தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
ගල් ඔය මැණික් ජාවාරමක් - වනජීවිය සහාය දෙයි? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගල් ඔය මැණික් ජාවාරමක් – වනජීවිය සහාය දෙයි?



(“වනජීවීසංරක්ෂණදෙපාර්තමේන්තුවේ සහය මත ගල්ඔය ජාතිකවනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්” යන සිරස්තලයෙන් ‘සජීව චාමිකර’ විසින් ලියූ ලිපියකි)

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුලුපිටිය ග්‍රාම නිලධාරී වසමේ ජාතික වනෝද්‍යානය තුළ උල්වෙල කුඹුර නම් මැණික් කැනීම් භූමිය පිහිටා ඇති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතා ගේ වාර්තාවල පැහැදිලි ව සඳහන් කර තිබිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතා විසින් මැණික් කැනීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දී තිබීම නීති විරෝධී මෙන් ම ඉතා ම හානි කර ක්‍රියාවකි.

මෙම ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ප්‍රදීප් එන්. මුණසිංහ මහතා විසින් මෙම මැණික් ජාවාරම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දී ඇති අතර ජාතික වනෝද්‍යානයේ නිල්ගල පිවිසුමෙන් ඇතුළු වී මහදොරොව්ව කඳවුරු බිම හා ගල්ඔය හරහා මැණික් කැනීම් භූමියට මැණික් ජාවාරම්කරුවන්ට පිවිසීමට, මැණික් කැනීම් උපකරණ හා යන්ත්‍ර සූත්‍ර එම මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමට මෙන් ම ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මැණික් කැනීම් භූමියට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීමට තාවකාලික විදුලි වැටන් ඉදි කිරීම සඳහා ද සහයෝගය ලබා දී ඇත. මේ සියල්ල ම ජාතික වනෝද්‍යානයක නීති විරෝධී ක්‍රියාවන් ය. එම නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට උද්‍යාන භාරකරු විසින් ම සහයෝගය ලබා දීමෙන් සිදු වන්නේ ජාතික වනෝද්‍යානයේ සියලු ජෛව ප්‍රජාව ගේ මෙන් ම මෙම ජාතික වනෝද්‍යානයෙන් පෝෂණය වන සේනානායක සමුද්‍රයේ ජල පෝෂක බිම්වල අනාගත පැවැත්ම විනාශයට ලක් වීම ය. 

බිබිල ප්‍රදේශයේ කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ජේ. එම්. ජයරත්න බණ්ඩා විසින් මෙම මැණික් ජාවාරම මෙහෙයවීම හා මුදල් යෙදවීම සිදු කරන අතර බිබිල, නාගල, පාසැල අසල, අංක 181 දරන ස්ථානයේ පදිංචි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ සේවය කරන වන සත්ව අඩවි සහකාර ඉරෝෂ් නිලංග මහතා ගේ පියා වන ඒ. එම්. විජේවර්ධන යන අය නමට ජී.එම්.එල්. 1007990 අංක දරන නීති විරෝධී මැණික් පතල් කැනීම් හා ගැරීම් බලපත්‍රය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් නිකුත් කර තිබේ. මැණික් ජාවාරම්කරුවන් සමඟ නිරන්තරයෙන් කටයුතු කරන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් විසින් ජාතික වනෝද්‍යානයක් තුළ මැණික් කැනීම් සිදු කිරීමට පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් නීති විරෝධී ව බලපත්‍ර නිකුත් කිරීම පුදුමයට කරුණක් නොවේ. මහජනතාව ගේ බදු මුදලින් වැටුප් ලබන මෙම අධිකාරියේ නිලධාරීන් ජනතාව හා රක්ෂිත බිම් විනාශයට ලක් කිරීමට මේ ආකාරයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් සිටීම කණගාටුවට කරුණකි.

මෙම යාන්ත්‍රික කැනීම් බලපත්‍රය ලබා ගැනීම සඳහා හිටපු පරිසර, වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේකර ගෙන් ඒ. එම්. විජේවර්ධන විසින් ඉල්ලීම් කර ඇති අතර අමාත්‍යවරයා ගේ සහයෝගය මත වනෝද්‍යානය තුළ පිහිටි ඉඩම්වල නීති විරෝධී ව යාන්ත්‍රික මැණික් කැනීම් සඳහා අනුමැතිය ලබා ගෙන තිබේ.

ව්‍යාපාරිකයන් ගේ හා දේශපාලඥයන් ගේ බලපෑම් මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් අද වන විට ජාතික වනෝද්‍යානය තුළ වාඩි ඉදි කර මහ පරිමාණයෙන් පතල් කැනීම් සිදු කර ඇත. බලපත්‍රයක් යටතේ වන සතුන් නැරඹීමේ කාර්යයක් සඳහා පමණක් පිවිසිය හැකි ජාතික වනෝද්‍යානයක් මේ වන විට මැණික් ජාවාරම්කරුවන් විසින් දැවැන්ත විනාශයකට ලක් කර තිබේ.

ජාතික වනෝද්‍යානයේ පැවැත්ම විනාශයට ලක් කිරීම

හෙක්ටයාර 25900 ක් පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිරුණු සැවානා වනාන්තර හා ජලමූලාශ්‍රයන්ගෙන් සමන්විත ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය 1954 වසරේ දී ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණු වී ඇත්තේ සේනානායක සමුද්‍රයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජල පෝෂක බිම් සුරක්ෂිත කිරීම හා එම ජලාශය ඉදි කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාව ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම උදෙසා ය.

1954 වසරේ දී ම මෙම ජාතික වනෝද්‍යාන හා සම්බන්ධ ව පිහිටි තවත් සැවානා වනාන්තර හා වියළි මිශ්‍ර සදාහරිත වන්න්තර හෙක්ටයාර 37037 ක් සේනානායක සමුද්‍ර අභය භූමිය, ගල්ඔය නිම්න නිරිතදිග අභය භූමිය හා ගල්ඔය නිම්න ඊසානදිග අභය භූමිය නමින් ප්‍රකාශයට පත් කර රක්ෂිත වනාන්තර ජාලයක් ඇති කර ඇත්තේ ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා ය.

වර්ග කිලෝමීටර 1877 ක ජලධාරා ප්‍රදේශයක් හිමි ගල්ඔය හා අක්කර අඩි 770000 ක ජල ධාරිතාවක් හිමි සේනානායක සමුද්‍රය ප්‍රධාන වශයෙන් ම පෝෂණය වන්නේ ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතිය මත ය. මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්ක දෙකෙහි ගොවිබිම් අක්කර 123000 කට ජලය සැපයීම හා මෙගාවොට් 11.25 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම සේනානායක සමුද්‍රයෙන් සිදු වේ. එහි පැවැත්ම රැදී ඇත්තේ මෙහි ජල පෝෂක වනාන්තර පද්ධතිය මත ය.

මේ ආකාරයෙන් නීති විරෝධී හා හානි කර මැණික් කැනීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ ගල්ඔය හා සේනානායක සමුද්‍රය රොන්මඩින් පිරී යාම හා රඳවා ගන්නා ජල ධාරිතාව අඩු වීම ය. මේ පිළිබඳ ව අවබෝධයන් නොමැති නිලධාරීන් ගන්නා මෙම හානි කර හා නීති විරෝධී තීරණ හේතුවෙන් ජල අර්බුද නිර්මාණය වීමෙන් ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වේ.

එපමණක් නොව ජාතික වනෝද්‍යානයක් තුළ නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට අනුමැතිය ලබා දීමෙන් සිදු වන්නේ එහි ජීවත් වන අලි – ඇතුන් ඇතුළු සත්ත්ව විශේෂවල වාසස්ථාන සුරක්ෂිත නොවීම හේතුවෙන් රක්ෂිත වනාන්තරවලින් පිටතට පැමිණ ගම්මාන හා වගා බිම්වලට පිවිසීම වර්ධනය වීම ය. මේ හේතුවෙන් අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත.

ගල්ඔයට හා නිල්ගලට ආවේණික ජෛව විවිධත්වය විනාශ කිරීම

ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතිය පහත් බිම් සවානා වනාන්තර ලෙස හඳුන්වනු ලැබේ. මේ වනාන්තර දර්ශය ඌව කලාපයට පමණක් ආවේණික වේ. අරළු (Terminalia chebula), බුළු (Terminalia belerica),  නෙල්ලි (Phyllanthus emblica), ගම්මාලු (Pterocorpus marsupium) වැනි ශාක තැනින් තැන පිහිටන මේ වනාන්තරවල යටි ස්ථරය තෘණ ශාකවලින් වැසී පවතී. හීන් පැඟිරි, ඇත්තුත්තිරි, මහ පිනි බරු තණ, පිනි බරු තණ වැනි තෘණ ශාක මෙන් ම ඇත්අඩි, විෂ්ණුක්‍රාන්ති වැනි ශාක ද දැකගත හැකි ය.

මේ වනාන්තරයන්හි ඌව කලාපයට පමණක් ආවේණික ජීවී විශේෂ ගණනාවක් ජීවත් වේ. ලැසර්ටිඩේ  (Lacertidae) කුලයට අයත් පඳුරු කටුස්සන් ලෙස හඳුන්වන උරග විශේෂ දෙකක් මේ ප්‍රදේශයේ සැවානා තෘණ භූමි ආශ්‍රිත ව වාර්තා වේ. එනම් Ophisops leschenaultii lankae හා Ophisops minor minor ය. මේ උප විශේෂ දෙක ම ලංකාවට ආවේණික වේ. 1968 වසරේ දී නිල්ගල ප්‍රදේශයෙන් කෞතුකාගාර නිලධාරීන් එක් රැස් කළ නිර්දේශයක් ආශ්‍රයෙන් 1971 වසරේ දී ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් Ophisops minor minor නම් උප විශේෂය විද්‍යාලොවට හඳුන්වා දෙන ලදී. 

උරග හා උභයජීවීන් සම්බන්ධ ව පර්යේෂණ සිදු කරන සමීර සුරන්ජන් කරුණාරත්න, තසුන් අමරසිංහ, ටිරාන් අබේවර්ධන, චන්දන අසේල, භාතිය කැකුලන්දර, ඇන්ස්ලම් ද සිල්වා යන පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනවලට අනුව උරග විශේෂ 73 ක් මෙම වනාන්තර ප්‍රදේශයෙන් වාර්තා කර තිබේ. ඉන් විශේෂ 31 ක් මෙරටට ආවේණික වේ. ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතියට පමණක් සීමා වූ ඉතා ම දුර්ලභ මෑතක දී විද්‍යා ලොවට හඳුන්වාදුන් උරග විශේෂ දෙකක් ලෙස නිල්ගල දිවාසැරි හූනා (Cnemaspis nilgala) හා නිල්ගල මහකැළෑ හූනා (Cyrtodactylus vadda) මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ.

නිල්ගල ආශ්‍රිත ඌව පතන් බිම්වල ජීවත්වන Calodactylodes illingworthorum නම් ලංකාවට ආවේණික හූනන් විශේෂය සෙවණ සහිත ගල්පර යට ජීවත් වේ. මෙම Calodactylodes ගණය යටතේ ලෝකයේ විශේෂ දෙකක් වාර්තා වන අතර, අනෙක් විශේෂය ඉන්දියාවෙන් හමු වේ. මෙය ලංකාව හා ඉන්දියාව අතර පැවැති භූගෝලීය සම්බන්ධතාව විස්තර කිරීමට වැදගත් වන ජීවී පොසිලයක් ය.

Hemidactylus hunae නම් ලංකාවට ආවේණික හූනන් විශේෂය ඌව පතන් බිම් ආශ්‍රිත ව වාර්තා වන සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ විශේෂයකි. මීට අමතර ව Dasia helianus නම් ලංකාවට ආවේණික හිකනළුන් විශේෂය නිල්ගල වනාන්තරය ආශ්‍රිත වෘක්ෂ මත ජීවත් වන දුර්ලභ විශේෂයකි.

නිල්ගල හා ගල්ඔය වනාන්තර පද්ධතියෙන් උභයජීවී විශේෂ 20 ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 9 ක් මෙරටට ආවේණික වේ. මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වන උභයජීවී විශේෂයක් ද වේ. ගල්පර මැඬියකු වන එම විශේෂය Nannophrys naeyakei ලෙස හැඳින් වේ. 2007 වසරේ දී මෙන්ඩිස් වික්‍රමසිංහ ඇතුළු පිරිස විසින් මේ විශේෂය විද්‍යාලොවට හඳුන්වා දෙන ලදී.

මේ වනාන්තරවල පමණක් දැකිය හැකි පඳුරු වටුවා (Jungle Bush Quail – Perdicula asiatica ceylonensis), පතන් කුකුළා (Painted Francolin නැතහොත් Painted Partridge – Francolinus pictus watsoni) සහ කහ පා බටගොයා (Yellow – footed Green Pigeon – Treron phoenicopterus phillipsi)  නම් ලංකාවට ආවේණික උප විශේෂ තුන 2012 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස පාත්‍ර වූ (Critically Endangered) විශේෂ වෙයි. මේ පක්ෂීන් ගේ එක ම නිවහන ඌව පතන් බිම් පමණක් වේ. මීට අමතර ව ළා කොළ කෑරලා ද (Scally – bellied Woodpecker නැතහොත් Streak – throated Woodpecker – Picus xanthopygaeus) ඌව පතන් බිම් හා ඒ ආශ්‍රිත සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ පක්ෂි විශේෂයකි.

මේ ප්‍රදේශයේ පමණක් ජීවත් වන, කුඩුම්බේරිය ශාකය මත යැපෙන දළඹු අවස්ථාවක් හිමි Barronet (Euthalia nais) නම් සමනල විශේෂය මේ වනාන්තරවල සුවිශේෂත්වය කියාපාන තවත් එක් සාධකයකි. මෙවන් අති විශාල වැදගත්කමකින් යුත් මිල කළ නොහැකි ජෛව සම්පත් අති බහුතරයකට රැකවරණය සලසන ගල්ඔය හා නිල්ගල වනාන්තර පද්ධතිය තුළ මැණික් කැනීම් ඇතුළු හානි කර ක්‍රියා අඛණ්ඩ ව සිදු කිරීමෙන් මෙම සුවිශේෂී ජෛව ප්‍රජාව මිහිමතින් වඳ වී යාම සිදු විය හැකි ය.

පාරිසරික අණ පනත් උල්ලංඝනය කිරීම

මෙවන් සුවිශේෂී ජෛව පද්ධතියක් විනාශයට ලක් කිරීම සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 2 වන වගන්තියට අනුව 1954 පෙබරවාරි මස 12 වන දින අංක 10640 දරන ගැසට් නිවේදනය යටතේ හෙක්ටයාර 25900 ක් වන ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. එසේ ප්‍රකාශයට පත් කළ ජාතික වනෝද්‍යානයකට මෙම පනතේ 5 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැති ව ඇතුළු වීම ද නීති විරෝධී වෙයි. පනතේ 6 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයේ ශාක විනාශ කිරීම, ඉඩම් එළි කිරීම, පතල් හෑරීම ඇතුළු සියලු ක්‍රියාවන් නීති විරෝධී වේ.

පනතේ 67ආ1 උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක ඕනෑ ම නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි ය. එම ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇප ලබා දීමේ හැකියාව නොමැති අතර පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුතු ය. මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලබන පුද්ගලයකුට රුපියල් විසි දහසත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

එපමණක් නොව එම වරද නැවත අවස්ථාවක දී සිදු කර අධිකරණයෙන් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් හතලිස් දහසත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 5 ත් 10 ත් අතර බන්ධනාගාර ගත කිරීමට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මෙම පනතේ 59 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද එම වරදට ම වරදකරුවකු වන්නේ ය.

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව ය. මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කිරීම වෙනුවට අලි – ඇතුන් ඇතුළු වනජීවී වාසස්ථාන විනාශ කිරීමට මෙන්ම සේනානායක සමුද්‍රයේ ජල පෝෂක බිම් විනාශ කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසා දීමට කටයුතු කරමින් සිටිති.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එවන් රාජ්‍ය ආයතනයක් රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් වගකීම් සහගත ව ක්‍රියාත්මක නොවීම හා මැණික් ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් පෙනී යන්නේ රටේ අනාගත පැවැත්ම සුරක්ෂිත තත්ත්වයක නොපවතින බවය.

2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය ගහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිතා කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්‍රදේශයයි. මෙම ප්‍රදේශය තුළ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.

ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයින් ව අත් අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇති අතර පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි භූමියක යාන්ත්‍රික මැණික් කැනීම් කටයුතු සිදු කිරීමට හා ජාතික වනෝද්‍යානයක් පාලනය වන නීති රීති උල්ලංඝනය කරමින් මැණික් ජාවාරම්කරුවන්ට ජාතික වනෝද්‍යානයක් තුළ පිවිසීමට අනුමැතිය ලබා දීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ රටේ ජනතාව ගේ වර්තමාන හා අනාගත සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරන අණ පනත් උල්ලංඝනය කර නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමකි. එපමණක් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය” යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අල්ලංඝනය කිරීමකි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කඩිනමින් මැදිහත් විය යුතු ය. එසේ නොමැති වුවහෙත් සිදු වන්නේ දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එක් ව සිදු කරන මෙම විනාශකාරී ක්‍රියා හේතුවෙන් රටේ අනාගත පරපුර විනාශයට ලක් වීම ය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හා ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් වගකීම් විරහිත ව කටයුතු කිරීමට එරෙහි ව දණ්ඩ නීති සංග්‍රහයේ දහ හතර වැනි පරිච්ඡේදයේ සදාචාරය පිළිබඳ වැරදි කොටසේ 289 වන වගන්තියට අනුව ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම, යම් පනතකින් හෝ ආඥාපනතකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට ම නොකර හැරීම යන වැරදිවලට අධිකරණයෙන් දඩුවම් කළ හැකි ය. මෙම නීති විරෝධී ක්‍රියාවල නිරත නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම මෙම විනාශය නැවැත්වීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය කඩිනමින් මැදිහත් වීම අත්‍යවශ්‍ය ව ඇත.

සජීව චාමිකර 
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය