Posted on 04.19.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගිනිගෙන විනාශ වූ නොත්‍රදාම් දේවස්ථානයේ (Notre Dame) පිළිසකරකිරීම් සදහා ප්රකෝටිපතියන් දෙදෙනෙකුට යුරෝ මිලියන 300ක් දිය හැකි නම් ලෝකයේ දිළිදුකම තුරන්කිරීමට නොහැකි මන්දැයි ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් ප්‍රශ්න කර සිටි අතර මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන එයට පිළිතුරු ලෙස පවසා ඇත්තේ මුදල් බෙදීමෙන් දිළීදුකම තුරන් කළ නොහැකි බවය.
පසුගියදා පැරිසියේ නොත්‍රදාම් දේවස්ථානයේ විශාල කොටසක් ගින්නකින් විනාශයට පත් වීමෙන් පසු එය යළි ගොඩ නැගීම සඳහා අවශ්‍යවන එම යුරෝ මිලියන 300 පැය කිහිපයක් ඇතුළත පරිත්‍යාග කළ හැකි විය. තත්වය එසේ නම්, ඔවුන්ට ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන, හිසට සෙවණක් නැති ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට ඇති තරම් ධනය ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, සිය ට්ටිටර් ගිණුම හරහා සටහනක් තබන ලදී.
බිලියන 7 කට අධික සමස්ත ලෝකවාසී ජනතාවගෙන් දෙදෙනෙකුට පමණක් එසේ විශාල ධනයක් හිමි නම්, ලෝකයේ ජනතාව මෙය කල්පනාවට ගත යුතු කරුණක් බව ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මෙසේ පිළිතුරක් තබා ඇත.
“ලෝකයේ සමස්ත වාර්ෂික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 88කි. එම ධනය බිලියන 7.53 ක් වන ලෝකවාසී ජනතාව අතර සමානව බෙදන්නේ නම් එක් අයෙකුට වාර්ෂිකව ඩොලර් 11,700ක මුදලක් ලැබේ. එවැන්නකින් දැනට පවතින ගැටලු රැසක් විසඳන්න පුළුවන් වුවත් පවතින ගැටලු සියල්ලට එය විසදුමක් නොවෙයි. එසේ ආදායම යළි බෙදීමෙන් දුප්පත්කම අහෝසි කරන්න බැහැ. ඒ සදහා දිළිදු ජනයාට පුලුල් අවස්ථා ලබාදීම හා ධාරිතාවන් පුලුල් කිරීම අවශ්‍ය වේ“
මෙම අදහස් හුවමාරුවේදී චමින්ද වාස්ගේ සහ ඩබ්.ඒ. විජේවර්ධනගේ අදහස් සළකා බලන විට එක් එක් පුද්ගලයා ලෝකයේ දිළිදු ජනයා සම්බන්ධව දරණ අදහස් බව බැලු බැල්මට සාමාන්‍යකරණය කළ හැකිය. එහෙත් ඔවුන් දෙදෙනාම කතා කරන්නේ ධනවාදය විසින් ලෝකයට හිමිකර දෙන හා අහිමි කරදෙන දේ පිළිබදවය. ධනවාදය විසින් අති විශාල ධනයක් තනි පුද්ගලයන්ට අත්පත් කරගන්නට අවස්ථා ලබා දෙන බැවින් එක් වරම ඔවුන්ට යුරෝ මිලියන ගනනින් දන් දෙන්නට හැකියාව ලැබේ. එහෙත් අව වරප්රසාදිත දිළිදු ජනයා සාගින්නේ සහ සුලුල රෝගවලට පවා ප්‍රතිකාර නැතිව දුක් විදිති, දහස් ගණනික් මිය යති. චමින්ද වාස් හැගීම්බර ලෙස මතු කරන්නේ මේ ප්රතිවිරෝධය පිළිබදවය. මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා එයට ප්‍රතිචාර ලෙස ශාස්ත්‍රීය කරුණු ගෙන හැර පාමින් දිළිදුකම අහෝසි කිරීම හුදු මුදල් බෙදීම පිළිබද ප්‍රශ්නයකට වඩා හිමිකම් අහිමි කිරීම හා ක්‍රියාත්මකවීමේ ඉඩකඩ සමා කිරීම පිළිබද ගැටලුවක් ලෙස හුවා දක්වයි.