Posted on 07.22.2022 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) මේ වනවිට කොළඹ ගාලුමුවදොර අරගල බිම ප්‍රවේශ මාර්ග සියල්ල ආරක්ෂක හමුදා විසින් අවහිර කර ඇත.
දහසක් පමණ ආරක්ෂක භටයන් විසින් අද අලුයම 1.00ට පමණ ගාලුමුවදොර අරගල බිමට මෙසේ ආරක්ෂක හමුදාව කඩාවැදී ඇති අතර කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට අරගලකරුවන් ප්‍රකාශ කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අය අතර නීතිඥ නුවන් බෝපගේ, ළහිරු සිල්වා, චන්දිමාල් ගමගේ සහ අරගල බිමට මැයි 9 ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ම්ලේච්ඡ ලෙස පහරකෑමට ලක්වූ අනුරංග සිටින බවටද තොරතුරු ලැබී ඇත. මීඨ අමතරව හමුදා මැදිහත්වීමට විරෝධය පළ කළ, “වෙනසක තාරුණ්‍ය” සංවිධායක ළහිරු වීරසේකර ඇතුළු විරෝධතාකරුවන් 10 දෙනකුට පමණ භටයන් විසින් පොලුවලින් පහරදී ඇත.
පොලිසිය භාරයට ගත් රසික ප්‍රියදර්ශන සහ අනුරංග මරදාන පොලීසියේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත. එසේම නීතිඥ නුවන් බෝපගේ රන්දිමාල්, සෝමරත්න, ලීලාරත්න, රාජපක්ෂ සහ මදුෂාන් යන අරගලකරුවන් මේ වනවිට මරදාන පොලිසියේ රඳවනු ලැබ සිටී.
මේ අතර ආබාධිත අරගලකරුවන්ගේ කුටිය ආරක්ෂක භටයන් විසින් වටකර සෙසු අරගලකරුවන්ගෙන් වෙන් කිරීම මගින්ද ඔවුන් හිරිහැරයට ලක්කර ඇති බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(21) ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ මිලිටරියේ ප්‍රධානින්ට දුන් උපදෙසක් අනුව මෙම මිලිටරි මැදිහත්වීම සිදුකර ඇති බව විශ්වාස කෙරේ.
ඊයේ සවස ගාලුමුවදොර විරෝධතාවයේ ප්රමුඛ ක්‍රියාකාරි සංවිධානය විසින් කළ සාකච්ඡාවක පසුව ඔවුන් සූදානම්ව සිටියේ අද විරෝධතාව අවසන් කර ගාලුමුවදොර භූමියෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගෙන තිබුණු බවද රතු කුරුස සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ඊයේ දිනයේදී එම භූමියෙන් ඉවත්වූ බවද වාර්තා විය. කෙසේවෙතත්, පොළු රැගත් යුද හමුදා සෙබළු විශාල පිරිසක් මධ්‍යම රාත්‍රියේ විරෝධතා භූමිය වෙත පැමිණ මාර්ග අවහිර කර තිබේ. එහිදී සෙබළුන් විසින් බී.බී.සී මාධ්‍යවේදියා ඇතුළු මාධ්‍යවේදින්ගේ වාර්තාකරණයට බාධා කළහ. ඉන්පසුව අරගලකරුවන් අතර සිටි ඉදිරිපෙළ ක්‍රියාකාරින්ට පහරදී අත්අඩංගුවට ගැනීම සිදු විය.
මෙම ප්‍රහාරය වාර්තා වීමෙන් පසුව කොළඹ නගරයේ ජනයා අරගල බිමට පැමිණෙමින් සිටී.