தமிழ்
English
Contact
Saturday 25th May 2019    
ගෝඨාභය: පාතාල මර්දනයට සම්ප්‍රදායික ක්‍රම ගැලපෙන්නේ නැත! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය: පාතාල මර්දනයට සම්ප්‍රදායික ක්‍රම ගැලපෙන්නේ නැත!



යම් රටක ආරක්ෂක අමාත්‍යංශය යනුවෙන් හදුන්වන්නේ එම රටේ ජන සමාජය ආරක්ෂා කිරීම එනම් හුදෙක් භූමිය පමණක් නොව ජනයාද ආරක්ෂා කරන අමාත්‍යංශයයි. එසේ වුවද අපේ රටේ අත්දැකීම අනුව ආරක්ෂක අමාත්‍යංශයේ මිනිමරුවන් රජ කළ කාලයක් තිබුණු බව අනාවරණය වූයේ අද ඊයේ නොවේ.

මේ කරුණ බොහෝ දෙනා පිළිගන්නා සත්‍යයක් වුවද ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින්ම මේ බව අනාවරණය කිරීම විශේෂයෙන් අවධානයට ගත යුතුව ඇත. පසුගිය දිනක ඩේලි මිරර් පුවත්පත ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් කාලයක් යුද හමුදාවේ නිලයක් ද දැරූ මහින්ද රාජපක්ෂ ජනාධිපති ආරක්ෂක ඇමති සමයේ එම අමාත්‍යංශ ලේකම් ලෙස පත් කෙරුණු ඔහු පුවත්පතට පවසා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුලු ජනමාධ්‍යවේදින්ගේ ජීවිත සමග සෙල්ලම් කළ මිනිමරුවන් ගැන තමන් දැන සිටි බවයි. ඔහු මේ ආකාරයෙන් අපරාධකරුවන් පිස්සු බල්ලන් සේ ජනමාධ්‍ය මර්දනයක යෙදී සිටි සමයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස ‘බකං නිලාගෙන’ සිටි බව කියන්නේ පළමුවැනි වතාවටය. මින් පෙරාතුව ගෝඨාභය සිය අත්වල ලේ තැවරී ඇති බව ඉගිකරමින් පුරසාරම් කීවේ අද ඊයේ නොවේ. දේශපාලන ක්‍රියාකාරිකයකු වන කුමාර් ගුණරත්නම් 2012 අප්‍රේල් මස 7 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩදී පැහැරගෙන ගොස් දින ගණනක් රදවා තබාගැනීම තම අනුදැනුම යටතේ ‘ආරක්ෂක අංශවල ඒකාබද්ධ මෙහෙයුමකින්’ සිදුකළ බවට ඔහු  ‘සත්හඩ’ පුවත්පතට කළ ප්‍රකාශයක්ද ආන්දෝලනයට ලක් වුවද ඔහු පවසන කරුණු මෙරට අපරාධ හා ඍජු ලෙස සම්බන්ධ  වුවද පොලිසිය ඒ පිළිබද කිසිදු පියවරක් ගත්තේ නැත. වර්තමාන ජුගුප්සාජනක ජනාධිපති හා ගේම්කාර අගමැති ඒ ප්‍රකාශ සම්බන්ධ ‘බට කලියාගෙන’ සිටියා මිස වගකිව යුතු නායකයන් ලෙස ක්‍රියා කළේ නැත. ගෝඨාභය විසින් අපරාධමය සිදුවීම් පිළිබද පුවත්පත්වලට පවසන කාරණා අනුව එම සිදුවීම් සම්බන්ධ පරික්ෂන කළයුතු බවට පොලිස් මූලස්ථානයට කළ පැමිණිලි නිශ්පල විය. 

දැන් ගෝඨාභය වත්මන් පාලනය යටතේ අපරාධ මර්දනය කිරීම සම්බන්ධයෙන් උපදෙස් දෙමින් සිටී. ඔහු කළ අලුත්ම ප්‍රකාශය අද(14) දින ලංකාදීපයට ලියා ඇති තීරු ලිපියක සටහන් වේ.  මේ තීරු ලිපිය ලියන්නේ ගෝඨාභය රාජපක්ෂමද නැද්ද යන්න නොතකා එහි අඩංගුව ඔහුගේ අදහස් බවට සැක නැත. ඔහු පවසන්නේ පාතාල මර්දනය සම්බන්ධව තමන් ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය සම්බන්ධ බිහිසුණු කාරණයකි. පාතාල සාමාජිකයන් එක පිට එක ඝාතනය කෙරුණු සමයක, යුද්ධමය පරිසරය තුළ හා ගෝඨාභය-මහින්ද භීෂණයේ භීතිය තුළ එවැන්නක් ප්‍රශ්න කිරීමට ධෛර්යයක් පොදු සමාජය තුළ දක්නට නොවීය. පළමුව, අපි ගෝඨාභය අපරාධකාරි පාතාලය මර්දනය කිරීමේ සිය අත්දැකීම් ගැන කරන සදහන කියවමු.

 ” ආරක්‍ෂක අංශ පාතාලය සහ කුඩු ජාවාරම්කාරයන් පසුපස පැන්නූ කාලයක් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාතාලය සහ කුඩු ජාවාරමේ අඩුවීමක් පෙන්නුම් කළේය. මෙයට උරදී ක්‍රියා කළේ පොලිසිය, බුද්ධි අංශ හෝ ආරක්‍ෂක අංශය.” 

හොදින් අවධානයට ගත යුතු කරුණ නම් ගෝඨාභය මේ කියන්නේ තමන් රට භීෂණයක පවත්වාගෙන ගිය සමයේ පාතාල සාමාජිකයන් අඩු කිරීමට ගත් පියවර ගැනය. මාංචු පිටින් අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිස් ගණනක් ආයුද පෙන්වීමට රැගෙන යනවිට එක්කෝ ගිනිඅවිය පැහැරගෙන පළා යාමට තැත් කළ බවටත් නැතිනම් බෝම්බයක් දමා ගැසු බවටත් කියමින් ඝාතනයට ලක් වූයේ ඒ භීම සමයේදීය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් මේවා එක් පිට එක සිදුවන විට මේ රටේ නීතිය බල්ලට ගිය වගත් ආරක්ෂක බුද්ධි අංශ විරුද්ධ අදහස් දක්වනවුන් දඩයම් කළ බවත් රහසක් නොවේ. 

ඒනිසා ගෝඨාභය අපරාධ මර්දනය ගැන පුවත්පතක තීරු ලිපියකින් හුවා දක්වන උපදේශයන් අසා ඇග සීතලවන්නේ නැද්ද යන්න ඒ භීම සමයේ ජීවත්වූවන්ගෙන් ඇසිය යුතුව ඇත. එකී භීෂණයේ එක්තරා ගොදුරක්ව අහම්බෙන් ජීවිතය රැකුණු අතලොස්සක් අතර මේ ලියන ලියුම්කරුද සිටින නිසා එහි එක් පැතිකඩක් අනාවරණය නොකර මේ සටහන ඉදිරියට ගෙන යාම අඩුවකි. 2010 ජනවාරි ජනාධිපතිවරණය සමය යනු බිහිසුණු අත්දැකීම් එක් කළ සමයකිත ජනවාරි 24 වැනිදා සහෝදර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරණ ලදී. ඔහු පැහැරගෙන යන ලද්දේ යුද හමුදා කදවුරකට බවද ආරක්ෂක බුද්ධි අංශ සාමාජිකයන් ඊට සම්බන්ධ බවට සාක්ෂි ලැබී ඇති බවත් ප්‍රසිද්ධ රහසකි. ජනාධිපතිවරණය ජයගත් පසුව මහින්ද රාජපක්ෂගේ බලයට අභියෝග කළ ජනමාධ්‍යවේදින්ට හා දේශපාලන ක්‍රියාකාරින්ට ජීවිත තර්ජන එල්ල විය.

ජනවාරි 28 වැනිදා ලියුම්කරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් දින 16 ක් තිස්සේ හතරවැනි තට්ටුවේ කූඩුකර තබා ගැණුනු අතර මා ප්‍රධාන කර්තෘ ධුරය දැරූ ‘ලංකා’ පුවත්පතේ ලිපි 19ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඒවා ලියූ ලේඛකයන් හා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරින් උත්සාහ කළේ ඉහළ නිලධාරින්ට සම්පූර්ණ තොරතුරු සහිත වාර්තාවක් සැපයීමට තමන් රාජකාරි වශයෙන් බැදී සිටින බවට මා වෙත නිදහසට තරුණුද පවසමිනි. එහිදී ඔවුන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අන් ලේඛකයන් චෝදනාවලට සම්බන්ධ නොකරමින් ඒවා ලියුවේ මා විසින් බව කරුණු දැක්වීමෙන් පසුව රාජපක්ෂ පාලනයේ භීෂණයට විරුද්ධව කරුණු සහිතව ලියූ මාධ්‍යවේදින් එකවැලට දඩයම් කිරීමේ අරමුණ ඉටු නොවීය.  වඩාත් වැදගත් කාරණය එය නොවේ.

හතරවැනි තට්ටුවේ රදවා සිටි ඇතැම් දිනවල පුවත්පත් කාර්යාලයට හා මුද්‍රණාලයට ලියුම්කරු ගෙන යමින් තොරතුරු එක්රැස් කරන්නට නිලධාරින් කටයුතු කරණ ලදී. එවැනි අවස්ථාවල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි ‘මහලේකම් ගොඩනැගිල්ලේ’ බිම් මාලයට මා කැදවාගෙන එන අවස්ථාවල හිටි හැටියේ විදුලි සෝපානයෙන් මා ඉවතට ගෙන ඉක්මනින්ම පියගැට පෙළට කැදවාගෙන යනු ලැබිණි. තවත් අවස්ථාවල විදුලි සෝපානය ක්‍රියාත්මක වන විට එයින් පැමිණෙන ඉහළ නිලධාරින් වෙතින් මා පිළිබද අවධානය ඉවත් කිරීමටත් ඇතැම් නිලධාරින් කටයුතු කරන අයුරු මට විශේෂ අත්දැකීමක් විය. කෙසේ වුවද ලියුම්කරුට එරෙහිව ‘රාජපක්ෂ පවුලට සතුරුකම් කරන’, විදේශ අරමුදල් ගෙන ක්‍රියාත්මකවන යනාදී කිසිදු චෝදනාවක් ඔප්පු කරගන්නට නොහැකි වීමෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මා නිදහස් කරන්නට සිදු විය.

එසේ මා නොපෙන්වා ආවරණය කළේ කාගෙන්දැයි ඔබ කුතුහලයට පත්වනු ඇත. ඒ අවස්ථාවල ඔවුන් අතර හුවමාරු වූ වචනයක් වූයේ ‘ඩී.අයි.ජී එනවා’ යන්නය. මේ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා ‘අනුර සේනානායක’ බව මම දැන සිටියෙමි. එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය හා සමීපව කොළඹ භාර ඉහළම පොලිස් නිලධාරියා වූයේ අනුර සේනානායකය. ඔහු දැන් අපරාධ චෝදනා යටතේ සිරගතව සිටින අතර රාජපක්ෂ භීෂණයට මග පෑදූ තවත් ආරක්ෂක නිලධාරින් නිදැල්ලේ සිටින බවද ප්‍රසිද්ධ රහසකි. ඒ නිසා ගෝඨාභය මේ කියන උපදෙස් ජනතාව තදින්ම අවධානයට ගත යුතුවන අතර එම උපදෙස් අනුව වත්මන් ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන්නේද යන්න ගැන සහ රාජපක්ෂ පාලනයට සමාන අපරාධකරුවන් යුක්ති සහගත විනිශ්චයකට කැදවනවා වෙනුවට තිරිසන් ලෙස දඩයම් කරන අවස්ථා ගැනද අවධානය යොමු කළ යුතුව ඇත. 

විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක් නම් රටේ විවිධ ස්ථානවල නීති විරෝධී රැදවුම් ස්ථාන හා රහසිගත වධකාගාර ක්‍රියාත්මක වූ බවත් ඒවා විශේෂයෙන් පුහුණුකළ වධකයන් විසින් පවත්වාගෙන ගිය බවත්ය. මෙම වධකාගාර සම්බන්ධ විවිධ ආරංචි රාජපක්ෂ භීෂණය යටතේ කණින් කණ ඉගිලි ගියද ඒවා සත්‍ය යැයි කිව හැකි කිසිදු සාක්ෂ්‍යයක් එවකට අප සතුව නොතිබිණි. එහෙත් ඒවා ඇත්ත වශයෙන්ම පවතින බවට තොරතුරු අනාවරණය වන්නට පටන් ගත්තේ කුමාර් ගුණරත්නම් පැහැරගෙන ගොස් රදවනු ලැබූ ස්ථානය සම්බන්ධව ඔහු ජීවිතය ගලවාගෙන පැමිණි අවස්ථාවේ හෙළිකළ කරුණු අනුවය. ඉන්පසුව ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධව කළ විමර්ශනවලදී ගිරිතලේ හමුදා කදවුර හා සම්බන්ධ වධකාගාරයක් ගැන කරුනු අනාවරණය විය. එසේම කොළඹදී නාවික හමුදා නිලධාරින් විසින් කප්පම් ගැනීමට පුද්ගලයන් 11 දෙනකු පැහැරනෙ ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනවලදී ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර ආශ්‍රිත ‘ගන්සයිට්’ භූගත වධකාගාරය ගැන අනාවරණය විය. එසේම මරාදැමූවන්ගේ මළසිරුරු ගුවනින් රැගෙන ගොස් විශාල කොන්ක්‍රිට් කැටවල ගැටගසා ගැඹුරු මුහුදේ ගිල්වා දැමූ බවට විශ්වාසදායක තොරතුරු අනාවරණය විය. මා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවාගෙන සිටි කාලය තුළ හතරවැනි තට්ටුවේ සිරකරුවන් භාරගන්නා ස්ථානයට ඇස් බැද ගෙනා පුද්ගලයන් ගැන ඇසින් දුටු අතර ඔවුන් වරාය ආශ්‍රතිව පිහිටුවා තිබුනු වධකාගාරයක සිටිවුන් බවට රැකවලට සිටි නිලධාරින් විසින් යම් යම් කෘෘර ඉගි සහිතව මා හා ප්‍රකාශ කරණ ලදී. ඒ භීම සමයේ ‘ඇඹිලිපිටි යවනවා’ යන සංකේත යෙදුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් අතර කියැවුනේ වධකාගාර කරා යැවීම බව පසුව අනාවරණය විය.

පෙබරවාරි 14 වැනදා ලංකාදීපයේ තීරු ලිපියෙන් ගෝඨාභය මෙසේද කියයි.

” ඔවුන් මේවා කළේ ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් උදෙසා නොවේ. ඔවුන් කළේ යම් රාජකාරියකි. ඒ රට, සමාජය වෙනුවෙනි. මෙම පිරිස තම රාජකාරිය හරියාකාරව ඉටු කිරීම හේතුවෙන් නමගිය පාතාලයන්ගේ ක්‍රියාකාරීත්වය බොහෝදුරට නැති වුණි. එයින් සමාජයට විශාල සේවාවක් සිදුවුණි. සහනයක් ලැබුණි. “

ගෝඨාභය පුරසාරම් කියන ආකාරයට පාතාලය හෝ අපරාධකාරී කල්ලි අහෝසි කරන්නට ඔහු හෝ ඔහුගේ පිස්සු බල්ලන් මෙන් ක්‍රියාත්මක වූ මර්දන යන්ත්‍රයට නොහැකි විය. ඒ නිසාම අදත් පාතාල යැයි කියන අපරාධ කල්ලි ක්‍රියාකාරි වන තඅර ගෝඨාභයගේ පවුලේ රජදහන පැත්තෙන් වෙනම පාතාලයක්ද නිර්මාණය වූයේ ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස මේ දඩයමට නායකත්වය දෙන සහ ඔහුගේ සහෝදරයා මහින්ද ජනාධිපතිකම කරන කාලයේ බව පිළිගත යුතුව ඇත. ඒ නිසා රාජපක්ෂ භීෂණයෙන් තාවකාලිකව අපරාධකරුවන් යටපත් කළද ගෝඨාභයට මෙසේ ලියන්නට සිදුව ඇත.

“දැන් එම තත්ත්වය තුරන් වී පාතාල ක්‍රියා වැඩි වී තිබේ. එපමණක් නොව එදා පාතාලය, මත්ද්‍රව්‍ය මැඩීමට ක්‍රියාකළ නිලධාරීන් පසුපස හඹායාමක් සිදුවෙමින් තිබේ. ඔවුන් ඉලක්ක බවට පත් කරගෙන ඇති ආකාරයක් දැකගත හැකිය. මෙය බරපතළ කාරණාවකි.” 

ඒ නිසා ගෝඨාභය යලිත් ප්‍රකාශ කරන්නේ නීතිය හා යුක්තිය සම්බන්ධ ලෝකයේ පිළිගත් ක්‍රමවේද අනුව අපරාධකරුවන් හෙලිදරව් කරගැනීම හා නීතිය ඉදිරියට ගෙන ඒම ගැන නොවේ. ගෝඨාභය රාජපක්ෂගේ ‘ඊනියා අපරාධ මර්දන මෙහෙයුම්’ පිළිගත් ක්‍රමවේද අනුව සිදු නොකළ බව මෙන්ම ඒ ‘අසම්මත ක්‍රම’ අනුගමනය කළ නිලධාරින්ද ‘රාජකාරි’ කළ බව පවසන්නේ මෙසේය.

“අදාළ නිලධාරීන් සමාජය වෙනුවෙන් මේ කටයුතු කිරීමේ දී කුමන ක්‍රමවේද පාවිච්චි කළා ද යන්න සෙවීමට වඩා ඔවුන් කළේ රාජකාරියක් බව පැහැදිලිය. එහෙත් එම රාජකාරිය හේතුවෙන්ම ඔවුන් යම් අර්බුදකාරී තැනකට තල්ලු කරන විට යළිත් එම නිලධාරීන් කැපවීමෙන් ක්‍රියාකරාවිදැයි ප්‍රශ්නයකි. “

ඒ අනුව ගෝඨාභයගේ උපදෙස් අනුව, ආරක්ෂක අංශ කුමනාකාරයෙන් රාජකාරි කළද අපරාධ මර්දනය ඉලක්ක කළ බව කියමින් වත්මන් පාලනයටද ඔවුන්ගේ අපරාධකාරී ක්‍රමවේද අනුමත කරන්නට සිදුවේ. රාජපක්ෂ පාලන සමයේ තජුඩින් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිවරාම් ඝාතනය ඇතුලු ඝාතන සියල්ලමත් ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් කුමාර්, කුහන් මුරුගානන්දන් වැනි අතුරුදන් කිරීම් සහ කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගෙන යාම වැනි අපරාධකාරී කටයුතු ක්‍රියාවේ යෙදුවේ කවුරුන්ද යන්න දැන් තවදුරටත් රහසක් නොවේ. ආරක්ෂක අංශවල සාමාජිකයන් විශේෂයෙන් පුහුණු කරවා වධකාගාරවල වධකයන් ලෙස යොදවා සිටි බවද රහසක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ විසින් කුමාර් ගුණරත්නම් පැහැරගෙන යාම තමන් විසින් කළ බව පිලිගෙන ඇත. එහෙත් ඔහු නිදැල්ලේ පුවත්පත්වලට තීරු ලිපි ලියමින් පාතාල මර්දනය පිළිගත් නීතියෙන් නොව අසම්මත ක්‍රමවලට කළ යුතු බවට උපදෙස් දෙමින් සිටී. ඒ අතරම ඔහු මේ රටේ විද්වතුන් යැයි කියන වන්දිභට්ටයන් පිරිසක් සමග ‘එළිය’ සහ ‘වියත්මග’ වැනි සම්මන්ත්‍රණ පවත්වමින් දේශණා කරමින් රට පුරා යයි. පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා ඔහු විය යුතු බවට යෝජනා කරන විමල් වීරවංශලා සහ උදය ගම්මන්පිලලා හැර මේ රටේ ජනතාවට සිහි බුද්ධිය ඇතැයි අපි සිතමු. එහෙත් අපරාධ වැලක ‘මහමොළකරු‘ ලෙස හෙළිදරව් වී සිටියද හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලෙකම්වරයා නීතිය ඉදිරියට ගෙන ඒම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කිසිදා සිදු නොකරන බවට කැට තබා කියන්නට අපට පුලුවන. 

80 දශකය අවසානයේ තරුණ සංහාරයකට මුල් වූ රනිල් වික්‍රමසිංහගෙන් එවැනි දෙයක් බලාපොරොත්තුවන දේශපාලන අදබාලයන් ගැන අනුකම්පා කරමු. තවද යුක්තිය ඇත්ත අර්ථයෙන් සාක්ෂාත් කරගන්නට හැකි වන්නේ යුක්තිය අවශ්‍ය ජනයා විසින් සංවිධානාත්මකව නැගී සිට මේ අයුක්ති සහගත බලය පරාජය කළොත් පමණකි. එනම් රාජපක්ෂලාගේ, මෛත්‍රිපාලලාගේ සහ වික්‍රමසිංහලාගේ මිනිමරු අන්‍යොන්‍ය සයෝගිතාව පරාජය කර,  යුක්ති ගරුක බලයක් ස්ථාපිත කළ යුතු බවද සටහන් කරමු.