தமிழ்
English
Contact
Friday 1st July 2022    
ගෝල්ෆේස් අරගලය: වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට සතුරු බලයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝල්ෆේස් අරගලය: වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට සතුරු බලයක් !



සංස්කාරක සටහන
අප සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ මග හැර යා නොහැකි ප්‍රශ්න ගණනාවකටය. ජනාධිපති ගෝඨාභය අගමැති ලෙස රනිල් පත් කිරීම මගින් විසඳුම් දෙන්නේ නැති, මෙම ප්‍රශ්න හමුවේ ආණ්ඩුවක් පිහිටුවනු පිණිස අගමැතිකම භාරගන්නට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ලෙස සමගි ජනබලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ(ජාතික ජනබලවේගය) කොන්දේසි සහිත යෝජනා ඉදිරිපත් කර ඒවා සමාජ අවධානයටද ලක් කෙරිණි. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ සිට ඉවත්ව ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන්ද යෝජනා ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් දෙකක යෝජනා අතර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එම පක්ෂයේ යෝජනා කිසිදු සලකා බැලීමකට ලක් වූයේ නැත. ‘ලංකාවීව්ස්’ ආරාධිත ලේඛකයකු වන මෙම ලිපියේ කතුවරයා උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමි සමාජවාදි පක්ෂය අතර ඇති විසංවාදය තුළ පෙ.ස.ප. යෝජනාවල ඇති මග හැර යා නොහැකි කරුණු අවධානයට ගැනීමටය. ප්‍රධාන පෙළේ පුවත්පත් වෙත ලිපි සපයන ලේඛකයකු වුවද හේතු කිහිපයක් නිසා ඔහු නිර්නාමිකව සිටීමට අදහස් කරයි. එසේම මෙම ලිපියේ අදහස් සංවාදයකට ලක් විය යුතු බවට ලියුම්කරු කරන යෝජනාව ‘ලංකාවිව්ස්’ තුළ ක්‍රියාත්මක කිරීමට ද අප සූදානම්ය.

(උපුටාගැනීමේදී ප්‍රකාශන අයිතියට ගරු කරන්න. – © Lankaviews.com)

රනිලාගමනය හා විරෝධයේ දේශපාලනය
රටේ සමාජ දේශපාලන ආර්ථික ව්‍යාකූලතා මැද ජනතාවගේ විරෝධතා අරගල දිග් ගැස්සෙමින් තිබේ. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආණ්ඩුවක් පිහිටුවන්නට රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කරමින් සිටී.
මේ වන විට ජනතාවගේ පැත්තෙන් විරෝධතා අවම වුවද තවමත් විරෝධයේ ගිනි පුපුරු ජන සමාජයේ තැන තැන විසිර පවතී. ඉන්ධන, ගෑස් ඇතුළු භාණ්ඩවල හිගය මෙම ජනතා විරෝධය කෝපාග්නියක් බවට පත්කරවන සුලුය. ජනතා බලය ඒකරාශි කරමින් ගෝල්ෆේස් (#gotagogama) අරගලය මෙන්ම රට පුරා තැන් තැන්වල විරෝධතා ක්‍රියාවට නැගේ.

අනෙක් පැත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් තමන්ගේ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විවිධ උපක්‍රම තෝරමින් සිටී.

මහින්ද රාජපක්ෂ රටම ලේ වැගිරීමකට ගෙන යමින් ඉල්ලා අස්වූ දිනයේ ඇති වූයේ අපේකෂා කළ ගැටුමක් වුවද ප්‍රතිචාරය ලෙස සිදුවූයේ කිසිවකු අපේක්ෂා නොකළ තත්වයකි. ජනතාව මෙන්ම ඇතැම් අන්තවාදි කණ්ඩායම් එදින ගෝඨාගෝගමට පහර දුන් පළමු ප්‍රහාරයේදී මෙන්ම ඊට ප්‍රතිචාර ලෙස පැන නැගුණු ප්‍රතිප්‍රහාරයේදී දායක වූහ. භූමියේදී පොදුජන පෙරමුණු මැර බලකාය යනු සිය නායකයන්ට ගැළපෙන ආකාරයේ ලුම්පන් ප්‍රභවයක් සහිත නාගරික හා අර්ධ නාගරික අන්තේවාසිකයන්ය. නමුත් රටපුරා ප්‍රතිප්‍රහාරයේ සැලකිය යුතු කාර්යයක් පවරා ගත්තේ සමාජ මාධ්‍ය තුළ පොදුජන පෙරමුණේ ජාතිවාදී හා ආගම්වාදී ප්‍රචණ්ඩත්වය පමණක් නොව, දූෂිත, සමාජ වරෝධී පැවැත්ම කෙරෙහි විරෝධී වූ ලිබරල්වාදී මැදපන්තික කණ්ඩායම්ය. නමුත් මේ තත්වය යටතේ වුවද දේශපාලන ස්ථාවරභාවයක් ඇති වීම බොහෝ දෙනාගේ අරමුණ විය. ආණ්ඩු පක්ෂය මහින්ද රාජපක්ෂ මෙන්ම ප්‍රතිප්‍රහාරයෙන් ත්‍රස්තව සැඟවූ තැන්වල නිෂ්ක්‍රිව වෙද්දී විපක්ෂය ඒ සඳහා සිය සූදානම ප්‍රකාශ කරන ලදී,

විපක්ෂයේ ප්‍රධාන පාර්ශ්ව ලෙස සමගි ජනබලවේගය තමන්ගේ කොන්දේසි යටතේ අගමැතිකම භාරගන්නට සූදානම් බව කියා තිබිණි. ජාතික ජනබලවේගය නැතිනම් ජනතා විමුක්ති පෙරමුණද කොන්දේසි සහිත යෝජනා ඉදිරිපත් කර තිබුණි. ඒ දෙපාර්ශ්වයේම පොදු කොන්දේසිය වූයේ ජනාධිපති ගෝඨාභය ඉවත් විය යුතු බවය. එවැනි අවාසිදායක කොන්දේසියක් පිළිගැනීම වෙනුවට ජනාධිපතිවරයා උපක්‍රමිකව වඩා වාසිදායක පියවරක් තබමින් රනිල් වික්‍රමසිංහ කැඳවා කරුණු සාකච්ඡා කළ බව කවුරුත් දන්නා දෙයකි. ඔහු අගමැති ධුරය භාරදෙන්නේ ‘සටනකදී පරාජිතයාට පසුබැස යාමට ක්‍රමයක් ලබා දිය යුතුය’ යනුවෙන් කී රනිල් වික්‍රමසිංහටය.

විසඳුම් යෝජනා සහ විසඳුම් දේශපාලනය
මෙම සමාජ-ආර්ථික-දේශපාලන අර්බුදය අවසන් කිරීමේ අරමුණ ඇති බොහෝ දෙනා සිය බලාපොරොත්තුව තැබූ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ කොන්දේසි විශේෂ විය. එහිදී පාර්ලිමේන්තුවේ තම නියෝජිතයන් තිදෙනා සහභාගි කරගනිමින් ආණ්ඩුවේ වැඩපිළිවෙළක් සක්‍රිය කරවා ගැනීමට නම් තමන් එහි මූලිකත්වය ගත යුතු බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසා ඇත. තමන් ඉදිරිපත්කරන යෝජනා හොඳින්ම ක්‍රියාත්මක කිරීමට තමන් මූලික විය යුතු යැයි ජ.වි.පෙ. කල්පනා කිරීම සාධාරණය.

මෙහිදී නිහඬතාවයේ වැලිතලාවට යට වූ පෙරටුගාමී සමාජවාදීන්ගේ යෝජනා අපගේ අවධානයට ගන්නවා නම් එහි ඇති වෙනස්කම මුලින්ම සලකා බැලිය යුතුය. මේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස පෙරටුගාමි සමාජවාදි පක්ෂය වසර 10ක කාලයක් ඉක්මවා ඇත. ඔවුන් විවිධ මැතිවරණ වලදී සිය අපේක්ෂකයන් ඉදිරිපත් කළ බව ඇත්තකි. නමුත්, එහි අදහස වූයේ සෙසු දේශපාලන පක්ෂ මෙන්ම ඉක්මනින් මැතිවරණයක් පවත්වා දේශපාලන බලය ඇති කෙනා කවුරුන්ද තෝරාගෙන ආණ්ඩුව භාරදිය යුතු බව නම් නොවේ. එක් අතකින් ඔවුන් කියමින් සිටි දේශපාලන අදහස්වලට වෙනස් කරුණු ප්‍රමාණයක් එහි ඇත. අනෙක් අතට ඒවා ඔවුන් කියු දේවලම දිගුවක් ලෙසද සැළකිය හැකිය.

ඔවුන් කියමින් සිටියේ මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණවලින් බලය වෙනස් කිරීමක් නොව, ජනතාව සංවිධානය කරමින් විප්ලවකාරි මහජන බලයක් ඇති කිරීමෙන් බලය අත්පත් කරගැනීමක් ගැනය. විශේෂයෙන්ම, ගොවියන්, ධීවරයන්, වතු කම්කරුවන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුපට වැඩ කරන ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, කාන්තාවන්, කලාකරුවන් ඇතුළු සමාජයේ පීඩාවට පත් කොටස් සංවිධානය කිරීමට ඔවුන් අවධානය දී තිබිණි. පසුගිය කාලයේ විශේෂයෙන් මේ වසර ආරම්භයේ ඔවුන් ප්‍රචාරක ව්‍යාපාරයේ වැඩි කැනක් ලබාදුන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් තැනීම ගැනය. එය මේ වනවිට රටපුරා ඇවිල යන ජනතා විරෝධතා සම්බන්ධ පූර්විකාවක් ලෙසද සැළකිය හැකිය. ජනතාව සංවිධානය විය යුතුය, ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළයුතුය වැනි අදහස් කියමින් සිටි ඔවුන් මේ ආකාරයට ජනතාවගේ බලය පාර්ලිමේන්තුවෙන් පිටත පිහිටුවීම ගැන කියු විට එය ගුණාත්මකව වෙනස් තත්වයක් බව මුලදී කිසිවකු කල්පනා කළේ නැත. ලියුම්කරුටද ඒ ගැන අවධානයක් ඇති වූයේ නැත.

වසර ආරම්භයේ සිට ජනතාව කිරිපිටි, ඉන්ධන, ගෑස් ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා පොලිම්වල හිඳිමින් ඒ සම්බන්ධ විරෝධතාවලට එක්වන විට පෙරටුගාමී සමාජවාදීන් කියු ජනතා අරගලය ගැන කිසිවකුට එතරම් සැළකිල්ලක් දක්වන්නටද අවශ්‍යතාවක් ඇති වූයේ නැත. ඒ වෙනුවට මාර්තු මසදී ජනතා අරලයේ ඇත්ත ගිනි දළු ඇවිළ යන විට සමාජයක් ලෙස එම අරගලයට එක් ව සිටි බව යළි හැරී බලන විට සිහිපත් වේ. විශේෂයෙන්ම මාර්තු 31 රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට රැස්වූ ජනතයාගේ විරෝධතාව යනු, තවදුරටත් ජනතාව පීඩාවන් ඉවසා දරා ඉන්නේ නැති බවට ලබාදුන් සංඥා වෙඩිමුරයකි.

ජනතා අරගල මාවත
නමුත්, ජනතාව නැගී සිටියේ පෙරටුගාමි සමාජවාදින් කියා සිටි පීඩිත බලවේග ලෙස නොවේ. කිව යුතු වන්නේ ඔවුන් සිය දේශපාලන අදහස් දැක්වීමේදී ආමන්ත්‍රණය කළ කිසිදු පීඩිත බලවේගයකට අයත් නැති පිරිසක් මෙම විරෝධතාවයේදී සක්‍රිය වූ බවය. මිරිහාන විරෝධයේ ආරම්භකයන් වූයේ ප්‍රදේශවාසි මධ්‍යම පන්තිකයන්ය. පීඩිත සමාජ කොටස් ඉරිගසා වෙන් කළ හැකි නොවන බව ඇත්තකි. කම්කරුවන්, ගොවීන් පීඩාවට එරෙහිව පසුගිය කාලය පුරා විවිධ විරෝධතා දැක්වූ නමුත් මිරිහානෙදි සටන් ආරම්භ කළේ මේ රටේ සාමාන්‍යයෙන් දේශපාලන සාක්ෂරතාව අතින් තරමක් ඉහළ නමුත් දේශපාලන ක්‍රියාකාරිත්වය යනු මැතිවරණ කාලයේ දේශපාලන සංවාදවලට එක් වෙමින් ඡන්දය දැමීමට සීමා වූ මධ්‍යම පන්තිකයන්ය. ගෝල්ෆේස් අරගලයේ ආරම්භක ක්‍රියාකාරිත්වයද එම මිරිහානේ මධ්‍යම පන්තිකයන්ගේ නැගී සිටීම බව සැළකිය හැකිය.

මේ ආකාරයෙන් රට පුරා ජනතාව විරෝධය අවුලුවද්දි පෙරටුගාමී සමාජවාදි පක්ෂය මෙතෙක් කියා සිටි ජනතා අරගලයේ කතාව වෙනස් පැත්තකට ගෙන යමින් පාර්ලිමේන්තුවට පිටස්තර ජනතා බලයක් ගැන කියන්නට විය. අර්බුදකාරි තත්වයන් රටපුරා ක්‍රියාකාරි ජනතා අරගලයක් බවට පත්වෙද්දී ඔවුන් විසඳුම් යෝජනා ලෙස මතු කළේ එම නව අදහසය. විශේෂයෙන්ම මේ වනවිටත් ගෝල්ෆේස් අරගලය තුළ ක්‍රියාත්මක පෙරටුගාමී තරුණ කණ්ඩායමේ මූලික සටන්පාඨයක් වන්නේ ‘දියවන්නාවෙන් එළියට බලයක්’ යන්නය. සුමනසිරි ලියනගේ මහාචාර්යවරයා පවසා තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ අනෙකා ලෙස සලකමින් සකස් කළ එකක් බවය. එවැනි මතයක් ප්‍රකාශ වීමද පුදුම වන්නට කාරණයක් නොවේ.

225 හා පෙරට්ටන්ගේ කුහකකම්
ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ පවතින ව්‍යවස්ථා රාමුව යටතේ පොදුවේ පිළිගන්නා නෛතික ක්‍රමයක් තුළ ගැටලු විසඳන ක්‍රමයක් ක්‍රියාවට නැගීමටය. නමුත් පාර්ලිමේන්තුව නොතකා පෙ.ස.ප ගෙන ආ මේ අදහස පසුගිය කාලයේ ‘225ම එපා!’ යනුවෙන් කියු දේම යැයි කිව හැකිය. මා දන්නා ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන් බොහෝ දෙනකු කියා සිටියේ ‘225ම එපා’ සටන් පාඨය පෙරට්ටන්ගේ නිර්මාණයක් බවය. පෙරටුගාමින්ට පාර්ලිමේන්තුවේ එකම ආසනයක්වත් නැති නිසා ඔවුන් කුහක ලෙස 225ම එපා වැනි සටන් පාඨයක් ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ද සෙසු ධනපති පක්ෂවල මන්ත්‍රිවරුන්ගේ ගොඩට දමා අවඥාවට ලක් කිරීමට යැයි ‘ජෙප්පන්ගේ චෝදනාව’ තරමක් තර්කානුකූලය. නමුත් මම ඒ අදහස එක් වරම භාරගෙන ‘225ම එපා’ සටන්පාඨයේ අයිතිය ‘පෙරට්ටන්’ට දෙන්නට සූදානම් නැත. මක් නිසාද කිවහොත්, මගේ මතකය හැටියට ‘225ම එපා’ යැයි මුල්වරට ජනතාවගෙන් අදහස් පළ වූයේ බොහෝ කලකට පෙර නිසාය. 2019 අප්‍රේල් 21 වැනිදා ‘පාස්කු බෝම්බ ප්‍රහාර’ සිදුවීමෙන් පසුව ජනතාවට මේ රටේ රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩු පක්ෂ හා විපක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයන් ජනතාවගේ ආරක්ෂාව නොතකා තමන් ආරක්ෂා වූ බව හොඳින්ම තහවුරු කෙරුණි. ආරක්ෂක අංශවලට අනතුරු ඇඟවීම් කරතිබියදී ජනතාව මරණයෙන් ආරක්ෂා කරන්නට සමත් ජනතා නියොජනයක් නැති බව වැටහීම නිසාදෝ මුලින්ම ‘225ම එපා’ යන අදහස සමාජ ගතවූයේ 2019 මැයි මාසයේදීය.

ගෝල්ෆේස් අරගලය ආරම්භයේ සිට තුඩ තුඩ රැව් දුන් ‘ගෝටා ඉවත් වනු'(#GoHomeGota2022) සටන් පාඨයට අමතරව ‘225ම එපා’, ‘රාජපක්ෂ පවුලම ඉවත්වනු’ වැනි අදහස් සැබැවින්ම මධ්‍යම පන්තික ජනයාගේ ඉල්ලීම්ය. ජනතා විරෝධතා තුළ ඉන්පසුව එක් කරනු ලැබූ ‘දූෂිතයන්ට දඬුවම් කරනු’, කොල්ල කෑ මහජන මුදල් හා දේපල නැවත අත්පත් කරගනු’ යන සටන්පාඨ පවා අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය හරහා දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින කාරණා මිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපේක්ෂා කරන ක්‍රමවිරෝධී වෙනසක ඉල්ලීම් නොවේ. නමුත්, ජනතා විමුක්ති පෙරමුණ දැන් ‘225ම එපා’ යන සටන් පාඨය නිසා පරළ වී දෙස් දෙ‍වොල් තියන්නේ 2011 සිට ජන්මාන්තර වෛරක්කාරයන් වූ ‘පෙරට්ටන්ට’ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පසුගියදා ඉදිරිපත් කළ යෝජනා මාලාවේ පළමු කොන්දේසිය වන්නේ පොදුවේ ජන අරගලයේ ඉල්ලීමක්ව තිබෙන ‘ජනාධිපති ගෝඨාභය ඉවත් විය යුතුය’ යන්නයි. එවිට, ජනාධිපති ධුරයට පත්වන්නට නියමිත වන්නේ අගමැතිවරයා බව ඔවුන් දන්නවා විය නොහැකිද? කෙසේවෙතත්, මේ ඉල්ලීම කරන්නේ අගමැතිව සිටි මහින්ද පලා ගොස් සැඟව සිටියදීය. නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වන්නට පෙරාතුවය. නිසැකවම ඔවුන්ගේ අදහස ජනාධිපති ගෝඨාභය යටතේ කිසිදු සාධනීය යමක් ඉදිරියට ගෙන යා නොහැකි බව සැබෑවකි. ඔවුන් ගෙන එන තවත් එක් අදහසක් වුවද වඩා වැදගත් කාරණයක් වන්නේ මේ වනවිට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති රාජපක්ෂ පාලනය අවසන් කරමින් එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සම්බන්ධ වීමෙන් හා අරගලකාරී ජනයාගේ ඉල්ලීම් සමග සමපාතවන පාලනයකි. මාස 6ක තාවකාලික සම්මුති ආණ්ඩුවක් ගැන පෙරටුගාමින් අදහසක් ඉදිරිපත් කරයි. මෙම සම්මුති පාලනය අරගලකාරි ජනතා බලය තුළ පැන නැගී ඇති ඉල්ලීම් ක්‍රියාත්මක කරන සම්මුතියක් ඇති කරගත යුතු බව පෙරටුගාමි සමාජවාදින්ගේ ඉල්ලීමය. දැන් මේ සම්මුති ආණ්ඩුවෙන් කළ යුතු වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් කරා යන තුරු රට පාලනය කිරීම යැයි අනුමාන කළ හැකිය. නමුත් එය හුදු කල් මැරීමේ හෝ යෂ්ටිය මාරු කිරීමේ පාලනයක් ලෙස ඔවුන් නිර්ණය කර නැත. ජනතා අරගලය සමග සම්මුතියක් ඇති කරගැනීමේ කොන්දේසි ඔවුන් ඉදිරිපත් කරයි. එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වගකීම භාරගන්නා ලෙස සම්මුති ආණ්ඩුවට එනම්, රාජපක්ෂ බලය අභියෝගයට ලක් කර බිහිකරන ආණ්ඩුවට අභියෝගයක්ද ලබා දෙයි. එක් පැත්තකින් මේ ආකාරයට 225 පාලනය පිළිගන්නා ගමන් පෙරටුගාමින් 225 ප්‍රතික්ෂේප කරන කොන්දේසියක්ද ඉදිරියට ගෙන ඇත. එයින් කියනු ලබන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතට ජනතා පරමාධිපත්‍ය ගෙනයාමේ අවශ්‍යතාවයි. මහජන කවුන්සිලයක් හරහා මේ වනවිට රටපුරා ව්‍යාප්ත වී ඇති ජනතා අරගලයේ ක්‍රියාකාරින්ට ආණ්ඩුවේ බලය හා තරගකාරි බලයක් බිහිකරන්නට එහි අවස්ථාවක් තිබේ. එසේත් නැත්නම් එහි ඉල්ලීම වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගෙන යන රාජ්‍යපාලනයට අභියෝග කළ හැකි බලයක් නිර්මාණය කළ යුතු බවය. ඒ අනුව, මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුව හරහා ඉටුකර ගන්නට කෙරෙන්නක් නොවන බව අවධාරනය කළ යුතුය. අනෙක් අතට බොහෝ දෙනා මේ අදහස ගැන කියන්නේ එය ව්‍යවස්ථා විරෝධී අදහසක් බවය.

වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ අනුකාරකත්වය
ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වා දුන්නේම බෙදා වෙන්කර පාලනය කිරීමේ විකෘති සම්ප්‍රදායක් බව යටත්විජිත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හදාරන විට වැටහෙන කරුණකි. බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය ලංකාවේදී වරින්වර අභියෝගයට නැගී ප්‍රතිසංස්කරණය කරමින් අප දැනට භාවිත කරන ව්‍යවස්ථාදායකය බිහිව ඇත. කෙසේවෙතත්, පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එවැනි තත්වයක් පිළිගත නොහැකි බවටද ඇතැම් නීති විශාරදයන් අනතුරු අඟවනු අසන්නට ලැබුණි. කොටින්ම 1987-89 පැවති නීති විරෝධි අරගලයේ පැවති ‘ටී-56 ආණ්ඩුව’ වැනි තත්වයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට පෙරටුගාමි සමාජවාදින් උත්සාහ කරන බවටද ප්‍රසිද්ධියේ චෝදනා නැගුණි. කෙසේවෙතත්, 2022 වසර තුළ ආරම්භයේ සිටම ජනතා විරෝධය ආණ්ඩුවේ බලයට අභියෝගකාරි වූ අතර පොලිසිය හෝ ආරක්ෂක හමුදා ඉදිරියට ගෙන මැඩ පැවැත්විය නොහැකි තත්වයක් එහි ඇති බව අවබෝධ කරගත යුතුව ඇත. පෙරටුගාමි සමාජවාදි පක්ෂය යෝජනා කරන්නේ මෙවැනි තත්වයක් තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවය. ඒ වෙනුවට ඔවුන් අවධාරනය කරන්නේ ඉදිරියට ආ විරෝධයේ දේශපාලනය සංවිධිත දේශපාලන ව්‍යුහයක් ලෙස පවත්වා ගෙන යාම ගැනය.

පවත්නා ව්‍යවස්ථා රාමුව ඔස්සේ කල්පනා කරන විට පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් සංවිධානයවීම අමුතුම තත්වයක් බව ඇත්තකි. ගතානුගතික රාමුව තුළ හිඳ පාර්ලිමේන්තුව නමැති ‘නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය’ ක්‍රියාවට නඟන දෙවොලින් පිටත පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම බිහිසුණු අපරාධයක් වනු ඇත. පෙරටුගාමින් මේ උත්සාහ කරන්නේ අමුතු දේශපාලන සෙල්ලමකට බව නීතිය හා සම්මත ‘වෙස්ට්මිනිස්ටර්’ ක්‍රමය අනුව තර්ක කළ හැකිය.
නමුත් ඔවුන් කියනා ‘තාවකාලික සම්මුති ආණ්ඩුව’ යනු පවතින ‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිගැනීමකි. නමුත් ජනතා අරගලය නියෝජනය කරන විරෝධතා ඔස්සේ ‘225ම එපා’ වැනි තත්වයක් ඇතිව තිබියදී තවදුරටත් අතාර්කික ව්‍යවස්ථා රාමුවකින් මේ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බව ඔවුන්ගේ පැත්තෙන් එන තර්කයකි. එබඳු තත්වයක් තුළ පාර්ලිමේන්තුවට පිටතින් අරගලයේ නියෝජනයක් හරහා ප්‍රජාතන්ත්‍රවාදි ලෙස පත් කෙරෙන ‘ජාතික මහජන කවුන්සිලය’ මගින් ඔවුන් මේ යෝජනා කරන්නේ ගෝල්ෆේස් ඇතුළු රටපුරා අරගල කරන කණ්ඩායම් අතුරින් දේශපාලන බලය ක්‍රියාවට නැංවිය හැකි දේශපාලන සංවිධානයකි.
ඒ නිසා මෙය ප්‍රතිවිරෝධි තත්වයන් පිළිබඳ දේශපාලන මැනීමක් බව නම් නිසැකය. ව්‍යවස්ථානුකූලව ජනතා ඉල්ලීම් ඉටු කරන්නට නොහැකි අර්බුදයක් රට තුළ ඇතිව තිබේ.

උගත් පාඩම්: ලංකාවෙන් හා ලෝකයෙන්
මෙබඳු අර්බුදකාරි තත්වයන් ගැන ලංකාවේ මෙන්ම ලෝකයේ අත්දැකීම් ඇත. ලංකාවේදී ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු 53 හර්තාලය වැනි තත්වයකදී පාලක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට රට තුළ ඇමති මණ්ඩල රැස්වීමක් පැවැත්විය නොහැකි විය. ඔවුන් දුෂ්කර තත්වය නිසා ව්‍යවස්ථාමය කොන්දේසි කඩ කිරීමට බියෙන් රැස් වී තින්දු ගැනීම කල්දැමුවේ නැත. රටේ සාමාන්‍ය පාලනය බිඳ දැමුව හර්තාල් තත්වය නිසා රට පාලනය අත්හැර දැමුවේද නැත. නිව්ෆවුන්ඩ්ලන්ඩ් නැවේ ඇමැතිවරු රැස් වී තීන්දු තීරණ ගත්හ.
1971 සන්නද්ධ නැගිටීමෙන් පසුව, සමාජ දේශපාලන ආර්ථික මෙන්ම ව්‍යවස්ථාමය වශයෙන් ඇති ගැටලු රාශියක් තරුණයන්ගේ සටන්කාමී ව්‍යාපාරයක් පැන නැගීමට හේතුව බව සමගි පෙරමුණ ආණ්ඩුවේ නිගමනය විය. ඔවුන් ගෙන ආ විසඳුම් ගැන විවාද තිබිය හැකි මුත් කිසියම් විසඳුම් අවශ්‍ය බව පාලක පක්ෂය වටහා ගෙන තිබිණි. එහිදී ව්‍යවස්ථාමය වෙනස්කම් මෙන්ම ව්‍යවස්ථාවට වෙනස්කම්ද ඇති කරන ලද්දේ අර්බුදයේ මූලයන් අවබෝධ කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය. ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය විසින් ඇති කළ බාධාකාරි සීමාවන් ඉක්මවීම පිණිස එවකට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ව්‍යවස්ථා සභාවක් ලෙස රැස් කරනු ලැබුවේ නව රඟහලේදීය.

ලෝකය තුළ සම්ප්‍රදායික දේශපාලන රාමුව ඉක්මවා නව තත්වයන් ඇති කිරීම පිළිබඳ අත්දැකීම් ප්‍රංශ විප්ලවයේදී මෙන්ම රුසියානු විප්ලවයේදීධ දක්නට ලැබේ. ප්‍රංශ රාජාණ්ඩුවේ උවමනාවට බිහි කළ ‘රාජ්‍ය සභාව’ රැස් කිරීම තහනම් කළද ටෙනිස් පිටියකදී එහි නියෝජිතයන් රැස්ව තීන්දු තීරණ ගත් බවත් අවසානයේ රාජකීය බලයට පටහැනිව නැගී ආ ජනතා බලය හේතුවෙන් එම තීරණ පිළිගැනීමට ‘ලුවී’ රජුට සිදු වූ බවද ප්‍රකට කරුණකි. රුසියානු ව්‍යවස්ථාදායකය(ඩූමා) ජනතා අරමුණු වෙනුවෙන් පෙනී නොසිටින තත්වයක් යටතේ සෝවියට් සභා බලයක් ලෙස වර්ධනය වීම හා අවසානයේ තීන්දු ගැනීමේ ආයතනය ලෙසත් රාජ්‍ය බලය පවරා ගන්නා ලද ජනතා ව්‍යුහය ලෙසත් එහි කාර්යභාරය ගැන අප අසා ඇත.

කෙසේවෙතත්, ගතානුගතිකව සිතීමේ තත්වයන් යටතේ පෙරටුගාමින්ට තමන්ගේ යෝජනා ඉදිරියට ගෙන යාම අභියෝගකාරි වනු ඇත. වඩා යහපත් ප්‍රවේශයක් වන්නේ ‘ජෙප්පන්’ තම අනෙකා කරගෙන ඇති බවට චෝදනා කරනු ලැබූ ‘පෙරට්ටන්’ විසින් නැවත වරක් එකී අනෙකාට එක්ව වැඩ කිරීමේ අවස්ථාවක් වෙනුවෙන් ඇරයුම්කර තිබීමය. මේ ඔවුන් විසින් ජ.වි.පෙ. අනෙකා ලෙස පමණක් නොව, සමස්තයක් ලෙස සෙසු දේශපාලන බලවේග අතර තමන්ට සම්බන්ධ විය හැකි ප්‍රමුඛතමයා ලෙස ජ.වි.පෙ ගැන ගණන් බලා ඇති බවට වැදගත් සලකුණකි. ලියුම්කරු එසේ කල්පනා කරන්නේ ‘පෙරට්ටන්’ විසින් මෙසේ එක්ව වැඩ කිරීම සඳහා ‘ජෙප්පන්’ වෙත අත දිගු කළ පළමු අවස්ථාව හෝ දෙවන අවස්ථාව නොවන නිසාය.

වෙන්ව ගමන්කරමින් එක්ව සටන් වැදීම
දේශපාලන අරගලවලදී එකට වැඩ කරමින් ජයග්‍රාහි මං සලකුණු තැබීමටද මෙම ‘එදිරිවාදී ද්වන්ධය’ කටයුතු කළ බවද අමතක කළ නොහැකි නිසාය. විශේෂයෙන්ම, ‘සයිටම්’ ආයතනයට එරෙහිව මෙරට ශිෂ්‍යයන් විසින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයේ තරගකාරි කාර්යයන් ඉටු කළ පාර්ශ්ව කිහිපයක් සිටියද එහි ප්‍රමුඛයන් වන්නේ ජ.වි.පෙ. සහ පෙ.ස.ප. ක්‍රියාකාරින්ය. එසේම පසුගිය ගුරු අරගලයේදී දේශපාලන පක්ෂ ලෙස වඩාත් සටන්කාමී දායකත්වයක් පෙන්නුම් කරමින් එක් වූයේ මෙම එකිනෙකා අතර තරගයක යෙදී සිටින පක්ෂ දෙකය. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ විසින් රසායනික පොහොර තහනමක් පැනවූ විට ගොවි ජනයා සටනට කැඳවීමේදී විපක්ෂ කණ්ඩායම් පමණක් නොව, පොදුජන පෙරමුණේ ගොවි සංවිධානද මැදිහත් වූ නමුත් ඔවුන් හා සටන්කාමී ජවයකින් සම්බන්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ‘සමස්ත ලංකා ගොවිජන සම්මේලනය’ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් නායකත්වය දුන් ‘ගොවි අරගල ව්‍යාපාරය’යි.

මේ වනවිට ක්‍රියාකාරිවන ගෝල්ෆේස් ජනතා අරගලයේ නිර්පාක්ෂික ක්‍රියාකාරින් වශයෙන් පෙනී සිටින දේශපාලන පක්ෂපාතිත්වය නිර්ණය නොකළ කණ්ඩායම් හා සම සමව සටන්කාමී ලෙස මැදිහත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමින්ගේ තරුණ ක්‍රියාකාරින්ය. දේශපාලන පක්ෂ ලෙස ඔවුන් එකිනෙකා තද බල ලෙස ප්‍රතිවිරුද්ධ ආස්ථානවල සිටියදී සමාජ මාධ්‍ය තුළ මෙම පක්ෂ දෙකේම සාමාජිකයන් හා හිතවතුන් දබර කරද්දී මෙතෙක් ජනතා විරෝධතා ඉදිරියට ගෙන යාමේදී සැලකිය යුතු කාර්යයක් මේ පක්ෂ දෙකේම ඒකාබද්ධතාවයෙන් සිදුව ඇත.

මේ දිනවල වඩාත් උස්ව නැගෙන ‘ජ.වි.පෙ. හා පෙ.ස.ප’ එකතු වෙයල්ලා වැනි ඉල්ලීම් තුළ අඩංගු වන්නේ ප්‍රායෝගික තලයේදී මෙම දේශපාලන ව්‍යාපාර දෙකේ ‘සුසංයෝගයක්’ පරික්ෂණාත්මකව ඔප්පු වී නිසාය.

අවසාන වශයෙන් කිවහොත් පක්ෂ දෙකක් ලෙස ඔවුන් වෙන් වෙන්ම වැඩපිළිවෙළ තෝරණ, මැතිවරණ ව්‍යාපාරවලදී ඡන්ද ලකුණු දෙකට ඡන්දය එකතු කරන පක්ෂ දෙකක් වුවත් ජනතා අරගලයේදී ඔවුන්ගේ එකතුවීමක් සිදුව ඇත. මේ තත්වය තුළ ‘පක්ෂ දෙක එකතු වෙයල්ලා’ වැනි ඉල්ලීම් එන්නේ ගතානුගතික හා අංක ගනිතමය දේශපාලන බලයක් සම්බන්ධ අපේක්ෂා කරන මැද පන්තිකයන්ගේ මනෝමූලික අද්භූත ප්‍රාතිහාර්යයක් බව ලියුම්කරුගේ අදහසයි.

පැරණි ආදර්ශ වාක්‍යවල ‘සමගිය බලය වේ!’ හෝ ‘තනි කෝටුවට වඩා කෝටු මිටිය ශක්තිමත්’ ආදි වශයෙන් කියැවෙන කිසිවක් නව තත්වයට අදාළ නැත. න්‍යායගත දේශපාලනය ඉක්මවන්ට නොහැකිවූවන්ගේ ආස්ථානයන් අභියොගයට ලක් කෙරෙන සහ නව තත්වයන් සළකා බැලෙන න්‍යායාත්මක ප්‍රවේශයන් ඉල්ලා සිටින අපේ කාලයේ ජනතා අරගලය ප්‍රමුඛය. දේශපාලන ව්‍යාපාරයක් කිසියම් ජයග්‍රාහී ඉමක් වෙත කැඳවා ගැනීමේදී එවැනි විඥානවාදී දේශපාලන සිහිනවලට පහර දී කුඩු කරන්නට සමත් උපායයන් හා උපක්‍රම අවශ්‍ය වේ. අප කාලයට ඉඩ දිය යුත්තේ දේශපාලන අරගල තුළ සිය සීමාවන් ජයගන්නට හා නව ප්‍රවේශයන් අත්පත් කරගන්නට සමත් වාම දේශපාලන ක්‍රියාකාරිත්වයක් වෙනුවෙනි. නමුත් කාලයට ඉඩ දිය යුත්තේ නිෂ්ක්‍රිය ලෙස බලා සිටිමින් නොව, සක්‍රිය ලෙස මැදිහත් වෙමින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කලකට පෙර, වීදි සටන් හා ශිෂ්‍ය අරගලවලට කෝපයෙන් ප්‍රතිචාර දැක්වූවන් පවා ආශක්ත වූ සටන්පාඨයක් යළි යළිත් කියමින් තව තවත් එසවිය යුතු ඒ අරමුණෙනි.

‘අරගලයට ජය වේවා!’