தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ජනතාවගෙන් උදුරාගෙන ඔවුන් බෙදාගන්න ප‍්‍රතිපත්තියට එරෙහි බලයක් අවශ්‍යයි - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතාවගෙන් උදුරාගෙන ඔවුන් බෙදාගන්න ප‍්‍රතිපත්තියට එරෙහි බලයක් අවශ්‍යයි – පුබුදු ජයගොඩ



2019 අයවැය සදහා ආණ්ඩුව විසින් විසර්ජන පනත් කෙටුම්පත පිළිබද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් ප්‍රකාශ කිරීමට අද(14) බත්තරමුල්ල, පෙ.ස.ප. කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව ඇමතූ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පළ කළ අදහස් මේ සමග අපළ කරමු.
……………………………………………………………………………..

ආර්ථික අර්බුදයක් පවතින සහ ඒ අර්බුදයේ විශාල පීඩාවක් සාමාන්‍ය පහළ පන්තික ජනතාව මත පටවා තිබෙන අවස්ථාවක 2019 අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් ගෙනත් තිබෙනවා.

සාමාන්‍ය ජනතාවට ජීවත්වීමේ කොන්දේසි ඉතාම අවම මට්ටමට වැටිලා තියෙන අතර සමාගම්වල ආදායම් සහ ලාභ අනුපාතික ඉතා ඉහළ මට්ටමක් පෙන්නුම් කරනවා. 2017 සංඛ්‍යාලේඛන ගත්තොත් කොටස් වෙළදපොල ලියාපදිංචි සමාගම්වල ආදායම් 11%න් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම සමහර මුල්‍ය සමාගම්, උගස් ආයතන, රක්ෂණ සමාගම්, බැංකු වගේ ආයතනවල ආදායම් 22%කින් ඉහල ගොස් තිබෙනවා. ඒ වුණාට මේ රටේ සාමාන්‍ය වැටුප් ශ‍්‍රමිකයාගේ වැටුපෙන් ලබා දිය හැකි අගය, ඒකට මූර්ත අගය කියනවා, ඒ අගය 5-7% ප‍්‍රමාණයකින් පහත වැටිලා තිබෙනවා. ඒ කියන්නෙ 2017 ආරම්භයෙදි රුපියල් 100කින් මිලයට ගන්න පුලූවන් දෙයක් මේ අවුරුද්දෙදි ගන්න රු. 107ක්වත් ගෙවන්න වෙනවා. මේ ආර්ථික අර්බුදයක් කියලා කිව්වට මේකෙ සියලූ වාසි ධනේශ්වර සමාගම්වලට, ධනකුවේරයන්ට හිමිවෙද්දි ඒ ධනේශ්වර සමාගම් වෙනුවෙන් වැඩ කරන සාමාන්‍ය ජනයාට සොච්චමක් ලැබෙන්නෙ. ධීවරයො, ශිෂ්‍යයෝ, කාර්මිකයො, සුලූ හෝ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරන අය, ව්‍යවසායයන් කරන අය මේ සියලූ දෙනා දුෂ්කරතාවන්ට ඇද වැටිලා තියෙනවා.

ඉතින් එහෙම වෙලාවක ආණ්ඩුව 2019 අයවැයට අදාල විසර්ජන පනත් කෙටුම්පත ගෙනාවෙ ඊළග අවුරුද්ද සදහා ආණ්ඩුවෙ මුල්‍ය පිළිවෙත් ප‍්‍රකාශයට පත්කරන්න. දෛනික ක‍්‍රියාවලිය ආර්ථික ප‍්‍රතිපත්ති වසන් කරමින් තිබෙනවා. නමුත් මෙවැනි විසර්ජන කෙටුම්පතක් වැනි දේකින් ඒ වසං කරන ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති හෙළිදරව් කරගැනීමට පුලූවන්. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මේ විසර්ජන පනත් කෙටුම්පත අනුව, 2019 රාජ්‍ය වියදම ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා රුපියල් බිලියන 4376ක්. ඇස්තමේන්තු කළ රාජ්‍ය ආදායම රු. බිලියන 3332ක් බව මෙහි සදහන් වෙනවා. ඒ නිසා රුපියල් බිලියන 644ක අයවැය හිගයක් මේ තුළ දකින්න තිබෙනවා. පහුගිය අවුරුද්දෙ ඇස්තමේන්තු කරපු රාජ්‍ය වියදම රු. බිලියන 3982ක් සහ රාජ්‍ය ආදායම රු. බිලියන 2175ක් වුණා. ඒ අවුරුද්දෙදි රු. බිලියන 1893ක අයවැය හිගයක් තිබුණා. පෙනීයන විදියට රාජ්‍ය වියදම සුලූ ප‍්‍රමාණයකින් වැඩි කරලා, රාජ්‍ය ආදායම විශාල ප‍්‍රමාණයකින් වැඩි කරලා අයවැය හිගය 1/3කින් පහත දමාගන්න ආණ්ඩුව කටයුතු කරන බවයි. මේක ආර්ථික විද්‍යාවෙ දෘෂ්ටිකෝණයෙන් යහපත් පියවරක් හැටියට කාට හරි කියන්න පුලූවන්. නමුත් පැහැදිලි වන කාරණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළද සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර, අධිරාජ්‍යවාදී මුල්‍යායතනවල පදයට තමයි ආණ්ඩුව නටමින් ඉන්නෙ. ඇයි එහෙම කියන්නෙ, 2016 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදලක් ලැබුණා ඩොලර් බිලියන 1.5ක්. ඒ ණය මුදල ගන්න ඔවුන් ලබා දුන් කොන්දේසි තමයි අයවැය හිගය පහත හෙළන්න රාජ්‍ය ආදායම් වැඩිකරන්න රාජ්‍ය වියදම් කපන්න කියලා. රාජ්‍ය ආදායම් වැඩි කිරීම ගැන කාටවත් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ බදු නොවන ආදායම් මගින් ඒ වටිනාකම උපදවනවා නම්. නමුත් ආණ්ඩුව ක‍්‍රමානුකූලව බදු නොවන ආදායම අඩු කරමින් ඒ වෙනුවට බදු ආදායම තමයි ඉහළ දමමින් ඉන්නෙ. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩිකරනවා කියද්දි මේ කියන්නෙ ජනතාව මත පටවන බදු මුදල වැඩි කරනවා කියන එකයි.

1939 අයවැය ලේඛනය හදනකොට ලංකාවෙ බදු ආදායම අවම මට්ටමක තියෙද්දි බදු නොවන ආදායම 99%ක් තිබුණා. නමුත් මේ වනවිට බදු ආදායම 90%ක් බවට පත් කරලා බදුනොවන ආදායම 10%ක් පමණයි තියෙන්නෙ. මේ අතිවිශාල බදු ආදායම හොයන්නෙ ආදායම් බදු වලින් නම් ප‍්‍රශ්ණයක් නෑ. නමුත් මේ බදු ආදායම අපේක්ෂා කරන්නෙ භාණ්ඩ හා සේවා මත පටවන බදුවලින් සාමාන්‍ය ජනතාවගෙන් උදුරාගන්නා බදු මුදලින්. බදු ආදායමෙන් 85%ක් උපයන්න ආණ්ඩුව සැලසුම් කරන්නෙ භාණ්ඩ හා සේවා මත පනවන බදුවලින්. ඉහළ ආදායම්ලාභීන්ගෙන් උපයන ආදායම් බදුවලින් උපයන්නෙ 15%ක් පමණයි. ආදායම් බදු පවා වැටුප් ශ‍්‍රමිකයන් මත පනවන බදුවලින් උපයන්න පසුගිය ආදායම් බදු සංශෝධන පනතින් පියවර ගත්තා. ඉහළ වැටුපක් ගන්නවා ඒ අය බදු ගෙවන්න ඕන. ඒ නිසා ඔවුන් දෙවරක් බදු ගෙවනවා. උපයන වැටුපෙන් ආදායම් බදු ගෙවන අතරෙ, වෙළදපොළේ භාණ්ඩ හා සේවා මිලදී ගනිද්දිත් බදු ගෙවනවා. නමුත් සමාගම්වලට බදු සහන දෙනවා. හම්බන්තොට වරාය මිලදී ගත්ත චීන සමාගමට අවුරුදු 5ක බදු සහනයක් දුන්නා. පහුගිය අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති කිව්වා සේවකයො 300ට වැඩි කර්මාන්ත ශාලා ආරම්භ කරන ආයෝජකයන්ට අවුරුදු 5ක බදුසහන දෙන බව. සමාගම්වලට අත දිගඇරලා බදු සහන ලැබෙද්දි ජනතාවට කිසිම සහනයක් නෑ.

රාජ්‍ය ආදායම රු.බිලියන 1557කින් ඒ කියන්නෙ 71%කින් වැඩි කරනවා. විසර්ජන පනත කියවලා සනීපෙට ඉන් පුලූවන් වතුර උතුරනකං කකුලූවා දිය කෙළිනවා. වගේ. නමුත් අයවැය කතාවෙදි දැනගන්න පුලූවන් මොකක්ද මේ ආදායම් උපදවන්න ආණ්ඩුව කරන්න යන්නෙ කියලා. ඒ ආදායම උපදවන්නෙ ආර්ථිකයෙ නව වටිනාකම්, නිෂ්පාදන ඉහළ නංවලා නෙවෙයි, එහෙම දේවල් කරන්නෙ නැතිව ඒක උපයන්නෙ ක‍්‍රම දෙකකින්. එකක් රාජ්‍ය ව්‍යවසායයන් විකුණා දැමීම, දෙවැනි එක වක‍්‍ර බදුවලින් සාමාන්‍ය ජනතාවගෙන්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලන්කන් වැනි ආයතන විකුණා දමලා ආදායම් උපදවා ගන්න කියලා කොන්දේසි දමා තිබෙනවා. ඒ තුළින් රාජ්‍ය අදායම වැඩිකරගන්න ප‍්‍රමාණවත් නෑ. ඒ නිසා ජනතාවගෙන් බදු ගහලා ආදායම් උපදවන්න ආණ්ඩුව සූදානම් වෙන්නෙ කියලා පැහැදිලියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන දේ තමයි මේ කරමින් ඉන්නෙ. රාජ්‍ය ආයතන විකුණලා ආදායම් පෙන්වනවා, ජනතාව මත බදු පිට බදු පනවලා බදු ආදායම් වැඩි කරනවා. වියදම් කපන්න කියලා ජනතාවගේ සුබසාධන කප්පාදු කරනවා.

මේ විසර්ජන පනත් කෙටුම්පත අනුව රාජ්‍ය වියදම රු. බිලියන 4376න් බිලයන 2057ක්ම තියෙන්නෙ ණයවාරික ගෙවීමට. ඉතිරි වෙන සොච්චමෙන් වැඩිම මුදල වෙන්කරලා තියෙන්නෙ ආරක්ෂක අමාත්‍යංශයට. රුපියල් බිලියන 306.12ක් ලංකාවෙ ඉතිහාසයෙ ආරක්ෂක අමාත්‍යංශය සදහා වෙන් කළ වැඩිම වියදම. යුද්දය තියෙද්දි මේ යුද්දය නිසා තමයි වියදම් වැඩි, ආරක්ෂක කටයුතුවලට ආයුද ගන්න, හමුදාවලට ගොඩක් වියදම් තියෙනවා කිව්වා. මහින්ද රාජපක්ෂ උදේ ඉදන් ? වෙනකං මන්තරේ වගේ මැතිරුවෙ ඔය කතාව. යුද්දෙ වැඩිම වියදම් කරපු 2009දි ආරක්ෂක අමාත්‍යංශය වියදම් කළේ රුපියල් බිලියන 289ක් පමණයි. නමුත් දැන් වෙන්කරනවා රුපියල් බිලියන 306.12ක්. රුපියල් බිලියන 15.42කින් ආරක්ෂක වැය ශීර්ෂය වැඩි කරලා. වැඩි වියදමක් ප‍්‍රාග්ධන වියදම්. අලූත් අවි ආයුද මිලදී ගන්නෙත් නෑ. මේ තරම් දැවැන්ත ආරක්ෂක වියදමක් වෙන්කරන්නෙ මොකටද? කවුරු එක්ක යුද්ද කරන්නද? යුද්ද කරන්න සන්නද්ධ කණ්ඩායමකුත් රටේ නෑ. යුද්දෙ කවුරු එක්කද කරන්න යන්නෙ කියලා හොඳටම පැහැදිලියි, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු ප‍්‍රවාහනයට වෙන් කරන මුදල දිහා බැලූවම. සාමාන්‍ය ජනයාට අවශ්‍ය ඒ වියදම් කප්පාදු කරලා, සමාජ ආරක්ෂණය නැති කරලා ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින ජනතාව මර්දනය කරන්න තමයි, විරෝධතා මැඩලීමට මේ ආරක්ෂක වියදම් වැඩි කරලා තියෙන්නෙ. නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ පොලිසියට පහුගිය අවුරුද්දෙ වෙන් කළේ රුපියල් බිලියන 60.5ක්. මේ අවුරුද්දෙ ඒක රුපියල් බිලියන 73.6 දක්වා බිලියන 13.1කින් වැඩි කරලා. ආරක්ෂක අමාත්‍යංශයට බිලියන 306යි පොලිසියට බිලියන 73යි එකතු කළාම මර්දනයට, ජනතාවට ගහන්න වෙන් කරපු මුදල රු. බිලියන 379.12ක්. යුද්ධයක් නැතිව මේ වියදම සිදු කරන්නෙම මිනිසුන්ට ගහන්න, අලූත් තාක්ෂණය අරගෙන මර්දනය වැඩි කරන්න තමයි මේ වියදම් කරන්නෙ. ජනතාවගෙ බදු මුදලින් ජනතාවට ගහන්න ආණ්ඩුව සූදානම් වෙන්නෙ. ප‍්‍රශ්නය තියෙන්නෙ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට වෙන් කරපු මුලූ වියදමටත් වැඩියෙන් මිනිසුන් මර්දනයට මේ ආණ්ඩුව මුදල් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මේ විසර්ජන පනත් කෙටුම්පතනේ වෙන් කරනවා බිලියන 374ක්. ආරක්ෂක හා පොලිසියට වෙන් කළා බිලියන 379ක්, ගහන්න ඒ මුදල වෙන් කරලා. මේක ගිය අවුරුද්දෙත් මෙහෙමෙයි, මේ අවුරුද්දෙත් මෙහෙම වෙමින් යනවා.

දැන් අධ්‍යාපනයට මොකක්ද කරන්නෙ යන්නෙ බලමු. ගිය අවුරුද්දෙ වෙන්කළා රුපියල් බිලියන 102.8ක්, මේ අවුරුද්දෙ බිලියන 105ක්. යාන්තමට 2.14%කින් අධ්‍යාපනයට වැයශිර්ෂය වැඩි කරලා. නමුත් අපි දන්නවා රුපියලේ අගය 13.3කින් අඩු වෙද්දි මේ වැඩිකිරීමෙන් වැඩක් නෑ. ඇත්තටම වෙලා තියෙන්නෙ වෙන්කරපු මුදල අඩු වෙලා. එහෙම කපන ගමන් තමයි පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් මව්පියන් මත පටවන අලූත් චක‍්‍රලේඛයක් 2019 සිට ක‍්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නෙ. පාසලේ මුලූ වියදම් ඇස්තමේන්තු කරලා ආන්ඩුවෙන් දෙන මුදල අඩු කරන්න. ඉතිරි මුදල, පාසල විසින් සොයාගත යුතු මුදල, පාසලේ ළමයි සංඛ්‍යාවෙන් බෙදලා ඒ මුදල ළමයින්ගෙන් අය කරගන්න කියලා. පාසල් නඩත්තු කරන්න පාසලේ දරුවන්ගෙන් මුදල් අයකරන එක නීත්‍යනුකූල කරන්න මේ අලූත් වැඩපිළිවෙළ ලබන අවුරුද්ද මුල සිට ක‍්‍රියාත්මක වෙන්න යන්නෙ. ආණ්ඩුවෙන් වෙන්කරන මුදල් කපලා මව්පියන් මත අධ්‍යාපනයේ බර පටවන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නෙ. උසස් අධ්‍යාපනයට බිලියන 83.5යි වෙන්කරලා තියෙන්නෙ. මේ මුදල, රැුගුම් පාලක මණ්ඩලය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මේ වගේ ආයතන ගණනාවකට වෙන්කර තිබෙන්නෙ බිලියන 83.5යි. මේකෙන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ගිය අවුරුද්දෙ බිලියන 13.5ක් වෙන්කරලා මේ අවරුද්දෙ බිලියන 16ක් වෙන්කර තිබෙනවා. වැඩිවෙලා තියෙන සොච්චමත් රුපියල අවප‍්‍රමාණවීමත් එක්ක ගණන් ගන්න බැරි තරම්. දැන් විශ්වවිද්‍යාලවල වාහනවලට තෙල් ගහන්නත් කොයි තරම් අමතර වියදමක් යනවද බැලූවම මේ තරම් සොච්චමක් වැඩි කරලා වැඩක් තියෙනවද කියලා තේරෙනවා.

සෞඛ්‍ය සදහා වෙන්කළ මුදල ගිය අවුරුද්දෙ බිලියන 178.4ක්, මේ අවුරුද්දෙ බිලියන 185.99ක් වෙන්කර තිබෙනවා. මේක වැඩි වෙලා බව ඇත්ත, ඒ 4.25%ක වැඩිවීමක් පමණයි. නමුත් 13.3%කින් අවප‍්‍රමාණ වී තිබෙන බවත් මතක තියා ගන්න වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නෙ සෞඛ්‍ය වියදමත් කප්පාදු කිරීමක්. රෝහල්වල රෝගින්ගෙන් මුදල් අයකරන්න අවශ්‍ය මූලික පියවර හැටියට කලූබෝවිල රෝහලේ රෝගින්ට බිලක් ලබා දුන්නා. අපි බිලක් දුන්නට සල්ලි ගන්නෙ නෑ කියනවා. මේ අවුරුද්දෙ එහෙම කියලා ලබන අවුරුද්දෙ සල්ලි ගන්න පටන් ගනියි. බිලක වටිනාකම තියෙද්දි මුදල් අයකරන්න තර්කයක් හදා ගන්නවා. දැන් තියෙන්නෙ බාහිර රෝගි අංශ සම්පූර්ණයෙන්ම වසා දමලා විශේෂඥ වෛද්‍ය සේවා සහ නේවාසික වෛද්‍ය සේවා පමණක් ලබා දෙන්න සැලැස්මක් තියෙනවා. ඉන්පස්සෙ බාහිර ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට පෞද්ගලික මට්ටමේ වෛද්‍ය සේවාවලට මුදල් ගෙවන්න වෙනවා. එහෙම සෞඛ්‍ය සේවා කප්පාදු කරන්න තමයි මේ විදියට සෞඛ්‍ය ප‍්‍රතිපාදන කප්පාදු කරමින් යන්නෙ.

දැන් සාමාන්‍ය ජනතාවට වැදගත්වන ඊළග කාරණය පොදු ප‍්‍රවාහනය. මෙම් වියදම අවුරුද්දෙන් අවුරුද්ද කැපුවා. 2014 බිලියන 75ක් තිබුණා, ඒක 2015දි බිලියන 55 දක්වා අඩු කළා. ඊට පස්සෙ 2017 ඒකත් බිලියන 52ට කැපුවා. පහුගිය අවුරුද්දෙ 2018 ප‍්‍රවාහන වැයශීර්ෂය බිලියන 43 දක්වාම අඩු කළා. දවසින් දවස පොදු ප‍්‍රවාහනයට වියදම් කප්පාදු කරමින් ආවෙ. මේ සැරේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ ඇස්තමේන්තුව රුපියල් බිලියන 69ක් වුණාට වැඩි මුදලක් වෙන්ක තිබෙන්නෙ සිවිල් ගුවන් සේවාවවලට. දුම්රිය සේවයේ පුනරාවර්තන වියදම ලෙස 2018 වෙන්කළේ බිලියන 15ක්, ඊළග අවුරුද්දට බිලියන 16යි, බිලියනයක් පමණයි වැඩි කරන්නෙ. ආපහු අර රුපියලේ අවප‍්‍රමාණවීම බැලූවම මේක කප්පාදුවක්. ඉන්දන වියදම වැඩිවෙද්දි පොදු ප‍්‍රවාහන ගාස්තු වැඩි කළා. දුම්රිය ගාස්තු, බස් ගාස්තු වැඩි කළා. දැන් පෙට‍්‍රල් ලීටරයකින් රු. 60ක විතර බදු අයකරනවා. ඞීසල් ලීටරයෙන් රු. 38ක බදු අයකරනවා ආණ්ඩුව. ඒ බදු මුදල අඩු කරන්න, පොදු ප‍්‍රවාහනයෙ මගීන්ට සහන දෙනවා වෙනුවට මුලූ බරම ජනතාව මත පටවනවා. ඒ නිසා එක් දෙයක් පැහැදිලියි, මේ යන්නෙ මේ දක්වා මහින්ද රාජපක්ෂ ඇතුළු පහුගිය ආණ්ඩු ජනතාව පෙළමින් ගිය පාරෙම තමයි.

දැන් මේ රාජ්‍ය ආදායම් උපදවන්න බදු ගෙවන ජනතාවට ගහන්න බදු මුදලින්ම ප‍්‍රතිාදන වෙන්කරනවා. ඒත් ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න, ජනතාවගේ ලෙඩ රෝගවලට බෙහෙතක් ගන්න ඒ බදු මුදල් වියදම් කරන්නෙ නෑ, ඒ වියදම් කප්පාදු කරනවා. ජනතාවගේ පොදු ප‍්‍රවාහනයට සහ සුබසාධන සියල්ලටම මුදල් නොදී ගහන්න, මර්දනය කරන්න විතරක් බිලියන ගණනකින් මුදල් වැඩි කරලා. පොදු ජනයාට එහෙම කරද්දි තමන්ගෙ ගොඩ වැඩිකරගන්නවා, තමන්ගෙ හැන්දෙන් හොදට බෙදා ගන්නවා. දැන් ජනාධිපතිගෙ වියදම් වැඩිකරලා තියෙන විධිය බලන්න, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා විදියට කිව්වෙ රාජපක්ෂලා කරපු නාස්තිය, අනවශ්‍ය සුඛෝපභෝගි වියදම් කපනවා කියලා. එයා බලයට ආවෙ ගෙදරින් කෙහෙල් කොළේ බත් එක අරන් එනව, බෝල්පොයින්ට් පෑනෙන් ලියන්නෙ, ඔය වගේ බයිලා ගැහුවෙ. දැන් මේ සැරේ විසර්ජන පනතෙන් පොදු ජනයාට අර විදියට සළකන ආණ්ඩුවේ ජනාධිපතිගෙ වියදම් බලන්න. 2016 රුපියල් බිලියන 2.3යි. 2017දි ඒක තුන්ගුණයකින් වැඩි කරලා බිලියන 6.45යි. ඊටපස්සෙ 2018 රුපියල් බිලියන 9.9 දක්වා වැඩි කළා. 2019දි ඒක රුපියල් බිලියන 13.2ක්. දැන් කෝ අර බෝල්පොයින්ට් පෑනෙන් ලියන කෙහෙල්කොළේ ඔතලා ගෙදරින් කෑම ගෙනා ජනාධිපති කොහෙද? ඒවා තමයි, මහින්ද රාජපක්ෂ පාලනයෙදි වංචාව, දූෂණය, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධ පාලනය ගැන, නීතිය අයාලේ යැවීම සම්බන්ධ, මුලූ පවුලක් රටේ බලය අතට ගැනීම සම්බන්ධව තිබුණු විරෝධය, අතෘප්තිය පාවිච්චි කරලා මේ රටේ මිනිස්සු අන්දලා ඡුන්ද ගන් කියපු සුරංගනා කතා. දැන්වත් ජනතාව තේරුම් ගන්න ඕන හැන්ද අතේ තියන අය තමයි බෙදාගන්නෙ.

මෙතනදි මතක් වෙන්නෙ, ඉතාලි ලේඛක ඉග්නාට්සියෝ සිලොනෙගෙ පොතක් තියෙනවා, ‘පාන් සහ වයින්’ කියලා. එකෙ කියනවා ආණ්ඩුවට අත් දෙකක් තියෙනවා, අපෙන් ගන්න නම් දිගම දිග අතක් තියෙනවා, හැබැයි දෙන්න තියෙන්නෙ කොටම කොට අතක්. දිග අතෙන් රටේ කොතන හිටියත් අපෙන් ගන්නවා, කොටම කොට අතෙන් ආණ්ඩුව දේවල් දෙන්නෙ තමන් වටේ ඉන්න අයට විතරයි. අන්න ඒ ඉග්නාට්සියො සිලොනෙ කියන දේ තමයි මේ සැරේ විසර්ජන පනනේ වෙලා තියෙන්නෙ. දේශීය ආදායම් පනත් සංශෝධනයෙන් හැම කෙනාටම බදු ෆයිල් එකක් ඇරලා බදු ගන්නවා. දෙන්න තියෙන කොට අතෙන් බෙදන්නෙ, ජනාධිපතිටයි, ඇමතිවරුන්ටයි, සමාගම්වලටයි, ජාවාරම්කාරයන්ටයි විතරයි. ඒ නිසා මේ විසර්ජන පනතෙන් කියන්නෙ ආණ්ඩුව දිගම දිග අතෙන් ජනතාව හැම කෙනාගෙන්ම බදු ගන්නවා, කොටම අතෙන්, හැන්ද තියෙන අතෙන් තමන්ට කිට්ටු අයටම බෙදාගන්නවා. අයවැය කිට්ටුව නම් කියයි, රුපියල් සීයක් දෙනවා, නත්තල කිට්ටුව සොච්චමක් දෙයි නත්තල් පප්පලා වගේ. මෙන්න සීයයි, මෙන්න රුපියල් දෙසීයක් මල්ලි, ෆ‍්‍රයිඞ් රයිස් කාපන් කියලා. එහෙම රුවටිලිකාර සෙල්ලම් වැඩක් නෑ, රාජ්‍ය ප‍්‍රතිපත්තිය මොකක්ද කියන එකයි වැදගත්. හරිම පැහැදිලියි සාමාන්‍ය ජනතාවගේ ජීවිත විනාශ කරලා ධනකුවේරයන් සුඛිත මුදිත කරවන ක‍්‍රියාවලියක් තමයි ඉදිරියට ගෙන යන්නෙ. ජනතාව මත බදු පටවමින් ජනතාවගේ සහන කප්පාදු කරමින් ගිය ගමනම තමයි මේ ආණ්ඩුව ඉදිරියටත් යන්නෙ කියන එක පැහැදිලියි. ජාතික වශයෙන් වැදගත්වන රාජ්‍ය සම්පත් විකුණා දමමින් කිසිදු අලූත් වටිනාකමක් උපදවන්නෙ නැති සිදුකරන ආර්ථික ක‍්‍රියාදාමයකින් මේ රටේ ජනතාව තවතවත් අගාදයට ඇද දමන පාරෙම තමයි මේ ආණ්ඩුව ගමන් කරන්නෙ.

ඒ නිසා අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත්වලට මේ කප්පාදු ක‍්‍රියාදාමයට, මර්දනය සදහා කරන සූදානමට එරෙහිව විරෝධය පළ කරනවා, ඒ වගේම මේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සංවිධානය කරනවා කියන කාරණය පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම අපි ජනතාවට කියනවා, මේ දක්වා මේ ආණ්ඩුවලට පත් වූ සියලූම දේශපාලන බලවේගවලට සහ ඒවාට මුක්කු ගැසූ දේශපාලනයට කිසිදු සහයෝගයක් නොදිය යුතුයි, ජනතාව විසින් මේ වැරදි ආර්ථික පිළිවෙත් හරහා නැවත තමන් පෙළන, තමන්ගෙ සාක්කුවට විදින සහ විරෝධය පළකරන විට මර්දනය ගෙන එන පාලකයන්ට විරුද්ධව සංවිධානය වියයුතුයි, සංවිධානය වූ ජනතා බලයකින් පමණක් මේ මාරුවෙන් මාරුවට අපව පෙළන, ජනතාව කොල්ල කන ආර්ථික දේශපාලන ක‍්‍රියාදාමය පරාජය කරන්න පාර්ලිමේන්තුවෙන් කිසිදු කෙනෙක් ජනතාවගේ පැත්තට මේ සිදුවන විනාශය වලක්වන්න එන්නෙ නෑ. මේ ආණ්ඩුව මොනවා කියාගෙන ආවත් කරන්නෙ පරණ ආණ්ඩුව කරපු දේමයි, ඊළග ආණ්ඩුව පිහිටුවන්න බලාගෙන ඉන්න උන් කරන්නෙත් කලින් කරපු දේමයි. ඒ නිසා පාර්ලිමේන්තුවට පිටින් ජනතා බලයක් ගොඩනගලා මේ ආර්ථික ගමන වෙනස් කරන්න, ජනතාවට විනාශය අත්කරලා ධනකුවේරයන්, සමාගම්, ජාවාරම්කාරයන් සමෘද්ධිමත්කරන ආර්ථික ප‍්‍රතිපත්ති පරාජය කරන්න ඔවුන් ඔවුන්ට බෙදාගන්න ක‍්‍රමය වෙනුවට ජනතාව විසින් ජනතාව හැමෝටම මේ සම්පත්වල ප‍්‍රතිලාභ බෙදන ආර්ථිකයක්, වමේ ජනතා බලයක් ගොඩ නගන්න පෙළ ගැසෙමු කියන ආරාධනාව අපි කරනවා.