගලික සෞඛ්‍යාරක්ෂක ඇඳුම් කට්ටලවල ද දැඩි හිඟයක් ඇති වී තිබෙන අතර මේ තත්වයන් හමුවේ ජාතික රෝහල, කාර්ය මණ්ඩලයටත් රෝගීන්ටත් දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වී ඇත. සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත විසින් නිකුත් කරන ලද නිවේදනය මගින් පවසන ආකාරයට වැඩි වෙමින් පවතින කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා රෝහල් පද්ධතියට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ හා ආයිත්තම් අවශ්‍ය ප්‍රමාණයන් ගෙන් ලබාදෙන ලෙස සියලු සෞඛ්‍ය බලධාරීන්ගෙනුත් රෝහල් ප්‍රධානීන් ගෙනුත් ඉල්ලීම් කළ නමුත් ඔවුන් එය සැළකිල්ලට ලක්ව නැත.

පසුගිය කාලය මුලුල්ලේ ම කොරෝනා වසංගතය මර්දනය පිළිබඳව නිසි වැඩ පිළිවෙලක් හා ඉලක්කයක් නොමැතිව, කටයුතු කළ ආණ්ඩුවේත්, සෞඛ්‍ය බලධාරීන්ගේත් අදූරදර්ශී තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් තිබෙන බවද එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයටත්, අහිංසක රෝගීන්ටත් මහජනතාවටත් වීම අතිශ්‍ය කනගාටුදායක බවද එම නිවේදනය මගින් අවධාරනය කර ඇත.