தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ගුරු උද්ඝෝෂණ ගැන සිළුමිණ පුවත්පතේ පළවූ අසත්‍ය පුවතට එරෙහිව ඩලස්ට පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු උද්ඝෝෂණ ගැන සිළුමිණ පුවත්පතේ පළවූ අසත්‍ය පුවතට එරෙහිව ඩලස්ට පැමිණිල්ලක්



පසුගිය ඉරිදා (29) සිළුමිණ පුවත්පතෙහි මුල්පිටුවේ පළවූ අසත්‍ය පුවතක් මගින් ගුරුවරුන්ට බරපතල අපහාසයක් සිදුකර ඇති බවට ගුරු සංගම් කිහිපයක් එක්ව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ ලිපියෙන් ගුරු සංගම් පෙන්වා දී ඇත්තේ ජාතික පුවත්පතක් වන සිළුමිණ පුවත්පතෙහි ගුරු උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 25 ක් මරණයට පත්ව තවත් 400 ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවට මුල් පිටුවේ පුවතක් පලකර ඇති බවයි.

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ සිළුමිණ පුවත්පතට හෙළිකළ බව පවසා පලකර ඇති මෙම පුවතේ මියගිය බවට සඳහන් කර ඇති ගුරුවරුන් 25 දෙනාගේ නම් හෝ සදහන් නොවන අතර සෞඛ්‍ය අංශ මගින් තහවුරු කළ යුතු කරුණක් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය උපුටා දක්වමින් වාර්තා කිරීම කුමන මාධ්‍ය සදාචාරයක්දැයි ගුරු වෘත්තීය සංගම් ප්‍රශ්න කර සිටියි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසදීමට පත්කළ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කරමින් සිටින අතරතුරදී ඔහුගේ යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතනයක මෙවැනි පුවතක් පලකරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකරන බව එම ලිපියෙහි සඳහන් වේ.

පදනමක් නොමැති මෙම පුවත මගින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිළිබදව වෛරී හැඟීමක් ජනතාව තුළ ඇතිකරන බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ලිපිය මගින් ගුරු වෘත්තීය සංගම් ඉල්ලා සිටියි.