தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
චම්පික, රාජිත ඇල්ලීම හෙවත් මීයයි බළලයි සෙල්ලම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චම්පික, රාජිත ඇල්ලීම හෙවත් මීයයි බළලයි සෙල්ලම



චම්පික රණවක අත්අඩංගුවට ගත් ආණ්ඩුව තරමක් නෝන්ඩි විය. අත්අඩංගුවට පත් වීමේ වරෙන්තු ලැබුණු රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා ඔහුගේ පුතා වන චතුර සේනාරත්නගේ මට්ටමට ඇද වැටිණි. මේ පසුගිය සතියේ දේශපාලන සිදුවීම් දෙකකි. සහල් මිල සියය  ඉක්මවා තිබියදී, එළවළු ග්‍රෑම් 250 ඉක්මවා ගොස් තිබියදී බඩ අතගගා ඉන්නා ජනතාවට පොඩි ආතල් එකක් දීමට ආණ්ඩුව සමත් විය.

චම්පික රණවකට එරෙහිව සැබැවින්ම ක්‍රියාත්මක වීමට ඕනෑ නම් ආණ්ඩුවට වඩා බලවත් චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබිණි. ගල්අඟුරු වංචාව වැනි වංචා පිළිබඳ නිවැරදි සහ විධිමත් පරීක්ෂණයක් පවත්වා, සාක්ෂි ගොනු කර චෝදනා ඉදිරිපත් කළේ නම් චම්පික පමණක් නොවව යහපාලන ආණ්ඩුවේ මෙන්ම පොහොට්ටුවේද ප්‍රබලයින් කිහිප දෙනකුවත් කූඩු කිරීමට හැකි වනවාට සැක නැත. එහෙත් චම්පික රණවකට එල්ල කර තිබෙන්නේ රිය අනතුරක් පිළිබඳ චෝදනාවකි.

2016 වසරේදී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරෙන්  හානි වී තිබෙන්නේ විදුලි බල අමාත්‍යාංශයට අයත් වාහනයකට හා සන්දීප් සම්පත් නමැති තරුණයා ගමන් ගත් යතුරුපැදියකටයි. චම්පික රණවක ඇමැතිවරයා එදින රාත්‍රීයේ ජනප්‍රිය නිළියක් හමුවීමට ගොස් යළිත් එමින් සිටියදී අනතුර සිදුව තිබෙන බව ඇතැම්හු පවසති. ඇමැතිවරයකුට නිළියක සමග සබඳතා පැවැත්වීමට බාධාවක් නැත. එහෙත් එවැනි රාත්‍රී ගමන් සඳහා අමාත්‍යාංශයේ වාහන භාවිත කිරීම වැරදිය. අනෙක් අතට වෙහෙස වැඩි නම් වාහන පැදවීමෙන් වළකින ලෙසත් වෙහෙන නිවෙන තුරු විවේක ගන්නා ලෙසත් සාමාන්‍යයෙන් ඕනෑම රියදුරකුට දෙන සරල උපදේශයකි. එම උපදෙස් පිළිපැදීම අනතුරු වළක්වා ගැනීමට හේතුවකි.

එහෙත් චම්පික රණවක හිටපු ඇමැතිවරයා පවසන්නේ තමන් එම රථයේ නොසිටි බවත් එහි සිටියේ තමන්ගේ රියදුරා බවත්ය. එම කරුණුවල නිවැරදිභාවය සනාථ කර ගැනීම සාධාරණ පරීක්ෂණයකින් කළ හැකිය. අනතුරට ලක්ව බරපතළ තුවාල ලැබූ සන්දීප් සම්පත් නමැති තරුණයා සිදු කර තිබෙන වරද කුමක් වුවත්  ඔහු වෙනුවෙන් සානුකම්පිත මැදිහත්වීමක් කිරීමේ ‘වගකීමෙන්‘ මිදීමට චම්පිකට නොහැකිය. ඔහු එම මනුස්සකම නොසලකා හැර තිබීම බරපතළ වරදකි.

ඒ සියලු වැරදි එසේ තිබියදී මෙය රිය අනතුරකි. චම්පික කර තිබෙනවා යැයි පැවසෙන වංචා දූෂණ හා අනෙකුත් වැරදි සමග සැසදීමේදී මෙය නොසලකා හැරිය හැකි එකකි. එපමණක් නොව මෙම චෝදනාවෙන් චම්පිකට පහසුවෙන් නිදහස් වීමට හැකි එකකි. ඒ නිසා ආණ්ඩුව කර තිබෙන්නේ ජනතාවට ටික දවසක් උර උරා සිටීමට ටොපියක් දීම බව පැහැදිලිය.

රාජිත සේනාරත්න කොහොමටත් හොඳ නමක් තිබෙන අයෙක් නොවේ. ඔහුගේ ඉතිහාසයම දූෂිතය. සෞඛ්‍ය අමැතිවරයා ලෙස සිටිමින් ඔහු දූෂිතයකුගේ චරිතයකට පණ පෙවීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වූ අනුරුද්ධ පාදෙනියලා රාජිතට එරෙහිව නැගී සිටියේ පොහොට්ටුවේ දේශපාලන න්‍යාය පත්‍රයකට වුවත් ඔවුන් ඉදිරිපත් කළ කිසිදු චෝදනාවක් බැහැර කළ හැකි ඒවා නොවේ. රාජිත යනු ඒ තරම්ම දූෂිත අයෙකි. එහෙව් අසූචි කන්දකට එරෙහිව අධෝවාතයක් යැවීම ගැන පමණක් චෝදනා ඉදිරිපත් කරන්නේ ඇයි?

සුදුවෑන් භීෂණය යනු සැබැවින්ම සිය ගණනකට ජීවිත අහිමි කළ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයන් අකර්මන්‍ය කළ, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කළ මිනීමරු ක්‍රියාවලියකි. එය මැතිවරණ වේදිකාවේ විගඩමක් බවට පත් කිරීම මගින් රාජිත හෑල්ලුවට ලක් කළේ සුදුවෑන් භීෂණයේ ගොදුරු බවට පත් වූ සමාජ-දේශපාලන ක්‍රියාකාරිකයන්ය. ඒ වරදට රාජිතගේ මුහුණට කෙළ ගැසීම පවා ප්‍රමාණවත් නැත. එහෙත් අපරාධකාරයන් දෙදෙනකු අල්ලාගෙන මාධ්‍ය හමුවක් පැවැත්වීම රාජිත සේනාරත්නට පහසුවෙන් පළා යා හැකි චෝදනාවකි.

මේ සංදර්ශනය පසුගිය යහපාලන ආණ්ඩුව හොරු ඇල්ලීමේ විකට සංදර්ශනයට වඩා දෙවැනි වන්නේ නැත. හොරු මෙන්ම පොලිස්කාරයෝද රඟන්නේ කලින් පුරුදු වුණු චරිතය. 2015 හොරු දැන් පොලිස්කාරයන් වී සිටින අතර 2015 පොලිස්කාරයන් දැන් හොරු ලෙස වෙස් මාරු කර ගෙන සිටියි. මේ නාටකයේ මාරුවී නැත්තේ ප්‍රෙක්ෂකයාගේ භූමිකාව පමණි.