தமிழ்
English
Contact
Saturday 25th September 2021    
චීනය ලෝකයේ සෙසු බලයන්ට අභියෝග කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීනය ලෝකයේ සෙසු බලයන්ට අභියෝග කරයි!



චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සමරමින් චීන නායක ෂි ජින් පිං විසින් ඊයේ(1) ටියන් ආන් මෙන් චතුරශ්‍රයේ සිට සෙසු ලෝක බලවතුන් වෙත අභියෝගයක් එල්ලකර ඇත.

මේ වන විට ආසියාවේ පළමු ආර්ථිකය මෙන්ම එක්සත් ජනපද ආර්ථිකය හා තරග කරන ලෝකයේ ඉහළම ආර්ථික බලයක් බවට පත්ව ඇත. එසේම චීන ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම හා අභියෝගය කරන්නේ එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ සෙසු බලවත් රාජ්‍යයන් සමග තියුණු වෙළඳ යුද්ධයක යෙදී සිටින අතරතුරය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සමරමින් කථා කළ ජනාධිපති ෂී ජින් පිං මෙසේ පවසා තිබේ.
“යුක්තිය රකින හා කිසිදු බලයකට හෝ බලපෑමකට බිය ගන්න බැරි අපි චීන ජාතිකයෝ. අපි කිසිමදාක වෙනත් රටවල කිසිම ජාතියකට හිරිහැර හෝ පීඩ ඇති කරලා නැහැ. වහල්භාවයට යොදාගෙන නැහැ. ඉතිහාසයෙත් එහෙම කළේ නැහැ. වර්තමානයේ දී හෝ අනාගතයේදී එහෙමමයි. ඒ වගේම තමයි, නිශ්චිතවම චීන ජනතාව හැටියට අප වෙත පීඩා, හිරිහැර හෝ වහල්භාවය ගේන්න කිසිම විදේශ බලවේගයකට ඉඩ දෙන්නේ නැහැ. එහෙම උත්සාහයක් දරණ ඔ්නෑම කෙනෙකුට බිලියන 1.4 ක් වූ චීන ජනයාගේ මහා අයෝමය ප්‍රාකාරයේ හැපී හිස් කුඩු කරගන්න සහ ලේ හලා ගන්න සිද්ධ වෙයි.”

චීනය කොමියුනිස්ට් පක්ෂයක් ලෙස හඳුන්වන පක්ෂය තවදුරටත් කොමියුනිස්ට් දේශපාලන පිළිවෙත් අනුගමනය කරන්නේද යන්න හා කොමියුනිස්ට්වාදී සමාජයක් වෙත යන්නට ධනවාදී ප්‍රතිසංස්කරණ හරහා හැකි වේද යන්න මේ වන විට ලෝකය පුරා වාමාංශික දේශපාලනයේ ප්‍රධාන සංවාදයක් බවට පත්ව ඇත. චීන සමාජයේ අසමානතාවය හා නිලධාරිවාදය පමණක් නොව, ශ්‍රම සූරාකෑම හා මර්දනය රජ කරන බවට ජනමාධ්‍ය වාර්තා කරන අතර චීනයේ සත්‍ය තත්වය වසං කරන බවට කොමියුනිස්ට් පක්ෂ පාලනයට චෝදනා එල්ල වේ. ඒවා පිළිතුර දෙන චීනය පවසන්නේ තම කොමියුනිස්ට් පාලනයට සතුරු බටහිර බලවතුන් විසින් ජනමාධ්‍ය ප්‍රචාර ගෙන යමින් තම රටට හා කොමියුනිස්ට් පාලනයට සතුරු අවලාද නගන බවයි.

මේ වන විට හොංකොං නාගරික කලාපය අත්පත් කරගැනීමෙන් පසුව එහි දරුණුතම මර්දනකාරී තත්වයක් පැන නැගී ඇත. ජනමාධ්‍ය මෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වයන් මර්දනයට ලක් වෙමින් පවතී. මීළඟට එක් චීනයක් පිළිවෙත යටතේ තායිවානය පාලනය කිරීමේ අරමුණ චීන බලධාරින් ප්‍රකාශයට පත්කර ඇත.

ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික බලතුලනය වෙනුවෙන් එක්සත් ජනපදය හා චීනය තරගයක යෙදී සිටී. මෙය මිලිටරි ක්‍රියාමාර්ග දක්වා ඇවිල යා හැකි තත්වයක් බවට නිරීක්ෂකයෝ අනතුරු අඟවති.

විශේෂයෙන් ලෝක ආර්ථිකයේ වැඩි පංගුවක් අත්පත් කරගැනීමේ අරමුණ ඇතිව චීනය විසින් එක්සත් ජනපදයේ, යුරෝපයේ ආයෝජන ව්‍යාප්ත නරමින් සිටින අතර ආසියාවේත්, අප්‍රිකාවේත්, ලතින් අමෙරිකාවේත් සිය ආයෝජන මෙන්ම ණය දීමේ ව්‍යාපෘති පුළුල් කරමින් තිබේ. ‘තීරයක් මාවතක් ක්‍රියාමාර්ගය’ යටතේ අමෙරිකන් ‌ඩොලර් ට්‍රිලියන 4ක් වටිනාකමින් යුතු ව්‍යාපෘති 3164ක් හරහා මධ්‍යම ආසියාව හරහා යුරෝපය දක්වාත් ඉන්දියන් සාගරය අවට කලාපයේත් ආර්ථික ආධිපත්‍ය හිමි කර ගැනීමේ අරමුණ චීනය විසින් ක්‍රියාත්මක කරමින් සිටී.