தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
කෝෂිලාත් පොසිටිව්… හැබැයි සර් උඹලා කොහොමත් නෙගටිව්…. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෝෂිලාත් පොසිටිව්… හැබැයි සර් උඹලා කොහොමත් නෙගටිව්….



සිරගත කිරීම කියන්නේ දඬුවමක්. සිරගත කරලා තියාගෙන පළි ගන්නවා කියන්නේ නිහීනකමක්. හිතාමතාම රෝග බෝ වෙන්න ඉඩ හැරීම, අසනීප වුණාට පස්සේ ප්‍රතිකාර නොදී සිටීම බෙලහීනකමක්. අනීතිකව සිරගත කළ කෝෂිලාට උණ හැදුනේ පසුගිය නව වැනිදා. නමුත් දහ වැනිදා වෙනකං ඇයට කිසිම ප්‍රතිකාරයක් ලබා දුන්නේ නෑ. මීට කලින් චමීර කොස්වත්ත, වසන්ත මුදලිගේ, අමිල සන්දීප තුන්දෙනා කොවිඩ් රෝගීන් අතර තියලා ඔවුන්ට කොවිඩ් බෝ කළා.

ජනමතය නියෝජනය කරන උද්ඝෝෂකයන් දකින කොට නැට්ට දෙපරැන්ද අස්සේ ගහගෙන ‘කීං… කීං…’ ගාලා පහුබහින, අවනීතියේ දඩබල්ලන් ඉස්සරහට දාන, නීතිය නවලා නීතිය අවභාවිත කරන, ලොක්කගෙ ඕඩරේ ආවම කලිසම තෙමා ගන්න ‘ස්වාමිනි’ ලා නිවාඩු යවලා නඩු දින කල් දම්මවා ගන්න, ඇප දෙන්න පුළුවන්කම තියෙද්දිත් ඇප නොදී ඉන්න සර්ලා කොච්චර නෙගටිව්ද?

කෝෂිලා පොසිටිව් කියද්දි එතුමන්ලාගෙ හීනමානය සතුටු වෙන බව අපි දන්නවා. හැබැයි පාලනය කරන්න ඇහැකි වසංගතයක් හමුවේ මිනිසුන් දහදාහකට වැඩිය මරා ගත්ත පිලේ ඉන්න තමුන්නැහේලා නෙගටිව්. අඩුම තරමින් කොවිඩ් තාක්ෂණ කමිටුවේ විශේෂඥ වෛද්‍යවරුන්වත් රඳවා ගන්න බැරි තමුන්නැහේලා නෙගටිව්. රට වැසියන්ගෙ ප්‍රධාන ආහාරය වෙච්ච හාල්වල මිල පාලනය කරන්න බැරි, සීනි මුදලාලිලාගෙ අල්ල උඩ සල්ලිවලට නැටවෙන ඇඹලයන් ගානට වැටුණු තමුන්නැහේලා නෙගටිව්. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව රැක ගන්න බැරි වෙච්ච, ඒක කාබාසිනියා කළ එවුන්ගෙන් ‘මොකද වුණේ’ කියලා අහන්න කට පණ නැති තමුන්නැහේලා නෙගටිව්. රට රකින්න ඇවිත් මුළු රටම ඉන්දියාවයි, චීනෙයි, ඇමරිකාවයි කොල්ලකාගෙන යනකං හිකනල්ලු වගේ බලාගෙන ඉන්න තමුන්නැහේලා නෙගටිව්. පාස්කු ප්‍රහාරයේ පිහිටෙන් බලයට ඇවිත් එක වැරදිකාරයෙක්වත් හොයා ගන්න බැරි වෙචච් තමුන්නැහේලා නෙගටිව්. කුඩ්ඩො ඉස්සරහ පදිරි වෙච්ච, හාල් මෝල්ලු ඉස්සරහ නිවට වෙච්ච, ජනතාව ඉස්සරහා තක්කඩියන් වෙච්ච තමුන්නැහේලා නෙගටිව්.

තමුන්නැහේලා ගැන විශ්වාසය තියපු 69 ලක්ෂයට පාරට බැහැලා යන්න බැරි තරමට විලිලැජ්ජාවට පත් කරපු තමුන්නැහේලා නෙගටිව්. එහෙව් තමුන්නැහේලාට වඩා කෝෂිලාලා, චමීරලා, වසන්තලා, අමිලලා පොසිටිව්. උන්ගෙ ආත්ම විශ්වාසය, ධෛර්යය ඉස්සරහත් තමුන්නැහේලා නෙගටිව්. ඒ විතරක් නෙවෙයි. තමුන්නැහේලා තමුන්නැහේලාගෙ හෘද සාක්ෂිය ඉස්සරහත් නෙගටිව්.