தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ගෝඨාභය කිසිදාක සමාව ඉල්ලන්නෙ නෑ ! - අහිම්සා වික්‍රමතුංග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය කිසිදාක සමාව ඉල්ලන්නෙ නෑ ! – අහිම්සා වික්‍රමතුංග



2009 ජනවාරි 8 වැනිදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමෙන් අදට(8) වසර 11ක් ගෙවී ගොස්ය. එම ඝාතනය සම්බන්ධයෙන් එවකට ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම දැරූ රාජපක්ෂ සහෝදරවරු කිසිදාක සමාව ඉල්ලා නොසිටිනු ඇති බව ප්‍රසිද්ධියේ කියමින් අභියෝගයක් කළේ ලසන්තගේ දියණියයි.

වඩා බරපතළ කාරණය නම්, පසුගිය වසර 11 පුරාම ලසන්තගේ ඝාතකයෝ අප අතර නිදැල්ලේ සැරි සරමින් සිටින බවයි. ‘සන්ඩේ ලීඩර්’ සති අන්ත ඉංග්‍රිසි පුවත්පත ආරම්භකර වසර 14ක් පුරා දූෂිත පාලකයන් හා රාජ්‍ය ආයතනවල ගනුදෙනු අනාවරණය කරමින් ඔහු දේශපාලන අධිකාරියට අභියෝග කරමින් සිටියේය. ඔහුගේ මරණය සිදුවූයේ අධි ආරක්ෂක කලාපයක යුද හමුදා මුරපොළ සහ ආරක්ෂක ඔත්තුකාරයන් නිතර ගැවසෙන මාර්ගයක බව රහසක් නොවේ. එම ඝාතනයේ චෝදනා එල්ල වූයේද හමුදා ඔත්තුකරුවන් කණ්ඩායමකටය. කෙසේවෙතත් අද දක්වා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවූ අතර සාක්ෂි නිසි පරිදි අනාවරණය කරමින් යුක්තිය ඉටු කිරීම වෙනුවට සාක්ෂි විනාශ කරමින් නඩු කටයුතු ඇද ගෙන යාමක් විමර්ශන තුළ සිදු විය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමෙන් පසුව සන්ඩේ ලීඩර් පුවත්පත ඔහු ලියූ බව කියන අවසන් කතුවැකියක් පළ කළ අතර එයින් කියැවුණේ එම මරණයට ආණඩ්ුවේ බලදාරින් ඍජුව වගකිවයුතු බවය. ඒ වනවිට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ රටේ විධායක ජනාධිපති, ආරක්ෂක ඇමති හා සේනාධිනායකයා විය. ඔහු යටතේ ආරක්ෂක අමාත්‍යංශය මෙහෙයවමින් සිටියේ අන් කිසිවකු නොව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. එවකට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්, පැහැරගැනීම් හා ඝාතනය කිරීම් සිදුවන පසුබිමක් පැවති අතර යුදමය පසුබිමක උග්‍ර ආරක්ෂක විධිවිධාන පැවති කලාපයක ලසන්ත ඝාතනය කෙරුණේ කලබලකාරී නාගරික පරිසරයකට ආසන්නව, ගුවන් හමුදා කඳවුරක් අසළින් දිවෙන මාර්ගයකදීය. යතුරු පැදිවලින් පැමිණි ඝාතකයෝ ලසන්ත පදවාගෙන ගිය මෝටර් රථයේ ඉදිරිපසට වෙඩි තැබූ බවත් රථය නතර කළ පසුව ඔහු වෙත පැමිණ තියුණු ආයුධවලින් ඔහුගේ හිස සිදුරු කළ බවත් පසුව අනාවරණය විය.

අද දක්වාම මේ සම්බන්ධ සැකකරුවන් අනාවරණය කරගන්නට ලංකාවේ ආරක්ෂක අංශවලට අවස්ථාවක් ලැබී නැත. ඇතැම් අපරාධ, මංකොල්කෑම් හා ඝාතන සම්බන්ධ සැකකරුවන් පැය 24ක් තුළ කොටුකර ගන්නට තරම් සමත් ආරක්ෂක අංශ අසමත්වන්නේ ලසන්ත ඝාතනයේදී පමණක් නොවේ. ඊට සාන්තරව රාජපක්ෂ පාලනයට ඇඟිල්ල දිගුවන ක්‍රීඩක වසිම් තජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට හා උපාලි තොන්නකෝන්ට පහරදීම වැනි සියලු අපරාධවලදී ආරක්ෂක අංශ අසමත්වීමේ හේතු පැහැදිලිය. ප්‍රකට කියැවෙන සත්‍ය නම් කිසියම් අපරාධයක් ලංකාවේ ආරක්ෂක අංශවලට හෙළිකරගත නොහැක්කේ එක්කෝ එම අපරාධය හෙලි කිරීමේ අවශ්‍යතාවක් නැතිකම නිසාය, නැතිනම් අවසරයක් නැතිකම නිසාය.

ඒ තත්වය යටතේ ලසන්ත ඝාතනය සම්බන්ධ ආරක්ෂක ඔත්තුකරුවන් පිරිසකට චෝදනා එල්ල වූ අතර ගෝඨාභය රාජපක්ෂගේ වගකීමද ප්‍රසිද්ධියේ කතාබහට ලක් විය. වත්මන් ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප නොකළ නමුත් මින් පෙර ඔහු ඒ සම්බන්ධව තමන්ට වගකීමක් නොමැති බව පවසා ඇත. එසේ වුවද 2005-2014 කාලය තුළ රටේ ආරක්ෂාව භාර අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිට හෝ එවකට ආරක්ෂක ඇමත්‍යංශයේ ලේකම්ව සිටි ගෝඨාභය වත්මන් ජනාධිපතිට ලසන්ත ඝාතනය සම්බන්ධ යුක්තිය ඉටු කිරීමට වසර 11ක් තිස්සේ අසමත්වීමේ හේතුව නිසාම එම ඝාතනය සම්බන්ධව සිය වගකීමෙන් පළා යා නොහැකිය. එකී වසර 11න් වසර 5ක්ම එසේ වගකීමක් භාර නොගන්නා ලිස්සා යාමේ දේශපාලනයක ඔවුන් දෙදෙනාම සිටියේ සිය බලය අනභියෝගී බව කල්පනා කළ නිසා විය යුතුය. 2015 ජනවාරි 8 වැනිදා, එනම් ලසන්ත ඝාතනයෙන් වසර 6ක් ගෙවුනු දින දෛවෝපගත ලෙස එකී කල්පනාව සුණු විසුණු කෙරිණි. පරාජයට පත් රාජපක්ෂ සොහොයුරෝ, තවත් වසර පහක් තිස්සේ ලසන්තගේ බිහිසුනු ඉරණම සම්බන්ධ සිය වගකීම ප්‍රතික්ෂේප කරමින් සිය පන්ති සගයා ලෙස එවකට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ පාලනය කිසිදාක එම අපරාධය අනාවරණය කිරිමේ වගකීම ඉටු නොකරන බව කල්පනා කරමින් සිටියහ.

දැන් ඔවුන්ට සිය වගකීම මගහැර යා නොහැකිය. කිසිසේත්ම එය කළ නොහැකිය. 2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයට පෙර ලසන්තගේ දියණිය අහිම්සා වික්‍රමතුංග පැවති ආණ්ඩුවේ නායකත්වයට ඍජුවම චෝදනා කළේ සිය පියාගේ ඝාතනය ඡන්ද ගොඩගසාගන්නා තුරුම්පුවක් ලෙස පාවිච්චි කළ බවය. ඇය, එවකට අගමැති රනිල් වික්‍රමසිංහට විවෘත ලිපියක් ලියමින් ඇය කීවේ ආරක්ෂක අංශවල අනුදැනුම ඇතිව සිදුකළ එම කෘර ඝාතනයට වගකීම භාරගත යුතු එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියා ලෙස ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇති බැවින් ඔහුව පරාජය කිරීමට කටයුතු කරන ලෙසය. රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරමින් සිටන බව චෝදනා කළ ඇය, කීවේ ඔහු ජනාධිපති වුවහොත් කිසිදාක එම අපරාධය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගන්නට නොහැකි වනු ඇති බවය. සිය පියාගේඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂවරු මේ දක්වාම සමාව ඉල්ලා නොසිටි බව පෙන්වා දෙමින් ඇය කීවේ ඔහු ඒ සම්බන්ධව ඉදිරියටද කිසිවක් නොකරනු ඇති බවය.