தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
ගෝඨාභයගේ පළමු වසර - ආපසු හැරී බැලීමක්! (1 කොටස) | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභයගේ පළමු වසර – ආපසු හැරී බැලීමක්! (1 කොටස)



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් ඉකුත්ව තිබියදී අද(18) රාත්‍රී ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් විකාශය කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය සූදානම්ව සිටී. ඊට පෙරාතුව, මේ සටහන පළ කෙරෙන අවස්ථාවේ අවධානයට ලක් කිරීමට නොහැකි නමුත් ඒ ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා පසුගිය වසර සම්බන්ධ කරන සමාලෝචනය අදාළ කරගන්නට පුළුවන. කෙසේවෙතත්, ලංකාවේ ජනතාවගේ අරමුනු හා සමාජ අපේක්ෂාවන්ට සාපේක්ෂව පසුගිය වසර සම්බන්ධව සමාලෝචනයක් කළ යුතුව තිබේ. මේ ඒ සඳහා තබනු ලබන පළමුවැනි සටහනයි.

…………………… …………………… …………………… ……………………

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දී වසරක් ඉකුත්ව ඇති අද දින ඔහු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට සූදානම්වන බව ප්‍රචාරය වූයේ දින කිපයකට පෙරය. මේ වනවිට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකර ඇත්තේ රාත්‍රි 8.30ට ඒ ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරෙන බවය. ඇතැම් විට ගමේ ගොඩේ භාෂාවෙන් ‘ජාතිය අමතනවා’ යනුවෙන් හඳුන්වන්නේ බේබදු පියා විසින් නොසරුප් වදනින් කෑ කෝ ගැසීමට හා ගෙදර ඈයන්ට ආඩපාලි කීමටය. ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය නන්දසේන රාජපක්ෂ විසින් ‘ජාතිය’ ඇමතීම යනුවෙන් හඳුන්වනවා ඇත්තේ රාජ්‍ය නායකයා විසින් සිය ර‌ටේ ජනතාව ඇමතීමය. බොහෝ විට ගමේ ගොඩේ භාෂාවෙන් කියැවෙන ජාතිය ඇමතීමකට වඩා දෙයක් එහි තිබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන් ඒ සජීව විකාශයක් විය හැකි අතර කිහිප වරක් පුරුදු වූ කතාවක් නොවේ නම්, කල් තියා වීඩියෝ ගතකළ එකක් වන්නට ඉඩ තිබේ.

‘ගෝඨා’ගේ ජනාධිපති ධුරයේ අවුරුද්ද ගැන විවිධ සටහන් ලියැවී තිබෙනු දක්නට ලැබිණි. එහෙත් මේ කියන ජනාධිපති ධුරයේ අවුරුද්ද ගැන අප විසින් සටහන් කළ යුතු අත්‍යවශ්‍ය කරුණු ප්‍රමාණයක් ඇත.

අමෙරිකානු පුරවැසියා ජනාධිපති ධුරයට

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට ඉදිරිපත්වන බවට පූර්ව ප්‍රචාරයන් ගෙන ගියේ ඔහු නියෝජනය කළ දේශපාලන පක්ෂයකින් නොවේ. ඒ ප්‍රචාරයන් ගෙන ගියේ ඔහුගේ වැඩිමලු සොයුරු මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු පොදුජන පෙරමුණේ පසු පෙළ නායකයන් පිරිසක් විසිනි. එසේ වුවද මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධ කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි බවද අවසානයේ ජනාධිපති ධුරයට තරග කිරීමට වෙනත් අපේක්ෂකයකු නොමැති තැන ඒ අදහසට ඔහු එකඟ වූ බවද ප්‍රකට කාරණයකි.

විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභයට තරග කිරීමේ බාධාවක්ව පැවති අමෙරිකා එක්සත් ජනපද පුරවැසිකම අත්හැරීමට ඔහු ඉදිරිපත් වූයේ මැයි මාසයේදීය. ඊට හේතුව ජනාධිපති අපේක්ෂකත්වය හිමිවන බවට නිශ්චිත සහතිකයක් මහින්දගෙන් ලැබුණේ එම කාලයේ වීමය. ඒ කාලය සම්බන්ධ විශේෂත්වය වූයේ ‘අප්‍රේල් 21 අන්තවාදී ප්‍රහාරය’ සිදුවීමෙන් රටේ ආරක්ෂාවක් නැති බවට හා ගෝඨාභය වැනි පුද්ගලයකු නායකත්වයට පැමිණිය යුතු බවට මතයක් විපක්ෂය විසින් මාධ්‍ය මගින් නිර්මාණය කර තිබීමය. විශේෂයෙන් ඇතැම් භික්ෂුන් විසින් ‘හිට්ලර් කෙනෙකු වෙලා හරි මේ රටේ ආරක්ෂාව සලස්වන්න’ බඳු ප්‍රකාශ නිකුත් කිරීම මගින් ගෝඨාභයගේ ප්‍රතිරූපයක් උත්පාදනය කෙරිණි. බෞද්ධ භික්ෂුවක් දේශපාලනයේ වගකීමක් නොමැතිව හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටීම ආන්දෝලනාත්මක තත්වයක් වුවද අප්‍රේල් 21 ප්‍රහාරයේ සමාජ ප්‍රතිචාරයට එබඳු මැදිහත්වීම් එක් විය. අප්‍රේල් 21 ප්‍රහාරයේ විමර්ශන අවසන් නොමැති තත්වයක වුවද දේශපාලන ගණන් බැලීමක් කරන්නේ නම්, මනුෂ්‍ය ජීවිත සිය ගණනක් අහිමි කරමින් සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ හොඳම ජයග්‍රාහකයා ගෝඨාභය රාජපක්ෂ ලෙස හැඳින්විය හැකිය.

ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් උත්සවාකාරයෙන් හඳුන්වා දුන් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘ගෝඨාභය, රටහදන සෞභාග්‍යයේ දැක්ම’ නමින් ඔක්තෝබර් 25 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී එළි දැක්විණි.

පිටු 82 න් සමන්විත එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘ජාතික ආරක්ෂාව’ අංක එකට ගෙන ලියැවී තිබුණේ අප්‍රේල් 21 අන්තවාදී ප්‍රහාරයෙන් වික්ෂිප්ත වී තිබුනු ජන මනසට නිසි ගැලපීමක් ඇතිවය. ඊට අමතරව මෙරට මැතිවරණ ඉතිහාසයේ මෑත කියැවුණු ‘ජාතික ආර්ථිකය’ බඳු වාගාලාප සියල්ලක්ම එහි නොඅඩුව දක්නට ලැබුණු අතර ‘රට හදන’ ක්‍රියාවලියේදී දේශීය නිෂ්පාදන සංවර්ධනය කිරීමේ සිට නව කර්මාන්ත ඇති කිරීම, රැකියා උත්පාදනය වැනි සිහින රාශියක් ඒ ප්‍රතිපත්ති මාලාවේ තිබේ. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ විශාල ජනතා අවධානයක් දිනාගැනීමෙන් පෙනී ගිය කාරණය වූයේ 2015 සිට වසර 5ක කාලයක් රනිල්-මෛත්‍රි පාලනයේ ක්‍රියාවලියෙන් අපේක්ෂාභංගත්වයට පත් ජනතාවගේ ආකර්ෂණය ගෝඨාභය රාජපක්ෂ වෙත හිමිවන බවයි.

2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් නිශ්චිතව ලක්ෂ 69කට අධික ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගෙන ජයග්‍රහණය සටහන් කළ ජනාධිපති ගෝඨාභයගේ දිවරුම් දීමේ කටයුත්ත සංවිධානය කර තිබුණේ 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි ස්ථුපය ඉදිරියේය. එදිනම ඔහු සිය ධුරයේ රාජකාරි භාරගත් බව වාර්තා විය.

ජනාධිපතිවරයාගේ වැඩ ආරම්භ කිරීමේ නිශ්චිත අවධානය දිනාගත් කාරණයක් වූයේ රජයේ කාර්යාල තුළ නව ජනාධිපතිවරයා ලෙස තමන්ගේ සේයා රූ එල්ලීමෙන් වළකින ලෙස කළ නියෝගයයි. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකරන ලෙසද ඉල්ලා සිටි අතර පසුව මෙම අදහස වැරදි ලෙස අවධාරනය කරගත් පිරිස් විසින් මාවත් නම්කරන පුවරුවලද රාජ්‍ය ලාංඡනය සවිකළ අවස්ථා දක්නට ලැබිණි. ජනාධිපති කාර්යාල සේවක ගණනද අවම කිරීමට පියවර ගත් බව වාර්තා විය. පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණෙන විට පරිවාර නැතිව සිය නිල රථයේ පැමිණෙන ඡායාරූපද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනමාධ්‍ය වෙත යවන ලදී. එපමණක් නොව, ඥාති සංග්‍රහ නැති බවත් රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමද විනයක් ඇති රටක් බිහිකරන බවට කළ ප්‍රකාශයන්ද අවධානයට ලක් විය. ඇත්ත වශයෙන්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා වැඩ භාරගත් පසුවද මෙවැනි ප්‍රචාරක අරුතින් සිදුකළ පියවර තැබීම් විය. වැදගත් වන්නේ වඩාත් ප්‍රායෝගික වශයෙන් රාජ්‍ය නායකයාගේ ප්‍රතිපත්ති ජනතාවගේ යහපත වෙනුවෙන් බලපැවැත්වීම බව අවිවාදාත්මකය.

සංවර්ධන දැක්මේ ඇත්ත කතාව

ගෝඨාභය රාජපක්ෂ තමන්ටම සුවිශේෂ සංවර්ධන දැක්මක් ඇත්තකු බවට ජනාධිපතිවරණ සමයේ විද්වතුන් ලෙස පක්ෂපාතිව කරුණු දැක්වූ ‘වියත්මග’, ‘එළිය’ වැනි සංවිධානවල නියෝජිතයෝ ප්‍රකාශ කළහ. ජනාධිපතිවරයා විසින් සිය පාලනයේ විවිධ වගකීම්වලට ඒ ප්‍රකාශකයන් පත්කරන ලද අතර එයින් ඇතැමුන් 2020 අගෝස්තු 5 මහමැතිවරණයේදී පොදුජන පෙරමුනේ අපේක්ෂකයන් ලෙස නාමයෝජනා ලැබූ බවද දක්නට ලැබිණි.

ජනාධිපතිවරයාගේ ‘වැඩ කලාව’ වඩාත් අවධානයට ලක් වූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ‘හදිසියේ කළ’ බවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළ කඩාපැනීමය. එම ආයතනයේ කටයුතුවලට දින ගණන් රස්තියාදුවන ජනයාගේ පහසුව පිණිස විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආයතන කාර්ය මණ්ඩලයට තරවටු ස්වරයෙන් නියෝග කරනු ලැබිණි. ඉන්පසුව නිවාස අධිකාරිය වෙතද එවැනිම කඩා පැනීමක් කළ ජනාධිපතිවරයා මෙසේ ජනතාව අතර ‘වැඩ කරන’ නායකයෙක් ලෙස මාධ්‍ය හරහා හඳුන්වා දෙනු ලැබිනි. ‘වැඩකරන අපේ විරුවා’ ලෙස ජනාධිපතිවරණයේ සිට ගෙන ආ ප්‍රචාරක ව්‍යාපාරයට ගීත පවා නිර්මාණය කෙරිණි. ජනාධිපතිවරයා ඉන් අනතුරුව අලි මිනිස් ගැටුමින් පීඩාවට පත් වූ නිවෙස්වලට යමින් මානුෂික නායකයකු ලෙස අවධානය දිනා ගත්තේය.

මෙම සිදුවීම් අප සිහිපත් කරන්නේ හුදෙක්ම වසරක් තුළ ජනාධිපතිවරයාගේ ‘ප්‍රගති වාර්තාව’ පරික්ෂා කිරීමේ අරමුණින් නොවේ. ඉතිහාසය පුරාම දේශපාලන නායකයන් මෙවැනි ‘ජිමික්’ මගින් ජනතා විශ්වාසය තරකර ගන්නා නමුත් සත්‍ය වශයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාදාමය ඒ පෙන්වන දේශපාලන විජ්ජාවන්ට ඇති දුර අහසට පොළොව මෙන් බවය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අරභයා අපගේ නිගමනය ප්‍රකාශ කිරීමට මේ අවුරුද්දක කාල සීමාව ප්‍රමාණවත් නමුත් ආණ්ඩුවේ ඇතැමුන් පවසන්නේ ‘කොරෝනා වසංගතය’ නිසා කිසිවක් කරගන්න නොහැකි වූ බවය.

පසුගිය දිනවල ජනාධිපතිවරයා ‘ලංකාගම’ වෙත ගියේ ‘ලෝක උරුමයක්’ ලෙස නම්කර ඇති සිංහරාජ ජාතික වනෝද්‍යානය හරහා ඉදි කෙරෙන මහාමාර්ගයක් නිසා පාරිසරික විනාශයක් සිදුවන බවට විරෝධතා මතුවීමත් සමගය. ලංකාවේ මහාමාර්ග ඉදිකිරීමේ විද්‍යාත්මක හා ශිල්පීය දැනුම සහිත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නොව, යුද හමුදාව යොදවා එම මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘සංවර්ධන දැක්ම’ මනා ලෙස අනාවරණය කරන්නක් විය. විරෝධතා මැද ඒ මාර්ගය නිරීක්ෂනය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා දුන් නියෝගයද ඊට තවත් සාක්ෂියක් විය.

ජනාධිපතිවරයා කියා සිටියේ මාස 3ක් තුළ මාර්ගය සාදා නිම කළ යුතු බවය. එහිදී මෙම මාර්ග සංවර්ධනයෙන් පාරිසරික විනාශය සම්බන්ධ ඇගැයුම් වාර්තාවක් නොමැති බවටත්, සිංහරාජ වනයට එල්ලවන පාරිසරික තර්ජන පිළිබඳවවත් සලකා බැලුවේ නැත. යුද හමුදාව යොදා මාර්ග ඉදිකිරීමක් සිදුකරන්නේ යුද්ධයකදීය. මාර්ග ඉදිකිරීම් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය භාවිත නොකර හමුදා භටයන් මැදිහත් කරවන්නේ මිලිටරිවාදී ක්‍රියාදාමයක කොටසක් ලෙස බව ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය. කෙසේවෙතත් යුද හමුදාව ඉදි කළ මාර්ගයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු මතු කරමින් පසුගිය වැසි දිනවල ඒ මාර්ගයේ සේදී ගිය තත්වය අනාවරණය කෙරෙන ඡායාරූප මාධ්‍ය අවධානයට ලක් විය.

ඔහු විසින් විවිධ තනතුරු සඳහා පත් කළ විශ්‍රාමික හමුදා නිලධාරින් සංඛ්‍යාව තිස් ගණනක් වන අතර එයින් ප්‍රධාන වශයෙන් වසංගතය වැළැක්වීමේ ක්‍රියාවලියට යුද හමුදාපතිවරයා පත් කිරීමද අයත්ය. සෞඛ්‍ය ආපදාවකදී ආරක්ෂක හමුදා සහභාගි කරගැනීම අවශය වන නමුත් වසංගත රෝග වැළැක්වීමේ දැනුම හා ශිල්පීය ප්‍රමුඛතා ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිවීනයන් සිටියදී හමුදාපතිවරයා පත් කිරීම විවේචනයට ලක් විය. විශේෂයෙන්ම හමුදාපතිවරයා යුද සමයේ සිටම ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂට භක්තිමත්ව පක්ෂපාතිව සිටි නිලධාරියකු ලෙස හඳුන්වා දෙන ලද අයෙකි.

ජාතික ආරක්ෂාව හා චීන අමෙරිකානු බල අරගලයට හසු කිරීම

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සම්බන්ධයෙන්ද ඇත්තේ විවාද සහගත වර්ධනයකි. මේ වනවිට ලෝක බලවතුන් ලෙස ඒක්සත් ජනපදය හා චීනය ඉන්දියානු සාගර කලාපයේ බලය සම්බන්ධව තරගයක නියැලී සිටින අතර ලංකාවේ ආරක්ෂාව එම බල අරගලයේ කේන්ද්‍රයක් වීමේ තත්වයක් වර්ධනය වී ඇත. එහිදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීනය, යුද අවි මිලදී ගැනීමේදී සම්බන්ධ කරගැනීමෙන් ආරම්භ වී ආර්ථිකයට මැදිහත් කරගැනීමේ ස්වභාවය අවධානයට ලක් වේ. කලක් නොබැඳි පිළිවෙතක් ගෙන ගිය රාජ්‍යයක් ලෙස ලංකාවේ පැවති තත්වය වෙනස් කිරීමේදී ඉතිහාස ක්‍රියාවලියක් ඇත. විශේෂයෙන්ම 1977 බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන අමෙරිකානු ගැත්තකු ලෙස ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අනතුරට හෙළීමෙන් සිදු කළ වරද නිසා ජාතික ගැටලුවට අදාළව අභ්‍යන්තර දේශපාලනයේදී ඉන්දිය ඔත්තු සේවා මැදිහත්වීමෙන් මෙරට වර්ධනය වූ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය පසු කාලයක මෙරට යුද්ධයක් දක්වා වර්ධනය වූ බවට චෝදනා නැගුණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ චීනය අවි සැපයුම්කරුවක් ලෙස මැදිහත් වූයේම ඒක්සත් ජනපදයේ මැදිහත්වීමට තරගකාරී ලෙසය. 2007 ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් ACSA ගිවිසුම අත්සන් කරමින් අමෙරිකානු යුද ක්‍රියාවලියේදී සැපයුම් වගකීමක් භාර ගෙන තිබිණි. නමුත් උතුරේ යුද්ධය තුළ අමෙරිකානු සහාය හිමි නොවීමෙන් චීනයට අවස්ථාව උදා වූ අතර මිලිටරි සහායකයකු ලෙස පැමිණි චීන මිත්‍රත්වය පශ්චාත් යුද සමයේ යටිතල පහසුකම් වර්ධන ණය ව්‍යාපෘති සඳහා යොමු විය. වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, අධිවේගි මාර්ග ආදී අධික වටිනාකමින් යූ ආයෝජන ව්‍යාපෘති හරහා ලංකාවේ ආර්ථිකය චීනයේ ණය උගුලට සිර කරවූයේ මහින්ද රාජපක්ෂ පාලනයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ක්‍රියාදාමයේ කොටස්කරුවකුව සිටියේය. පසුව චීනයට එරෙහි බලයක් වෙනුවෙන් ඉන්දියාව මැදිහත් කරවිමින් අමෙරිකා එක්සත් ජනපදය ඉදිරියට පැමිණියේය. රාජපක්ෂ පාලනය 2015දී පෙරලා දැමීමේදී විපක්ෂයට දේශපාලන සහාය මෙන්ම අරමුදල් සැපයීමේ අන්තය දක්වා එය වර්ධනය විය.

නමුත් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමේ සිට මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමේ මහමැතිවරණය දක්වා එක්සත් ජනපදයේ මැදිහත්වීම සතුරු ආකාරයකින් අනාවරණය නොවන පසුබිමක MCC ගිවිසුම හා SOFA ගිවිසුම සඳහා එක්සත් ජනපදයේ යෝජනා ඉදිරිපත්ව තිබේ.
චීනයේ කලාපීය බල ව්‍යාපෘතියට අභියෝග කරමින් ජපානය, ඉන්දියාව, ඔ්ස්ට්‍රේලියාව සහාය කරගෙන අමෙරිකානු බල ව්‍යාපෘතිය ලංකාව වෙත පැමිණ තිබේ. ඉන්දිය සාගරයේ නිදහස් හා විවෘත අවකාශයක් වෙනුවෙන් Indo-Pacific ක්‍රියාදාමය මේ වනවිටත් ක්‍රියාත්මකව තිබේ. ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලයිනා බී ස්ටිප්ලිට්ස් එහිදී ක්‍රියාකාරි කාර්යභාරයක් ඉටු කරන ලදී,

(තවත් කොටසක් බලාපොරොත්තු වන්න)