தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ගුරු අරගලය නිසා විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද බවට ආණ්ඩුවේ වැරදි ප්‍රචාරයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු අරගලය නිසා විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද බවට ආණ්ඩුවේ වැරදි ප්‍රචාරයක්!



වසර එක හමාරක් අධ්‍යාපනය කඩා වැටී ඇති පසුබිමක කිසිවක් නොකළ ආණ්ඩුව, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට උත්සාහ කරන්නේ දරුවන්ගේ යහපත පිණිස නොව, ගුරු වර්ජනය කෙරෙහි මව්පියන් තුළ සතුරු ආකල්පයක් ඇති කිරීමට බව ගුරු විදුහල්පති සංගම් පවසති.

මේ වනවිට ආණ්ඩුව උත්සාහ කරන්නේ ගුරු වර්ජනය හේතුවෙන් සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරික්ෂණ කිරීමට නොහැකිව ඇති බවක් මව්පියන්ට ඒත්තු ගැන්වීමටය. නමුත් මෙසේ සිදුව ඇත්තේ ගුරුවරුන්ගේ වර්ජනය නිසා පමණක් නොව කොරෝනා හේතුවෙන් පාසල් තවමත් වසා තැබීම නිසාය. දරුවන් 169,000 පමණ පෙනී සිටි සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම දරුවන්ට කරන දැඩි අසාධාරණයක් බව පොදුවේ ගුරුවරු, මව්පියන් ඇතුළු පාර්ශ්ව ගණනාවක අදහස වී ඇත.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ස්ටාලින් පවසන්නේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට රජය කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය. මේ ආකාරයෙන් ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් මව්පියන් ඇතුලු ගුරු සංගම් සමග දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසා ඇත.

මේ වන විට ගුරු වර්ජනය සඳහා විධිමත් විසඳුමක් ලෙස ආණ්ඩුවම පත් කළ ‘පබෝධනී’ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ කිසිදු අදහසක් ප්‍රකාශ වී නැති බව පවසන ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ඉල්ලීම් සම්බන්ධ ප්‍රායෝගික විසඳුම් නොමැතිව අරගලය අත්හරින්නට සූදානම් නැති බව අවධාරණය කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරමින් මේ බව පවසා ඇත. ඇමතිවරු 4 දෙනකු යොදවා වසර 24ක් පුරාම සිදු කළ ගුරුවරු රැවටීමේ මාවතේ යමින් බාල පොරොන්දු දිගුකර ඇති බව පවසන ඔහු, සමස්ත ගුරු අරගලයම වැටුප් ඉල්ලීමකට ලඝුකරමින් සෙසු ඉල්ලීම් කිසිදු ආකාරයෙන් සළකා බලා නැති බව අවධාරනය කරයි.