Posted on 12.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට වෙළඳපොළට නිකුත්කරන ලද අනතුරුදායක තත්වයේ ඇති බවට සැක කෙරෙන පැරණි ගෑස් සිලින්ඩර එකතු කිරීමට ගෑස් සමාගම් පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
මේ දක්වා රට තුළ ගෘහස්ත අනතුරු සිය ගණනක් සිදුව මරණ කිහිපයක් මෙන්ම තවත් පිරිසකට සදාකාලික දුබලතා ඇතිකරවා ඇත්තේ ගෑස් සමාගම්වල ලාභ යට කෑදරකම හේතුවෙනි. නමුත් අධිකරණය නියෝග කළ නිසා දැන් මෙම ගෑස් සමාගම් විසින් සිලින්ඩරයේ ලේබලය මාරුකර සුපුරුදු ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමේ තත්වයක් දක්නට ලැබේ. සිදුව ඇති අනතුරු සම්බන්ධ වින්දිතයන් විසින් අධිකරණය හමුවට ගොස් ඇති නමුත්, පාරිභෝගික අධිකාරිය හෝ පොලිසිය මෙවැනි අනතුරුදායක ගෑස් සිලින්ඩර අලෙවි කිරීම සම්බන්ධ ගෑස් සමාගම් නීතිය ඉදිරියට පමුණුුුවා නැත.
ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ. එච්. වෑගපිටිය මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇති ආකාරයට දැනට ගෘහස්තව පාවිච්චි කරන ලාෆ් ගෑස් පැරණි සිලින්ඩරවල ඇති ගෑස් ප්‍රමාණය කිරා බලා භාරගන්නට එම සමාගම පියවර ගෙන ඇත. මෙසේ පැරණි ගෑස් සිලින්ඩර සම්බන්ධ පියවර ගැනීම පිළිබඳව තම ගෑස් අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී ඇති බවට ද ඔහු කරුණු අනාවරණය කර ඇත.
පසුගියදා අධිකරණය දුන් නියෝගය මත මෙම එකතු කිරීම ක්‍රියාත්මක කරන බව පවසන ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා, ලාෆ් ගෑස් පැරණි සිලින්ඩර විශාල ප්‍රමාණයක් නැවත එකතු කිරීමට නොමැති බව ප්‍රකාශ කරමින් පාරිභෝගිකයන්ට සාධාරණය ඉටු කරන්නට මෙම පියවර ගන්නා බව සඳහන් කර ඇත.
මේ අතර ලිට්‍රො සමාගම විසින් මේ ආකාරයට ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත මිලදී ගෙන තිබුණේ භාවිතය සඳහා එම සිලින්ඩරවල ලේබලය ගලවා නැති නම් පමණකි. කෙසේවෙතත්, විවිධ ස්ථානවලදී ලිට්‍රො සිලින්ඩර නිසා අනතුරු ඇතිව තිබෙන පසුබිමක අධිකරණ නියෝගය හේතුවෙන් ගෑස් සිලින්ඩර නැවත එකතු කර ඒවාටම වෙනත් ලේබලයක් අලවා අලෙවි කර ඇති බවට පසුගිය දිනවල පාරිභෝගිකයන් විසින් කරුණු දක්වා තිබිණි.
ගෑස් සමාගම් විසින් පසුගිය කාලයේ මාධ්‍ය වෙත කරුනු දැක්වූවේවත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළේත් තමන් ආරක්ෂිත ආකාරයට ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන් වෙත පත්කරන බවය. කෙසේවෙතත්, පසුගිය මාස කිහිපයක් තිස්සේ ගෑස් වෙළඳපොළේ හිගයක් මවමින් මිල ඉහළ නංවාගන්නට සමාගම් විසින් වෙන් වෙන්වත් හවුලේත් කුමන්ත්රණකාරී පියවර ගෙන තිබිණි. ආරක්ෂිත පියවර හරහා ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කෙරුණේ නම්, වෙනත් කිසිදාක නැති ආකාරයෙන් අනතුරු ඉහළ යන්නේ නැති බව සාමාන්‍ය අවබෝධයක් ඇති අයකුට පවා වටහා ගත හැකිය. අවසානයේ අධිකරණ නියෝගයට මුවා වී සිලින්ඩර නැවත කැඳවන්නට සමාගම් පියවර ගන්නේ නිකුත් කර ඇති සිලින්ඩර සම්බන්ධ අනතුරුදායක තත්වයක් පවතින බව සමාගම් විසින්ම පිළිගෙන ඇති නිසාය.