Posted on 04.04.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නැගී එන මහජන විරෝධය හමුවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ ඇමතිවරු හාස්‍යජනක නාටකයක් රඟදක්වන බව පෙනී යයි.
ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට සහ එහි තීරණවලට මේ දක්වා අත ඔසවා කැමැත්ත පළ කළ සහ රට ඇද වැටෙද්දී නිහඬව සිටි ඇමතිවරු සිය වගකීම ඉටු කරන්නට සූදානම් නැති බව නාමිකව කළ ඉල්ලා අස්වීමෙන් ප්‍රකාශයට පත්ව තිබේ.
අවම වශයෙන් සිදුවන ව්‍යසනය හමුවේ වරද භාර ගනිමින් නිල කටයුතුවල යෙදෙමින් අවිනිශ්චිතභාවයෙන් රට මුදාගන්නට ඔවුන්ට අවශ්‍යතාවක් නැති බව මෙසේ පෙන්නුම්කර ඇත.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා පත් කළ ඇමති මණ්ඩලය ඉල්ලා අස්වි යුත්තේ ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීම භාර දීමෙන් වන අතර වලංගු නොවන පියවරකින් ඉල්ලා අස්වීමේ නාටකයක් රඟපානන්ට ඔවුන් කටයුතුකර ඇත.
ඇමතිවරුන්ගේ ධුර හෝ අගමැති ධුරය අහෝසි වන්නේ ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීම ලිඛිතව භාරදීමෙන්, ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමෙන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අවලංගු වීමෙන් යන අවස්ථා තුනෙන් එකක් ඉටු වුවහොත්ය.
එම නිසා අගමැති මහින්ද ඇතුළු ඔහුගේ ඇමති කුට්ටමේ මෙවැනි විකාර රංගනයන් තුළ පෙනී යන්නේ රට තවදුරටත් අස්ථාවර දේශපාලන වියවුලකට ඇදවැට්ටවීම හරහා බලය රැක ගැනීමේ උපක්‍රමයකට ආණ්ඩුව සූදානම් වෙමින් තිබෙන බවය.