தமிழ்
English
Contact
Friday 6th December 2019    
ගෝඨාභය රාජපක්ෂගේ නීතිගරුක පාලනය ශානි ඉවත් කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභය රාජපක්ෂගේ නීතිගරුක පාලනය ශානි ඉවත් කරයි!



රටට නීතිගරුක පාලනයක් හා විනය ඇති කිරීම ජනාධිපතිවරණයේ තම සටන් පාඨ ලෙස ගෙන ආ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වගකීමෙන් පහත හෙළා ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්දැකීම් සහිත සහ විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තියක් සහිත නිලධාරියකු ලෙස සැළකෙන ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කර තිබේ. මෙම තීරණය වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් සිදුකරන ලද්දක් වුවද ආරක්ෂක ඇමති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාව ඉටුකිරීමක් බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණය අද(21) සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය අද පස්වරුවේම පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුවන ඩබ්ලිව්. තිලකරත්න පත් කර තිබේ.

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ. 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, සන්ඩේලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ. රතුපස්වල සිදුවීමට පමණක් මේ වන විට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

පසුගිය කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කළ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, බැඳුම්කර ගනුදෙනුව, විද්‍යා දැරියගේ ප්‍රධාන ඝාතකයාට රැකවරණය ලබා දීම වැනි තවත් විමර්ශන රැසක් මේ වනවිටත් ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් සිදු වෙයි. මෑතකදී සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේද ශානි අබේසේකර යටතේය. මෙතරම් වැදගත් විමර්ශන ගණනාවක් කරගනෙ යද්දී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සේවයෙන් පහත හෙලීම පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය සම්බන්ධ ගැටලුවක් ඇතිවන බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

පොලිස් කොමිෂන් සභාව විසින් ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් 7වැනිදාය. එසේම එම පත්වීම කරනු ලැබුවේ රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මතය.

කෙසේවෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශ වගකීම ගත් සැනින් මෙවැනි හදිසි ස්ථාන මාරුවක් සිදුකිරීම සම්බන්ධව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ කසුකුසුවක් ඇතිවී තිබේ.