தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ගෝඨාගේ පුරවැසි සහතිකයට මහින්ද තැබූ අත්සන නීත්‍යනුකූලයි - නීතිපති අධිකරණයට දන්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාගේ පුරවැසි සහතිකයට මහින්ද තැබූ අත්සන නීත්‍යනුකූලයි – නීතිපති අධිකරණයට දන්වයි



ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ පුරවැසි පනතේ විධි විධාන අනුව නිත්‍යනුකූල සිය ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (02) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කරනු ලැබ තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එය නීති විරෝධී බව ප්‍රකාශ කළේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සතු බව පවසන ද්විත්ව පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව ඔවුන්ගේ තර්කය විණි.

නමුත් වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයාට පැවරෙන බව සඳහන් කළ අතර අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව පවසා ඇත.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මෙසේ දැනුම්දුන්නේ ගෝඨාභය රාජපක්ෂ විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින්, ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.