தமிழ்
English
Contact
Thursday 5th August 2021    
චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙන්වන්නේ Xpress-Pearl නැවෙන් තෙල් කාන්දුවක් බවට සැකයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙන්වන්නේ Xpress-Pearl නැවෙන් තෙල් කාන්දුවක් බවට සැකයක්!



(TopNews) කොළඹ පිටත වරාය සීමාවේදී ගිනි ගැනීමට ලක්වු Xpress-Pearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් යැයි සැක කළ හැකි පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූපවල දැක ගන්නට ලැබෙන බව අනාවරණය වේ.

ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මෙම නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන යාමට උත්සාහ කෙරුනු නමුත් නැවේ පසුපස කොටස මුහුදුබත්වීමෙන් එම කාර්ය අතරමග නැවතුණි. මේ වෙනවිට නැවේ පිටුපස කොටස මීටර 22ක් පමණ ගැඹුරින් ඇති මුහුදු පතුලේ ගැටී පවතී.

ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු වෙරලේ වැලිගම සිට මන්නාරම දක්වා වෙරළට නැවෙන් පිට වූ අපද්‍රව්‍ය ගොඩගසා ඇති අතර පිරිසරික හානිය සම්බන්ධයෙන් වන්දි ගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව අනාවරණය වේ.

මේ වනවිට ගිලී ඇති නැවේ දැවි තෙල් ටොන් 300ක් පමණ ඇති බවද ඒවා යම් අයුරකින් මුහුදු ජලයට කාන්දු වුවහොත් මීටත් වඩා පිරිමැසිය නොහැකි පාරිසරික විනාශයක් සිදුවීමට නියමිත බව පරිසරවේදීන් අනතුරු අඟවා ඇත.

කෙසේවෙතත් සමුද්‍රිය පරිසර අධිකාරිය විසින් මේ වනවිටත් ගෙන ඇති පියවර අතර මුහුදු ජගයේ රසායන සංයුතිය සෙවීම හැර තෙල් කාන්දුවකට අවශ්‍ය පූර්ව සූදානමක් නැති බව දැනගන්නට ඇත. එම ආයතනයේ සභාපතිනිය පවසා ඇත්තේ අවශ්‍ය වුවහොත් තෙල්කාන්දුවකට සූදානමින් සිටින බවය. නමුත් තෙල් කාන්දුවක් වන්නට පෙර නැවේ ඇති තෙල් තොගය ඉවත් කිරීමේ කටයුතු සඳහා ජත්‍යන්තර සහාය ඉල්ලා නැත.

මේ අතර ගිනි ගෙන විනාශයට පත්වූ නැවේ හෝ එහි තිබූ බහාළුමකට අයත් බව සැලකෙන කොටසක කැබැල්ලක් හලාවත, මුතුපන්තිය දූපතට ඊයේ (09) ගසා ගෙන විත් තිබේ. ‍ඒ අතර නැවේ යැයි සැක කෙරෙන කිලෝ දෙසිය පනහකට වඩා බරැති තාක්ෂණික උපකරණ සහිත යකඩ බෝයාවක් ද ඊයේ සවස කළුතර මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා ඇත.
නැවෙන් පිටවන භාණ්ඩ හා දූෂක ද්‍රව්‍ය දිනපතා වෙරළට ගොඩ ගසන තත්වයක් තිබියදී අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආණ්ඩුව ජනතාව රවටමින් සිටී.