தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
'ගෝඨාගේ නීතිගරුක පාලනය' - ලලිත් - කුහන් නිදසුන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ගෝඨාගේ නීතිගරුක පාලනය’ – ලලිත් – කුහන් නිදසුන



පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකයාවන ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි කරන තේමා අතර ‘නීතිගරුක’ පාලනයක් සහ ‘විනයක් ඇති’ රටක් ලෙස ප්‍රකාශිත කරුණු පිළිබඳ ඔහු ලබාදුන් ‘පූර්වාදර්ශ’ රාශියකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිකම් කළ 2005-2014 වසර නවයක නපුරු පාලනය තුළ කෘර මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, පැහැරගෙන යාම් මරාදැමීම් හා මහදවල් පහරදීම්, තර්ජනය කිරීම් අඩුවක් නොවිණි. 

ඒ අතර විශේෂිත නිදසුනක් ලෙස දේශපාලන ක්‍රියාකාරිකයන් දෙදෙනකුවන ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවෙන් ගෝඨාභයට ගැලවීමක් නැත. 

අතුරුදන් කළවුන් සම්බන්ධ චෝදනා දහස් ගණනක් මහින්ද රාජපක්ෂ පාලනයට එල්ල වී තිබෙන අතර, එවකට රාජ්‍ය ආරක්ෂක අංශවලට සහ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවන ලද අතුරු හමුදා කන්ඩායම්වලට නිශ්චිත වශයෙන් චෝදනා එල්ල විය. මෙම අපරාධකාරී ක්‍රියා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව හා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් නායකත්වය දෙමින් ගෙන ගිය විරුද්ධවාදින් මර්දනය කරන්නට ගත් උත්සාහයන් ලෙස ප්‍රකටය. එම සිදුවීම් අතර සාක්ෂි සහිතව සනාථ වූ අපරාධයක් ලෙස ලලිත් හා කුහන් යන දෙදෙනා පැහැරගෙන යාමේ සිදුවීමට සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වගකිවයුතුය. එම හේතුව නිසාම එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ ලලිත් හා කුහන් පැහැරගෙන යාමට සහ අතුරුදන් කිරීමට වගකිව යුතුය.

2011 දෙසැම්බර් 09 වැනිදා අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජු කලක් ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා විය. එවකට ඇතිවූ දේශපාලන ඛණඩනයෙන් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුල් සංවිධාන ආකාරය වූ ‘ජන අරගල ව්‍යාපාරය’ වෙනුවෙන් යාපනයේ එක්ව සංවිධාන කටයුතු කරමින් සිටියදී ඔහු සහ එම ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වූ කුහන් මුරුගානන්දන් අතුරුදන් කර තිබිණි. ඔවුන් අවසන්වරට ගමන් ගත් යතුරු පැදිය පසුව පොලිසිය භාරයේ තිබූ සොයාගන්නා ලදී.

මේ අතුරුදන්වීම මහත් ආන්දෝලනයකට ලක්ව මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා එල්ලවත්ම එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල 2011 දෙසැම්බර් 15 දින මාධ්‍ය හමුවකදී එම පැහැරගැනීමේ සිදුවීම ගැන අදහස් පළ කළේය. ඔහු කීවේ ලලිත් හා කුහන් අතුරුදන්ව හෝ පැහැරගෙන නැති බවත් පොලිසිය හෝ හමුදාව විසින් ඉක්මනින්ම අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. එහෙත් ඉන්පසුව ඒ සම්බන්ධ කිසිදු විධිමත් ප්‍රකාශයක් හෝ අධිකරණ කටයුත්තක් ආණ්ඩුවෙන් සිදුකර නැත. මේ නිසා එම දෙදෙනා වෙනුවෙන් හබයාස් කෝපුස් පෙත්සම් විභාගයක් කරන්නට ඥාතින් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. මෙම හබයාස් කෝපුස් පෙත්සමේ සාක්ෂිකරුවන් ලෙස එවකට ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම්කරනු ලැබ තිබේ.

ලලිත් කුමාර් වීරරාජු උතුරේ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ අරමුනින් දේශපාලන අරගලයක් සංවිධානය කළ මානව හිමිකම් හා දේශපාලනය සම්බන්ධ වැටහීමක් ඇති අයකු විය. ලලිත් කුමාර් අතුරුදන් කරන්නට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අංශ හු විවිධ අවස්ථාවල අධෛර්යයට පත්කරන්නට හා බියවද්දන්නට පියවර ගෙන තිබිනි.

පහත පළ කෙරෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සිදු වූ, එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවද එහුගේ අනුදැන්ම ඇතිව ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්දන් අතුරුදන් කිරීම කිරීම ආරක්ෂක අංශවලින් සිදුකළ බවට සනාථ කෙරෙන සිදුවීම් පෙළය.

  • 2011 මාර්තු 25 වැනිදා අතුරුදන් කරවූවන්ට යුක්තිය ඉටුකරන ලෙස මන්නාරම නගරයේ පෝස්ටර් අලවමින් සිටිය දී ලලිත් කුමාර් පැහැරගැනීමට ලක් විය. උතුරෙ පැහැරගත් අයගේ තොරතුරු හෙළිකරන ලෙස ආණ්ඩුවට බලකරමින් එම පෝස්ටරය අලවා තිබිණි. කළු රෙදිකඩකින් ඇස් බැඳ පැහැරගෙන ගිය පිරිසක් විසින් ඔහු යෙදී සිටින කටයුතුවලින් ඉවත් වී නිවසට යන ලෙස තර්ජනය කරන ලදී. පසුදින පේසාලේ හන්දිය ළඟ ඔහු දමා ගොස් තිබිණි.

  • 2011 අප්‍රේල් 10 වැනිදා වවුනියාවේ පෝස්ටර් අලවමින් සිටිය දී ලලිත් සහ තවත් සගයෙක් අත්අඩංගුවට ගන්නා ලදී. එම පෝස්ටර් ඇලවුණේ උතුරේ අතුරුදන් වූවන් නිදහස් කරන ලෙස ඉල්ලමිනි. පොලිසිය එම පෝස්ටර් ඉරා දමා ඔවුන්ට තර්ජනය කර තිබුණේ මින් පසු වවුනියාවේ පෝස්ටර් ඇලවුවොත් වෙඩිතබා මරා දමන බව කියමිනි.

  • 2011 ජූනි 23 වැනිදා ලලිත් කිලිනොච්චිය වෙත ගියේ ‘අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ විරෝධතාවක් සංවිධානය කිරීමටය. ඔහු සමඟ තවත් අයකු ඩිපෝ හන්දිය හමුදා කඳවුර අසල දී පැහැරගත් යුද හමුදා නිලධාරීහු, අත්හැර දැමූ අයිස්ක්‍රීම් කම්හලක රඳවාගෙන පැය 6ක් පමණ ප්‍රශ්න කළහ. එපමණක් නොව ඔහු නිදහස් කරන්නට පෙර හමුදා නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ඔහුගේ ඡුයාරූපයක් ද ගෙන තිබිණි.

  • 2011 නොවැම්බර් 14 වැනිදා යාපනය බස් නැවතුම ඉදිරිපිට දී ලලිත් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල විය. අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන් සම`ග විරෝධතාවක යෙදී සිටිය දී එවන් ප්‍රහාරයක් මහ දවාලේ එල්ල වන විට යුද හමුදාවේ හා පොලිසියේ නිලධාරීහු කිසිවක් නොකර බලා සිටියහ.

  • 2011 දෙසැම්බර් 9 වැනිදා ලලිත් හා කුගන් පැහැරගැනීමට ලක් වන්නට පෙරාතුව එනම් පෙරවරු 11ට පමණ ලලිත්ගේ පියාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණි. එහිදී කතා කළ පුද්ගලයා තර්ජනය කර ඇත්තේ පුතා වහාම යාපනයේ සිට නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. එසේ නොකළොත් තමන් විසින් එය කරන බව කතා කළ තැනැත්තා ලලිත්ගේ පියාට තර්ජනය කර තිබිණි.

  • ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වූයේ දෙසැම්බර් 09 වැනිදා සවස 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ සවස 5.00ට පමණය. ඔවුන් යාපනය බලා ගියේ පසු දින එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනයේ ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වීමට නියමිත වූ ජනමාධ්‍ය සාකච්ඡුාවක් සඳහා කටයුතු සූදානම් කිරීමටය.

  • කුගන්ගේ අසල්වැසියන් පවසන පරිදි ඔවුන් සවස 5.00ට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිය විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය පවසන කරුණු හා ගම්වැසියන් පවසන කරුණු අතර පැහැදිලි පරස්පරයක් තිබේ.

  • කුගන්ගේ බිරිය අච්චුවේලි පොලිසියට යද්දී මෙම යතුරු පැදිය දැක ඒ ගැන විමසා තිබේ. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි.

  • කෙසේ වෙතත් මෙම යතුරු පැදිය ගැන නිර්වේලි ගම්වැසියන් විසින් ෂන්මුගන් වඩිවේල් නමැති ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 9 වැනි දාමය. එහිදී ඇසින් දුටු සාක්ෂි ඇති බවත් ඒ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි. ඒ සාක්ෂිකරුවන් අධිකරණය වෙත පැමිණ සත්‍ය හෙළිකිරීමට මැලිවන්නේ බිය නිසාය.

  • ඇසින් දුටු බව කියන පිරිසක් හෙළිකරන කරුණු අනුව, යාපනේ සිට පේදුරුතුඩුව දෙසට දිවෙන මාර්ගයේ නිර්වේලිහිදී කුගන්ගේ යතුරු පැදිය නවතා ඇත්තේ යතුරු පැදි දෙකකින් හා වෑන් රියකින් පැමිණි පිරිසකි. එම ස්ථානයට කුගන්ගේ නිවසේ සිට ඇති දුර කිලෝමීටර් 5ක් පමණය. යතුරු පැදියක් හරස්කර ඇති නිසා කුගන්ගේ යතුරු පැදිය නවතා ඇති අතර වෑන් රියෙන් පැමිණි පිරිස ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන්ම වෑන් රියට නංවා ගෙන ඇත. කියැවෙන කරුණු අනුව මේ වෙලාව සවස 5.30 පමණ වන්නට පුළුවන.

  • 2011 දෙසැම්බර් 10 වැනිදා මෙම පුද්ගලයන් දෙදෙනා සෙවීමට ගිය ඥාතින්ට යාපනය පොලිසියෙන් දන්වා සිටියේ ලලිත් කුමාර් හෝ මුරුගානන්දන් පොලිස් භාරයේ නොමැති බවයි.

  • 2011 දෙසැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ලලිත් හා කුගන් පැහැරගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.

  • 2011 දෙසැම්බර් 15 වැනිදා ආණ්ඩුවේ ඇමැති මණ්ඩල ප්‍රකාශකයකු ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍යවේදීන් අමතමින් කීවේ මෙයයි. ‘‘ලලිත් කුමාර් සහ මුරුගානන්දන් මහත්වරු අතුරුදන් වෙලා නෙවෙයි. ඒ අය ඉන්නවා. ඒ අය නීති විරෝධී ලෙස රඳවා ගෙන නෙවෙයි. අද හෙටම පොලිසියෙන් හෝ හමුදාවෙන් හෝ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරලා නීත්‍යනුකූලව කටයුතු කරයි”

  • ලලිත් කුමාර් අතුරුදන් වී ඇති බවට ඔහුගේ පියා තමන් පදිංචි පොලිස් බල ප්‍රදේශය වන හංවැල්ල පොලිස් ස්ථානයට ගොස් සිදුකළ පැමිනිල්ල විභාගයට ගන්නට පවා නොහැකි ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ආමතයංශයේ ලේකම් ලෙස මෙම සිදුවීම හසුරුවමින් සිටියේය. පොලිසියට වූ බලපෑම කෙතරම්ද යන්න පැහැදිලි කරමින් එම පැමිණිල්ල විභාගයට ගැනීම පිනිස හංවැල්ල පොලිසිය ලලිත්ගේ නිවසට පැමිණියේ රාජපක්ෂ පාලනයත් අවසන්ව මාස ගණනකට පසුව එනම්, 2015 නොවැම්බර් මාසයේය.

  • ලලිත් හා කුහන් අතුරුදන්වී ඇතැයි පිලිගත නොහැකි බැවින් සහ හමුදා ඔත්තු සේවා තදින් ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සාමාජිකයන් බහුලව සිටින කලාපයකදී ඔවුන් දෙදෙනා පැහැරගෙන මාර්ග බාධක යොදා ඇති හමුදා සහ පොලිස් මුර කපොලු හරහා ගෙන යාමට නම් යමෙකුට ආරක්ෂක අවසරයක් තිබිය යුතු බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට වැටහෙන කාරණයකි. මේ නිසා අත්අඩංගුවේ සිටින පුද්ගලයන් හෝ සොයාගන්නට නොහැකි රැදවියන් ඉදිරිපත් කිරීමට භාවිතවන හබයාස්කෝපුස් පෙත්සමක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට යොමුකරන්නට ඒ දෙදෙනාගේ ඥතින් කටයුතු කර තිබිණි. 

  • එම පෙත්සම් විභාගයේදී කෙහෙළිය රමුක්වැල්ල හා ගෝටාභය රාජපක්ෂ සාක්සිකරුවන් ලෙස නම්කර තිබිණි. 2018 අවුරුද්ද දක්වා වෙනත් සාක්ෂි කැඳවා නඩුව සෙමෙන් ඉදිරියට යමින් තිබිණි. එහෙත් මෙම නඩුවේ ප්‍රදාන සාක්සිකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල අවස්ථා ගනනාවකදී අදිකරණය මගහැර ගිය අතර අවසානයේ ඔහු අ්අඩංගුවට ගෙන අදිකරණය හමුවට පමුණුවන ලෙස 2015 නොවැම්බර් 13 වැනිදා යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. නමුත් පොලිසිය එය කිසිදා ක්‍රියාවට නැංවූයේ නැත. 

  • කෙහෙළිය රඹුක්වැල්ල 2016 මැයි 13 අධිකරණයට පැමිණ ප්‍රකාශ කළේ ‘ලලිත් හා කුහන් දෙදෙනා අතුරුදන් වෙලා නෑ, ආරක්ෂක අංශ භාරයේ ඉන්නවා’ කියන ප්‍රකාශය කළේ එවකට ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු අනුව බවයි.

  • ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කැඳවා මේ ගැන විමසන ලෙස ඥාතින් අධිකරණයෙන් ඉල්ලා සිටි විට 2019 ජනවාරි 11 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්ව කරුණු දක්වන්න කියලා ගෝඨාභය රාජපක්ෂට දැනුම් දෙනු ලැබුවා.

  • ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙස දැන්වූ දිනය වුණේ 2019 මැයි 3 වැනිදා. එදින ඔහුගේ නීතිඥයන් අධිකරණයට පැමිණි ප්‍රකාශ කළේ පෞද්ගලික අපහසුතාවක් මත ඇති වූ හේතුවක් නිසා ගෝඨාභය රාජපක්ෂට අධිකරණයට පැමිණිය නොහැකි නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. 

  • ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයේ එකගතාව ඇතිව 2019 ජූනි 21 වැනිදා දිනය ලබාදුන්නත් එදින වෛද්‍ය වාර්තාවක් සමග නීතිඥයන් පැමිණ ප්‍රකාශ කළේ සාක්ෂිකරු අසනීපව විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට පැමිණීය නොහැකි බවයි.

  • තුන්වැනි වතාවට 2019 සැප්තැම්බර් 27 වැනිදා ගෝඨාභයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙස දින ලබා දුන් නමුත් නඩුවට දින 3කට පෙර එනම් 24 ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් කරමින් කරුණු දක්වා තිබුණේ ආරක්ෂක තත්වයක් සහ නිසා මෙම නඩු කටයුත්තට සම්බන්ධයක් නැති නිසාත් මෙම අධිකරණය හමුවේ පෙනී සිටීම අත්හිටුවන නියෝගයක් ලබා දෙන ලෙසයි.

  • අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු මෙම පෙත්සම් විභාගයට සහභාගි විය නොහැකි බව දක්වමින් විනිසුරු අසුනින් ඉවත්ව ගිය අතර ඉතිරිව සිටි ශ්‍රිපාල් විජේසුන්දර විනිසුරුවරිය තීන්දු කළේ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරු විසින් පෙන්වා දෙන කරුණු මත ඔක්තෝබර් 3 වැනිදා මෙම පෙත්සම විභාගයට ගැනීමටය. මෙම පෙත්සම සලකා බලන්නට ලලිත් හා කුහන් යන දෙදෙනා වෙනුවෙන් කිසිවකුට අභියාචනාධිකරණයට කැඳවිමක් නොකිරීමද විශේෂත්වයක් විය. එපමණක් නොව, ඒ දක්වා යාපනය අධිකරණයට ගෝඨාභය කැඳවීමට නොහැකි බවට ගෝඨාභය පාර්ශ්වයට පක්ෂපාති අතුරු තහනම් නියෝගයක්ද විනිසුරුවරිය විසින් නිකුත්කර තිබිණි.