தமிழ்
English
Contact
Monday 10th December 2018    
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය මහමැතිවරණ ඉල්ලමින් දේශපාලන සෙල්ලමක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය මහමැතිවරණ ඉල්ලමින් දේශපාලන සෙල්ලමක!



රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන දෙපාර්ශ්වයම ප්‍රතික්ෂේප කරන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ මීළග මහමැතිවරණය ඉලක්ක කරගත් දේශපාලන හවුලක් ගොඩනැගීමට සූදානම්වන බව දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.

පසුගියදා ජ.වි.පෙ. නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ මෙම දේශපාලන අර්බුදය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා මෙම ප්‍රශ්නය විසදාගන්නට අනිවාර්යයෙන් මහමැතිවරණයකට යායුතු බව සහ එම මහමැතිවරණය සදහා පැවති පාලනය පිහිටුවිය යුතු බවය. ලෝකයේ පිළිගත් කිසිදු සිද්ධාන්තයකට අදාළ නොවන ලෙස ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂ කැදවා උඹ අගමැති මම ජනපති වශයෙන් ආණ්ඩුව පෙරලීමට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කළ බවය. අගමැති ධුරකාලයට හිමි කෙටි කාලයක් මහින්ද රාජපක්ෂ පැහැරගත් බවද ඔහු පෙන්වා දෙන ලදී.

ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණය පිළිබද අදහස් පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජ.වි.පෙ. සාමාජික මට්ටමෙන් සමාජවාදය විශ්වාස කරන පිරිස ඇතුලු වමේ පක්ෂවලට ආරාධනා කරණ ලදී. පෙ.ස.ප. ආරාධනා කළේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගෙනයන බල සූදුවේ නරඹන්නන් හෝ කොටස්කරුවන් නොවී පාර්ලිමේන්තුවෙන් පිටත සැබෑ ජනතා බලයක් ගොඩනැගීමට එක්වන ලෙසයි. එහිදී ජ.වි.පෙ. නායකයා සුපුරුදු ලෙස පවසා තිබුණේ පක්ෂයට ද්‍රෝහිකම් කළවුන් සමග එකතුවීමක් නැති බවය. එසේම ජ.වි.පෙ. සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිවරයා පවසා තිබුණේද ජවිපෙ වම නියෝජනය නොකරන නිසා ඉවත්ව ගිය කණ්ඩායමක් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සළකා බැලිය යුතු බවය. එසේම පාර්ලිමේන්තු බිමල් රත්නායක පසුගියදා පවසන ලද්දේ ශ්‍රීල.නි.ප. හෝ එ.ජා.ප. නොවන මධ්‍යස්ථානයක් ගොඩනැගීමට බලවේග ඒකරාශි කරන්නට තමන් සූදානම් බවය. දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ වමේ දේශපාලන ස්ථාවරයන් හෝ සමාජවාදී විකල්පයක් පිළිබද ප්‍රකාශ නොකරන්නට සැලකිලිමත් වෙමින් වෙනත් දේශපාලන පක්ෂ සමග එක්ව මහමැතිවරණය තුළ බලයක් බවට පත් වීමේ අරමුණක් ජ.වි.පෙ. විසින් ඉදිරිපත් කරන බවය. මේ අතරතුර, දෙමළ ජාතික සන්ධානය හා ජ.වි.පෙ. අරගලවලදී මර්දනය වූ ජනතාව නියෝජනය කරන පක්ෂ ලෙස සමතලයක තබා කථා කරමින් ජ.වි.පෙ. නායකයා කළ අදහස් දැක්වීමක් ඉන්දියාවේ ‘හින්දු‘ පුවත්පතද උපුටා දක්වා තිබිණි.