தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කෝවිඩ් වැලඳුණු කෝෂිලා හංසමාලිට ප්‍රතිකාර කිරීමත් ප්‍රමාද කරලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෝවිඩ් වැලඳුණු කෝෂිලා හංසමාලිට ප්‍රතිකාර කිරීමත් ප්‍රමාද කරලා!



කොතලාවල පනතට එරෙහි වීම නිසා සිරගතව සිටින සිසු කම්කරු ක්‍රියාකාරීන් චේතාන්විතව කොවිඩ් රෝගයට ගොදුරු කිරීමක් සහ රෝගයට ගොදුරු වූ ක්‍රියාකාරීන්ට ප්‍රතිකාර ලබා නොදීමක් සිදුවෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

අද(13) නුගේගොඩ පෙ.ස.ප. කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුව අසළ පැවති කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයෙන් පසු අත්අඩංගුවට ගත් කෝෂිලා හංසමාලිටද කොවිඩ් ආසාදිත වී ඇති බවයි. ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වූ 12වනදාට පෙර දින කිහිපයක සිට උණ රෝගය වැළඳී හුස්ම ගැනීමේ අපසුවෙන් පසු වී ඇතත් ඒ සඳහා කිසිදු ප්‍රතිකාරයක් ලබාදී නොමැති බවද පුබුදු ජයගොඩ පැවසීය .

පුබුදු ජයගොඩ පැවසූ අදහස් පහත සටහන් වේ.
“ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කෝෂිලා හංසමාලි සහෝදරියගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල නිකුත් වුණා. එම ප්‍රථිපලයට අනුව ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු කර තිබෙනවා. ඉන්පසුව ඇය, ඊයේ රාත්‍රියේම අඹේපුස්සේ බන්ධාගාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. මේ සිදුවීම සමග බැඳුණු අතීත සිදුවීම් ගණනාවක්ම තියෙනවා. මූලිකවම, මේ රැඳවියන්ට කොවිඩ් ආසාදනය වීමේ අවදානම තිබෙන බව දිගින් දිගටම මතු කරණු ලැබු බව කිව යුතුයි. අධිකරණයේදී කරුණු ඉදිරිපත් කරද්දී, බන්ධනාගාර කොමසාරිස්වාරයා හමුවූ විවිධ පාර්ශව මේක මතු කරද්දී මානව හිමිකම් සංවිධාන, දේශපාලන පක්ෂ, තානාපති කාර්යාල මේ සියලු දෙනා මැදිහත් වෙද්දී බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව හිටියේ. මේ ආකාරයට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසු – කම්කරු ක්‍රියාකාරීන් පස්දෙනාට කොවිඩ් වැළඳීමේ බරපතල අවදානමක් තියෙන බව අපි දිගින් දිගටම කියා සිටියා. ඔවුන් අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු 03වනදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ පැවති උද්ඝෝෂණයට අදාළව. ඒ උද්ඝෝෂණයේදී පොදු දේපළවලට හානියක් වුනා කියන එක තමයි ඔවුන්ට එරෙහි චෝදනාව වුණේ. නමුත්, සාමාන්‍යයෙන් පොදු දේපොළවලට හානියක් වූ අවස්ථාවල සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙන්නේ ඒ නිශ්චිත සිදුවීම් සිදුවන අවස්ථාවේදී.

ඒ අවස්ථාවේදී පොලිසිය හතර වටෙන් රැකවල් දමාගෙන සිටි නමුත් අත්අඩංගුවට නොගෙන රෑ ගෙවල්වලට ඇවිත් අත්අඩංගුවට ගැනීම් සිද්ධ කරේ. චමීර කොස්වත්ත සහෝදරයාවත් කෝෂිලා හංසමාලි සහෝදරියවත් අත්අඩංගුවට ගනු ලැබුවේ 3වනදා රාත්‍රියේ. රාත්‍රී 09ට 10ට ගෙවල්වලට ගිහින් පැහැර ගන්නවා වගේ තමයි ඔවුන් අත්අඩංගුවට ගැනීම් සිද්ධ කරේ. නැවත 05වනදා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප නැමති ශිෂ්‍ය නායකයාව, පොලිස් නිල රථයක් නොවන වෑන් රථයකින් පොලිස් නිල ඇඳුම් නැතිව සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් පැමිණපැහැර ගනු ලැබුවා. ඒ පැහැර ගැනීම ගැන විමසන්න විශ්ව විද්‍යාල ආචාර්යවරු විශ්ව විද්‍යාල පරිපාලනය මිරිහාන පොලීසියට ගියාට පස්සේ එම පොලීසිය එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බවට පිළගෙන නෑ. මහරගම පොලීසියට, තලංගම පොලීසියට සහ නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි පොලිස් විශේෂ ඒකකයට කතා කළත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට, පරිපාලනයට කියලා තිබුණේ එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකළේ නැහැ කියලා. මේක නිශ්චිතවම පැහැර ගැනීමක්.

පස්සෙ අපි හොයලා බලද්දි තමයි දැන ගන්න ලැබුණේ ඔහුව පැහැරතගත් පිරිස මිරිහාන පොලීසියට අරගෙන ගිහිල්ලා එතනින් පස්සේ තලංගම පොලීසියට භාර දීලා තියෙන බව. ඒ වගේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැහැර ගනු ලැබුවේ ඔහු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙලා එතනින් එමින් සිටියදී. ඔහු ප්‍රසිද්ධ තලයේ කටයුතු කරමින් සිටියෙ. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයේදි ඔහු කතාවකුත් සිදුකළා. ඒ ප්‍රසිද්ධ තැන්වලදී ඔහුව අත්අඩංගුවට ගන්නේ නැතුව මහ රෑ විශාල පොලිස් කණ්ඩායමක් ගෙනල්ලා ඔහුව අත්අඩංගුවට ගත්තා. මේ මුළු ක්‍රියාවලිය හරහාම නිශ්චිතව පෙනෙනවා බියගැනීම් ඉලක්ක කරගත්ත දේශපාලන පලිගැනීම් ඉලක්ක කරගත් ක්‍රියාවලියක් සිදුවන බව.

සාමාන්‍යයෙන් බන්ධනාගාර ක්‍රියාමාර්ගවලදි වසංගත කාලෙදි අනුගමනය කරපු මූලික රෙගුලාසියක් තියෙනවා, රක්ෂිත බන්ධනාගාර ගත කරන සියලු රැඳවියන්ව බන්ධනාගාරයට රැගෙන එන්න පෙර දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තැබීමට. නමුත් රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් වෙච්ච හේෂාන් හර්ෂණ අත්අඩංගුවට ගැනීමෙන් පස්සෙ මේ දක්වාම නිරෝධනය මධ්‍යස්ථානයකට යවලා නැහැ. ඔහුව ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ සහ කොවිඩ් අවදානම යටතේ වැලිකඩ බන්ධනාගාරයේම රඳවනු ලැබ තිබෙනවා. චමීර කොස්වත්ත, වසන්ත මුදලිගේ සහ අමිල සංදීප යන තුන්දෙනා බදුල්ල තල්දෙන තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියාට පසු තිදෙනාටම කොවිඩ් ආසාදනය වුණා. අගෝස්තු 3 වැනිදා අත්අඩංගුවට ග්ත නමුත් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ කරන්නෙ අගෝස්තු 22වනදා. බන්ධනාගාරය තුළ දින 14කට වඩා රඳවා සිටි පසුව ඔවුන්ට කොවිඩ් අසාදනය වී තිබෙනවා. බන්ධනාගාරය තුළදී 22වනදා මේ අයගේ පරික්ෂා සාම්පල අරගෙන 24වනදා ඔවුන් රෝගී කියලා දැනගත් පසුවත් ඒ බව වසන් කළා. අවම වශයෙන් ඔවුන්ටවත් ඥාතීන්ටවත් නීතිඥයන්ටවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මේ බව දැනුම් දුන්නේ නැහැ. 27වනදා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් තමයි ඒ ස්ථානයට බලහත්කාරයෙන් වගේ ගිහින් දැනුම් දුන්නෙ එතන ආසාදිතයන් 85දෙනෙකු ආසාදිතව ඉන්න නිසා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි කියලා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ අයට කොවිඩ් ආසාදනය වෙලා කියලා දැනගත්තට පස්සෙත් වෛද්‍ය ප්‍රතිකාර නොදී දවස් තුනක් කිසිවක් නොකර කරුණු සවා සිටීම බරපතළ කාරණයක්.

ඉන්පසුව 28වනදා තමයි ඔවුන් කිලිනොච්චියේ අයියකච්චි රෝහලට යවන්නේ. ඒ රෝහලේත් ඔවුන් රඳවා තබන්නේ සැප්තැම්බර් 1 වනදා වෙනකම් පමණයි. මේ ගැන ඔවුන් ගෙන එන තර්කය පීසීආර් කරන්න සාම්පල් ගත්ත 22වනදා නිසා 01වනදා වනවිට දවස් 10 සම්පුර්ණ වීම. ආසාදිත රෝගීන් රජයේ රෝහල්වල දින 10ක් රඳවා තබා රෝහලෙන් ඉවත් වුනාට පස්සෙ නැවත දින 04ක් හෝ පහක් නැවත නිවසේ නිරෝධායනය විය යුතු බව දැනුම් දෙනු ලබනවා. නමුත් අත්අඩංගුවට ගත් මේ තිදෙනා නිරෝධායනයට කියලා දින 10ක් දුර ප්‍රදේශයක රඳවා තබලා සැප්තැම්බර් 02වනදා උදේ වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයට ගෙනැවිත් තිබුණා. ඔවුන්ට මේ තත්වය තුළ වෙනත් වෛරස් ප්‍රභෙදයක් ආසාදනය වීමේ අවදානමක් තිබුණා. රෝගය සම්පූර්ණයෙන් සුවවී නැති නිසා රෝගී තත්වය බරපතල වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් අවෙනත් අයට රෝගය බෝ වීමේ අවදානමක් තිබුණා. පීසීආර් පරීක්ෂණයක් හෝ නොකර තමයි ඔවුන් නැවත කොළඹ ගෙන ආවේ. චමීර කොස්වත්ත, අමිල සංදීප, හේෂාන් හර්ෂණ, වසන්ත මුදලිගේ කියන හතර දෙනාව දැනට වැලිකඩ බන්ධනාගාරයේ ඉතාම අවදානම් සහගත කොන්දේසි යටතේ රඳවා තිබෙනවා. 10 දෙනෙකුටවත් ඉන්න ප්‍රමාණවත් නැති කාමරයක 40ක් විතර දාලා ඔවුන්ව රඳවාගෙන තියාගෙන ඉන්නවා. ඒ නිසා මේක ඔවුන්ට රෝගය බෝ කිරීම සඳහා චේතාන්විතව කටයුතු කිරීමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

කෝෂිලා හංසමාලි සහෝදරිය අගෝස්තු 3 වැනිදා අත්අඩංගුවට ගෙන මුලින්ම පල්ලන්සේන නිරෝධනය මධ්‍යස්ථානෙට රැගෙන ගියා. එතනින් පස්සෙ ඇයව නැවත වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා හිටිය ස්ථානය කියන්නෙ අඩි 10යි 12 කාමරයක්. ඒ කාමරේ 21දෙනෙක් හිටියා. මේ තත්වය සම්බන්ධව අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දිගින් දිගටම දැනුම් දුන්නා. මේ අයට කොවිඩ් ආසාදනය වීමේ අවදානම නිසා මේ ක්‍රියාවලියෙ බරපතල ප්‍රශ්නයක් තියෙන බව දේශපාලන පක්ෂ, මානව හිමිකම් සංවිධාන, වෘත්තීය සමිති, තානාපති කාර්යාල, යන සියලු දෙනා බන්ධාගාර දෙපර්තම්නේතුවට දැනුම් දුන්නා. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන වගකීම බාරගන්න කියලා. එහෙම කිසිම වගකීමක් බාරගත්තේ නැහැ. අවසානයේදී සැප්තැම්බර් 9 වැනිදා මේ ප්‍රශ්නයට අදාළව අපි පක්ෂය ලෙස අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදීත් අපි අවධාරණය කරා මේ අයට කොවිඩ් බෝ වීමේ අවදානමක් තියෙනවා ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍යයි කියන එක. අධිකරණ ඇමතිවරයා කිව්වෙත් ඒ පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කළ බවයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අයට රෝගය බෝවීම වැලැක්වීම සඳහා කිසිම ක්‍රමයක් ප්‍රතිපාදනයක් සකස් වෙන්නේ නැහැ.

කෝෂිලා හංසමාලි සහෝදරියට 09වනදා සිට උණ රෝගය වැළඳී සිටියා. ඊට පසුව පවා ඇයට ප්‍රතිකාර ලබාදීම සඳහා මැදිහත් වුණේ නැහැ. සියලු දෙනා ඉල්ලා සිටියා ඇයව රෝහල්ගතකරන්න ඇයට ප්‍රතිකාර ලබාදෙන්න කියලා. නමුත් 09 දා සිට 12 වැනිදා දක්වා ඇයට ප්‍රතිකාර කළේ නැහැ. අපිට වාර්තා වුණ ආකාරයට 10වැනිදා රාත්‍රියේ ඇයට හුස්ම ගන්න බැරිවෙලා විශාල අවදානම් තත්වයක් ඇති වී තිබෙනවා. ඒ වෙලාවෙත් රෑ රෝහලකට ගෙනියන්න බෑ කියන පදනමෙන් ඇයව රෝහලකට ඇතුළත් කළේ නැහැ. මෙතන බරපතල ලෙස රැඳවියන්ගේ මානුෂිය අයිතිවාසිකම් කඩකිරීමක් තියෙනවා. එක පැත්තකින් රෝගය බෝ වෙනවා කියලා දැන දැනම් ඔවුන්ව ඒ අවදානමට ගොදුරු කිරීමක් සිදුව තිබෙනවා. දෙවැනි කාරණය, ඔවුන් රෝගී වුනාට පස්සේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම. මහජන දේපල විනාශ කිරීම පිළිබඳ චෝදනා යටතේ මැති ඇමතිවරුන් අත්අඩංගුවට අරගෙන කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලට. බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්ත වෙලාවේ කෙලින්ම යැව්වේ බන්ධනාගාර රෝහලට. සමහර ඇමතිවරු බන්ධනාගාර රෝහලට නෙමෙයි, ජාතික රෝහලට ගිහිල්ලා නැවතුනේ. නිදහස් අධ්‍යාපනය වෙනුවන් නිදහස් සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් ජනතාවගේ මූලික ප්‍රජාත්නත්‍රවාදී අයිතීන් වෙනුවෙන් අරගල කරපු කම්කරු, ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට රෝගය බෝ කරනවා විතරක් නෙමෙයි අසනීප වුනාට පස්සේ වෛද්‍ය ප්‍රතිකාරවත් ලබාදෙන්නේ නැහැ. කෝෂිලාට වෛද්‍යවරයෙක් මුනගසවන්න කියන එකට බලපෑම් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට, තානාපති කාර්යාලවලට, වෘත්තීය සමිතිවලට, නීතිඥයන්ට යන සියලු දෙනාට මැදිහත්වෙන්න සිදුවෙන තත්ත්වයක් ආවා.

නීතිපතිවරයා අගෝස්තු මාසෙ මුල නිර්දේශයක් නිකුත් කර තියෙනවා බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා ඇප දිය හැකි සියලු දෙනාට ඇප දෙන්න කියලා. ඒකෙ නිශ්චිත කර තියෙනවා වැරදි මොනවද කියන එක. උදාහරණයකට මත්ද්‍රව්‍ය වැරදි. නමුත් උද්ඝෝෂකයන්ට ඇප දෙන්නේ නැහැ. ඇප දිය හැකි සියලු දෙනාට ඇප දීලා නිදහස් කරනවා කියන මූලික නිර්දේශය උද්ඝෝෂකයන්ට, ආණ්ඩුවට විරුද්ධ මත දක්වන්නන්ට අදාළව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම, වගේ චෝදනා කීපයක් තියෙනවා ඇප දීම සිදු නොකරන. නමුත් දැන් ඒ අයට තමයි ඇප දෙන්නේ. එතකොට නීතිපතිවරයාගේ නිර්දේශය පවා දේශපාලන පලිගැනීම් සිදුකිරීමේ ඉඩ තියාගෙන තමයි දීලා තියෙන්නේ.
පසුගිය කාලේ ලක් පොහොර සමාගමේ රුපියල් කෝටි 02ට වඩා මුදල් වංචා කරා කියලා චෝදනා ලබපු අය නිකම්ම නිදහස් කළ හැටි අපි දැක්ක. රුපියල් මිලියන 600ක සිල් රෙදි දෙන්න මහජන මුදල් වියදම් කරා කියලා චෝදනා ලබපු අනූෂ පැල්පිටල හිටපු ජනාධිපති ලේකම්ලා නිදහස් වුණේ කොහොමද කියන එක අපි දැක්කා. රජයට බදු නොගෙවා මුදල් වංචා කිරීම ගැන චෝදනා එල්ල වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මත්පැන් නිෂ්පාදනාගාරයට දඩයක්වත් නැතුව බලපත්‍ර නිකුත් කළේ කියලා අපි දැක්කා. ඒ වගේම පසුගිය සැප්තැම්බර් 08වනදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ දත්ත මැකී යාම සම්බන්ධයෙන් ඊට අදාළ දත්ත සැකසුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරායව අත්අඩංගුවට ගත්තා. ඔහුට ඉදිරිපත් කර තිබූ චෝදනාවත් පොදු දේපොළවලට අනර්ථයක් සිදු කිරීම. ඔහුව පහුවදාම ඇප පිට නිදහස් කළා. එතකොට පොදු දේපොළ චෝදනාව කියන්නෙ ඇප දෙන්න බැරි චෝදනාවක් නෙමෙයි. මේ උද්ඝෝෂකයන්ට චෝදනා කර තියෙන්නේ කාඩ් බෝඩ් සහ රෙජිෆෝම්වලින් හදපු පෙට්ටියක් ගිනි තැබීම නිසා මාර්ගයට හානි වුණා කියලා. නමුත් ඖෂධ නියාමන අධිකාරියේ චෝදනාව තියෙන්නේ ෆයිල් 5000ට වැඩි ගණනක් ඉතාම වැදගත් ඖෂධ සම්බන්ධ ඉතා වැදගත් තොරතුරු සහිත දත්ත තොගයක් විනාශ වීම. එක රටේ පොදු මහජන සෞඛ්‍යට අදාළ ප්‍රශ්නයක්. නමුත් ඒකට චෝදනා ලැබූ අයට ඇප ලබාදුන්නා.

කෝෂිලා හංසමාලි ඇතුළු පස්දෙනා අරගල කළේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන්න, අධ්‍යාපනය මිලිටරීකරණය කරන්න ගෙනාපු අනපනත්වලට විරුද්ධව මේගොල්ලෝ අරගල කරේ. නිදහස් අධ්‍යපනය කියන්නේ රටේ ජනතාව ලබපු පොදු ජයග්‍රහණයක් ලෙස සළකන දෙයක්. පහළ පන්තික මිනිස්සු තමන්ගේ අවසන් බලාපොරොත්තුව තියලා තියෙන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය සම්බන්ධ. ඒ නිසයි නිදහස් අධ්‍යාපනය විනාශ කරද්දී ඒකට විරුද්ධව විශාල මහජන නැගිටීම් ඇතිවෙන්නේ. කොතලාවල පනතට විරුද්ධ මහජන ව්‍යාපාරය කියන්නේ මෑත ගොඩ නැගුනු විශාලම මහජන ව්‍යාපාරය. කෝෂිලා හංසමාලි වගේම සිරගත කර සිටින අනිත් අයත් පෙනී සිටියේ මිලියන ගණනක් ජනතාවගේ අයිතියක් වෙනුවෙන්. කෝෂිලා හංසමාලි වගේම අනිකුත් සිසු කම්කරු නායකයෝ හරි මිලියන ගණනක් ජනතාවගේ දේශපාලන අභිලාෂයන් නියෝජනය කරන නියෝජිතයෝ. ජනතාව වෙනුවෙන් කතා කරන සටන් කරන නියෝජිතයන්ට මේ කරන්නේ අර මිලියන ගණනාවක් ජනතාවට කරන්න හිතාගෙන ඉන්න දෙය තමයි. දරුවන්ගේ අයිතිය ගැන හිතන, නිදහස් අධ්‍යාපනය ගැන හිතන, ජනතාව මේක පිළිබඳ විශේෂයෙන් සැළකිය යුතුයි. මේ දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන්, ශිෂ්‍ය නායකයන් මෙවැනි මර්දනයකට සූදානමින් තමයි මෙවැනි අරගලවල ඉන්නෙ. ඔවුන් විසින් පෙනී සිටින සටන් පාඨ එක්ක ජනතාවගේ අයිතිවාසිකම් බැඳිලා තියෙනවා. ඒ අයිතිවාසිකම් භුක්ති විඳින ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අසාධාරණයන් ඉස්සරහා උදාසීනව බලාගෙන ඉන්න එපා කියලා. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සඳහා සටන් වැදුණු සේම ඒ වෙනුවෙන් සටන් වැදුණු ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතා බලවේගයක් පෙළගැසිය යුතුව තිබෙනවා. කොතලාවල විශ්ව විද්‍යාල පනත පරාජය කරන්න වගේම ඒ පනතට එරෙහිව සටන් කිරීම නිසා අද මර්දනයට, දණ්ඩනයට සහ දඩයමට ගොදුරුවෙලා සිටින සිසු කම්කරු ක්‍රියාකාරීන් ජනතා නියෝජිතයන්ට ඒ මර්දනය නතර කිරීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා.

අත්අඩංගුවට ගත් අයව කොවිඩ් බෝ කරමින්, ඔවුන්ට ප්‍රතිකාර ලබා නොදෙමින් ඔවුන්ව මරා දැමීමට දරණු ලබන උත්සාහයේ කොටස්කරුවෝ බවට පත්වෙලා ඉන්න දේශපාලන තන්ත්‍රයේත් නිලධාරී තන්ත්‍රයේත් කාටත් අපි අවධාරණය කරනවා මේ අපරාධකාරී පිළිවෙත සම්බන්ධයෙන් ස්ථිරව වන්දි ගෙවන්න වෙනවා ඔබට. ජනතාවගේ අධිකරණයක් ඉදිරිපිට මේ චෝදනා විභාග කෙරෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ අසාධාරණයට සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්ත්වයට එරෙහිව පෙළ ගැසෙන්න, සංවිධානය වෙන්න කියලා.”