தமிழ்
English
Contact
Thursday 21st March 2019    
'ජනතා සැලැස්ම' කඩදාසියෙන් ඔබ්බට යන, සටන්කරන ජනතාවගේ වැඩපිළිවෙළක් - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ජනතා සැලැස්ම’ කඩදාසියෙන් ඔබ්බට යන, සටන්කරන ජනතාවගේ වැඩපිළිවෙළක් – පුබුදු ජයගොඩ



ජනතා අරගල මධ්‍යස්ථානය, විවිධ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් ඇති අරගලවලට මධ්‍යස්ථානයක් බවද ‘ජනතා සැලැස්ම’ ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ එම ජනතාව වෙනුවෙන්, කඩදාසියෙන් ඔබ්බට යන වැඩපිළිවෙළක් බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඊයේ(27) කොළඹ නව නගර ශාලාවේ පැවති ‘ජනතා අරගල මධ්‍යස්ථානයේ’ සම්මන්ත්‍රණයේදී ‘ජනතා සැලැස්ම’ පිලිබද හැදින්වීමක් කරමින් ඔහු දැක්වූ අදහස්වල සාරාංශයක් පහත පළ වේ.

“අප මේ එක්වන අවස්ථාව සමාජයක් ලෙස මහා අර්බුදයක, දැවැන්ත ව්‍යසනයක ගිලිලා ඉන්න අවස්ථාවක්. මේ තත්වයට වහා පිළියම් සොයා නොගත්තොත් අනාගත පරම්පරාවන් පවා අනතුරකට පත්කරවන කාලයක් මේ. අප අද මුහුණ දී සිටින සමාජ පරිහානිය, ගරාවැටිමත් පිළිබද අප වහා පියවර නොගතහොත් ඒක අප සියලු දෙනා ගිලගන්නා, අප සමාජයක් ලෙස ම්ලේච්ඡත්වයකට ඇද දමන තත්වයක් ලෙස සැලකිය හැකි වෙනවා. අප කුමක් කළ යුතුද කියන අභියෝගය සම්බන්ධයෙන් ජනතා සැලැස්මක් අපි අද ඉදිරිපත් කරනවා. මේ ව්‍යසනය සම්බන්ධයෙන් අප ඉක්මනින් ක්‍රියාකාරි විය යුතුයි කියන අදහසෙන් එක්වී මෙම ජනතා සැලැස්ම ඉදිරිපත් කිරීමට සම්බන්ධවන විවිධ පාර්ශ්ව අතර අපට විවිධ වෙනස්කම් දේශපාලන නොඑකගතා පවතිනවා. ඒ වෙනස්කම් තිබියදී වුවත් අපට එක් කාරණාවක් පිළිබද එකගතාවයකින් එක්ව සිටිනවා. ඒ තමයි, අප මුහුණ දී සිටින මේ ව්‍යසනය පිළිබද ඉක්මනින් විසදුම් සෙවිය යුතුයි කියන එකත් ඒ සදහා අපි උපරිමයෙන් අපේ ශ්‍රමය හා කාලය වැය කරමින් ප්‍රයත්න දැරිය යුතුයි කියන කාරණයෙදි අපි සියලු දෙනා එහි බැරෑරුම්කම වටහා ගෙන සිටීම. ඒ ප්‍රයත්නය වෙනුවෙන් සියලුම වෙනස්කම් තිබියදී එක්ව වැඩ කරන්න සූදානම් පිරිසක් ලෙස අපි එකතු වී ඉන්නවා. මේ සමාජ ව්‍යසනයේ බරපතළකම හමුවේ අප ඉක්මනින් ක්‍රියාකාරී වියයුතුයි කියන කාරනයෙදි අප අතර ඇති වෙනස්කම් ද්විතීක කාරණා බවට පත්ව තිබෙනවා.
මේ සමාජ අර්බුදය හමුවේ පාලක පන්තිය මුහුණ දෙමින් සිටින තත්වය අප වටහා ගැනිමක් කරන්න උත්සාහ කළොත්, මේ වනවිට පාලනය පවත්වාගෙන යන ධනවාදී පාලකයන්ට ඔවුන්ම වසර දෙසීයකට පමණ පෙර හදුන්වා දුන් සම්මතයන්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ උල්ලංඝනය කරන්න වෙලා තිබෙනවා. ඔවුන්ම කියපු ප්‍රමිතීන් කඩා බිද දමමින් සමාජයට මහත් පීඩාකාරි විසදුම් තමයි ඔවුන් ඉදිරිපත් කරමින් සිටින්නෙ. මේක එක්සත් ජනපදයෙදි ඩොනල්ඩ් ට්‍රම්ප්ට වගේම, ඉන්දියාවෙ නරේන්ද්‍ර මෝඩිටත් කරන්න සිදුවෙලා තිබෙනවා. ලංකාවෙදිත් ඒ පීඩාකාරී විසදුම් පමණයි ඉදිරියට ගෙන යමින් තිබෙන්නෙ. අප මුහුණ දෙන තත්වය වටහා ගන්න ඒ ගැන කිසියම් අදහසකට පැමිණිය යුතුයි. දැන් පහුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුළ හදුන්වා දුන් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ සංශෝධන පනතට අපි කිව්වෙ ඇගිලි සළකුනු පනත එහෙම නැත්නම් ‘අංගුලිමාල පනත’ කියලා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනමත් එයින් අහෝසි වෙනවා. ඉස්සර රජවරු හිටිය යුගයෙදි දේවවරම්වාදය කියන අදහස නිසා රජුට ඕන දේකට මැදිහත් වෙන්න පුලුවන්කමක් තියෙනවා කියලා කිව්වා, රජා මනුෂ්‍ය ශරීරයට මැදිහත්වන තරමේ බලයක් සහිත පුද්ගලයෙක් බව පිළිගත්තෙ ඒ කාලෙ. මහින්ද රාජපක්ෂ පාලනය කාලෙ ගෙනාව මේ අංගුලිමාල පනතේ අදහස වුණෙත් රජයට මිනිස් ශරීරයේ ලක්ෂන පිළිබද දැනගන්න ඕන, කියන පැරණි වැඩවසම් අත්තනෝමතිකත්වයයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවෙ රජයට වුනත් පුද්ගලයාට මැදිහත්වෙන සීමාවක් තිබෙනවා, පුද්ගලයාට හිමි අයිතිවාසිකම්, ස්වාධීනත්වය උල්ලංඝනය කරන්න රජයට බෑ කියන අදහසයි. ඒ නිසා තමයි පුරවැසියාගෙ ශරීරයට අත තියන්න රජයට, අයිතියක් නෑ කියලා කිව්වෙ.
ජීවදත්ත වුණත් පුද්ගලයාගෙ කැමැත්ත ඇතිව රජයට ලබාගන්න පුලුවන් හැබැයි, ජෛවිමිතික ලක්ෂණ ගැන දැනගන්න රජයට අයිතියක් නෑ, ඒවා පෞද්ගලිකයි. රජයට පුලුවන් මගේ නම, ලිපිනය, රැකියාව, විවාහකද නැද්ද යන කරුණු දැනගන්න. ලිපිනය වෙනස් වෙනවා නම් ග්‍රාමසේවකට දැනුම් දෙන්න කියලා කියන්නත් පුලුවන්. නමුත් රජයට බෑ, මගේ ශරීරයට අත කියන්න, මගේ ඇගිලි සලකුණු, ඇසේ කුණීතය, ජාන ලක්ෂණ ඒවා ගන්න අයිතියක් නෑ. ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විසින් ලබා දුන් මූලධර්මයක්. ඒක සමාජවාදය විසින් ගෙනාව අදහසක් නෙවෙයි. ඉතින් 2017දි ලංකාවෙ පාර්ලිමේන්තුවේදි ඒ අයිතිය පවා සාමාන්‍ය දෙයක් හැටියට උල්ලංඝනය කරන අංගුලිමාල පනත සම්මත වෙනවා. එදා පාර්ලිමේන්තුවේ සියලු දෙනා කිසිම ප්‍රශ්නයක් නැතිව අත උස්සනවා. මහින්ද රාජපක්ෂ පාලනයෙන් ගෙනාව මේ නීතිය රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුව විසින් සම්මත කළා. නීතිය ගෙනාවෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයෙන්. සම්මත කළේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂවල ඔක්කොමලා ඒකට හවුල් වුණා. දැන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් පවා ඒ අයිතිය ප්‍රතික්ෂේප කරලා තියෙද්දි වාමාංශිකයන්ට, ප්‍රගතිශීලී අයට මේ අයිතිය ගැන කතා කරන්න සිදුව තිබෙනවා.
උද්ඝෝෂණය කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කර තිබියදී උද්ඝෝෂණය කරන්න අයිතියක් නෑ. කසළ කන්දක් නිසා පානීය ජල මූලාශ්‍ර දූෂණයවීම ගැන බලධාරින් පියවරක් නොගත් නිසා පොලොන්නරුවේ රොටවැව සහ මැදිරිගිරිය ජනතාව කළ විරෝධතාවකට පස්සෙ මාර්ගය අවහිර කළ බවට චෝදනා නගලා ගම්වැසියන් තුන්දෙනෙක් සති තුනක් සිරගතකරලා. අධිකරණය ස්වාධීනයි කියලා කිව්වෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිති විරෝධියි කිව්ව නිසා. අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදයෙ මුර දෙවියා කියලා හරියටම දවස් 14ට පස්සෙ අපි දැක්කා පාලකයන් හා ජනතාව අතර ප්‍රශ්නය එනකොට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය බේරන්නෙ කොහොමද කියලා. අධිකරණය කියන්නෙ පානීය ජල අයිතිය පිළිබද ප්‍රශ්න නීතියට අදාළ නෑ උද්ඝෝෂණ නීතියට අදාළයි කියලා. එයින් පැහැදිලි වෙනවා අධිකරණය පාලක පන්තියේ අවියක් බව. ජනාධිපති මෛත්‍රිපාල සහ හිටපු ජනාධිපති මහින්ද පාර්ලිමේන්තු වටරවුම වහගෙන බොරැල්ලෙ සිට යන කඩුවෙල, නුවර පාර වහගෙන දවසක් රැස්වීම් තියද්දි අධිකරණයට ඒ නිතිය අදාළ නෑ. රනිල් වික්‍රමසිංහලා කොල්ලුපිටිය හන්දිය, ගාලුපාර වහගෙන දවස් ගණන් රැස්වීම්, පෙළපාළි යද්දි ඒ නීතිය අදාළ නෑ. පොළොන්නරුවෙ ගොවි ජනතාව, අපේ පානීය ජලයට ඌරු වසුරු එක්වීම නවත්වනු කියලා විරෝධය පළ කරද්දි තමයි අධිකරණය ඔවුන් අල්ලලා හිරේ දාන්නෙ රැකියා විරහිත තරුණ තරුණියො රැකියාව අයිතියක් කියලා විරෝධතා දක්වද්දි හිරේ දානවා. ශිෂ්‍යයෝ අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව පාසල්වල මුදල් අයකරන්න එපා කියලා උද්ඝෝෂණ කරනකොට තමයි අල්ලලා අධිකරණයට ගෙනාවම හිරේ දාන්නෙ. ඒ නිසා තවදුරටත් මේ නීතිය හා ප්‍රජාතන්‍ත්‍රවාදය කියන දේවල් සම්පූර්ණයෙන් පාලකයන්ගෙ අවශ්‍යතා අනුව පවත්වාගෙන යන තත්වයක් තියෙනවා. අපි යෝජනා කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නැවත අර්ථකථන ලබාගත යුතුයි කියලා.
අවුරුදු සිය ගණනක් පැරණි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සංකල්ප අද ව්‍යවස්ථාමය ලියැවිලි ලෙස පමනක් තිබෙනවා. දේශපාලනයේදිත් නීතිය හමුවේත් සියල්ලෝ සමානය කියන අදහස පවා අද අපේ පාලක කණ්ඩායම් විසින් උල්ලංඝනය කරමින් තිබෙනවා. 1789 ප්‍රංශ විප්ලවයෙදි ජින් ජැක්ස් රූසෝ විසින් සම්ප්‍රදායිකව ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ඊට වඩා පුලුල් තලයකට ගෙනාවා. ආර්ථික ජීවිතයෙදිත් සමානාත්මතාවය හිමිවන සියලු සමාජ අයිතිවාසිකම් සුරක්ෂිතකරන සමාජයක් පිළිබද අදහස ඔවුන් ඉදිරිපත් කළේ. සෝවියට් ව්‍යවස්ථාව ලියද්දි පදනම් කරගත්තෙ ඒ මූලධර්ම. නමුත් දැන් පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදය වශයෙන් ගෙන එන්නෙ තමන්ගෙ බලය තහවුරු කරගැනීමේ සීමාව තුළ ඇති නීති පමණයි. ඒ නිසා, මූලික මිනිස් අයිතිවාසිකම්, දේශපාලන නිදහස ව්‍යවස්ථාවෙ ලියලා තිබුණට වැඩක් නෑ, සමාජයක් තුළ ඒවා ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන කාරණය වැදගත්. අද වනවිට දේශපාලන සාකච්ඡාවල එන්නෙ ආර්ථික අයිතිවාසිකම්, අධ්‍යාපනයෙදි, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුලු සුබසාධනයන් ලබාගනිද්දි සමානාත්මතාවය හිමිකරගන්නෙ කොහොමද? රැකියාව පිළිබද අයිතිය සුරක්ෂිත කරන්නෙ කොහොමද? කියන පැත්තෙන්.
නමුත් අපේ රටේ පාලකයන් ජීවත්වීමේ අයිතිය පවා පිළි අරගෙන නෑ. සෝල්බරිගෙත් නෑ, 1972 ව්‍යවස්ථාවෙත් නෑ, 1978 ව්‍යවස්ථාවෙත් ජීවත්වීමේ අයිතිය ලබා දීලා නෑ. ඒ නිසා ජීවත්වීමේ අයිතිය තහවුරු කරගැනීමේ අරමුණ ඇතිව ව්‍යවස්ථාවක් සකස්කර ගැනීම අපට සාකච්ඡා කරන්න තිබෙනවා. මේ වනවිට ව්‍යවස්ථාවක් ගැන කතාකරන සාකච්චා ගණනාවක් මතු වෙලා තියෙනවා. ඒ කිසිම සාකච්චාවකදි මේ ප්‍රශ්න සම්බන්දයෙන් සාකච්චා වෙන්නෙ නෑ. පාර්ලිමේන්තුවේ විවිධ සාකච්චා කෙරෙනවා, පාලකයන්ගෙ පැත්තෙන් විවිධ බල ව්‍යාපෘති අනුව සාකච්ඡා ගෙන එනවා, විවිධ අයිතිවාසිකම් ගැන කතා කියනවා, නමුත් ඇත්තටම ජනතාවගේ ජීවිතයට අදාළව බලපාන මූලික ගැටලු විසදන්නට කිසිම වයවස්ථාමය අයිතිවාසිකමක් සුරක්ෂිත කරන්න ඒ සාකච්ඡා යොමු වෙන්නෙ නෑ. ඒ නිසා ඉහළ පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සාකච්ඡාව වෙනුවට පහළ පාන්තික පීඩිත ජන කොටස්වලට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමේ ප්‍රමුඛතාව අපට තිබෙනවා.
මොණරාගල ඉඩම් අහිමිකරපු ජනතාවගේ ගැටලුවලටත්, රජරට වකුගඩු රෝගීන්ගෙ අයිතිවාසිකම් පිළිබදවත්, පාසල්වලට ගුරුවරුන් ලබා නොදීම සම්බන්ධ ගැටලුවටත් විසදුම් දෙන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රකින ක්‍රමයක් ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මේ ගැටලු පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්න හැටියට අරගෙන විසදුමක් සකස් කරලා නෑ. අලි වැටක් හදන්න මුදලක් නොදී ජනතාව ජීවිත බිලිදෙන තත්වය නිසා ඔවුන්ම මුදල් වැයකරලා අලිවැට හැදුවම විදුලිය දෙන්නෙත් නෑ, රජයේ ප්‍රමිතියට හැදුවද දන්නෙ නෑ කියලා. මේ විදියට අවනඩුවලට මුහුණ දෙන ජනතාවගේ අරමුනු ඉටු කරගන්න තමයි අපි ජනතා සැලැස්මක් යෝජනා කරන්නෙ. ජනතාවගේ අරමුනු ක්‍රියාත්මක කරන ජනතා නියෝජිතයෙක් පත්කරගන්න අපි යෝජනා හදනවා. ඡන්දය දෙන ජනතාව වෙනුවෙන් වැඩ කරන්නෙ නැති නියෝජිතයන් ආපසු කැදවීමේ අයිතිය ජනතාවට දෙන ක්‍රමයක් අපි යෝජනා කරනවා.
ජනතාවගේ බලය ක්‍රියාකාරිවන ව්‍යවස්ථාවක් ගැන වාමාංශිකයන් හැටියට අපට යෝජනා ගොඩක් තිබෙනවා. සෝවියට් සභා ගැන අදහස් ඉදිරිපත් වුණා. නමුත් ඒ ස්ථාවරයන් පිලි නොගන්නා කෙනෙකුට වුවත් අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ආරක්ෂාවන ආකෘතියක් සදහා මේ ජනතා සැලැස්මේ යෝජනා ඉදිරිපත් කරන්න අපට හැකිවී තිබෙනවා.
මේ රටේ ව්‍යවස්ථා හදපු කිසිම දවසක සාමාන්‍ය ජනතාවගේ අදහස් යෝජනා අරගෙන නෑ. අපි යෝජනා කරන්නෙ ජනතාවගේ පුලුල්තම නියෝජනයකින් යෝජනා සම්මත කරගෙන ව්‍යවස්ථාවක් සකස් කරලා ඒ ගැන පුලුල් සමාජ සංවාදයකට අවස්ථාව හදලා ඔවුන් විසින් සම්මත කරන්න, ජනමත විචාරණයකින් පමණයි මේ ව්‍යවස්ථාව සම්මත කරන්නෙ. අනෙක් අතට දැන් තියෙන මැතිවරණ ක්‍රමය කියන්නෙත් ජනතාවගේ නියෝජනය, ජනතා කැමැත්ත නිරූපණය කරන මත ප්‍රකාශ කිරීමක් තේරීමක් කරන අවස්ථාවක් නෙවෙයි. රාජ්‍ය විසින් ධනය, බලය, මැර බලය, රාජ්‍ය සම්පත් යොදාගෙන මාධ්‍ය බලයෙන් ජනතාවගේ මතය විකෘති කරන මැතිවරණ ක්‍රමයක් තියෙන්නෙ. ඒ වෙනුවට ස්වාධීන මතයක් ප්‍රකාශ කරන්න පුලුවන් විවිධ මත සම්බන්ධ තීරණයක් ගන්න අවස්ථාව සලසන මැතිවරණ ක්‍රමයක් අප යෝජනා කරනවා.
ඊළගට ජනතාවගේ අයිතිවාසිකම් අතර අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප්‍රවාහනය, තොරතුරු දැනගැනීම වැනි දේ ගැන තහවුරු කිරීමක් ව්‍යවස්ථාවෙන් සිදුකළ යුතුයි.
මේ දක්වාම ජනතාවගේ අයිතිවාසිකම් ඒ ඒ ආණ්ඩුවලින් කප්පාදු කරන්න යද්දි ඒ අයිතිය ආරක්ෂා කරගත්තෙ ජනතාව පාරට බැහැලා. සුබසාධන කපද්දි, අධ්‍යාපනය, සෞඛ්‍ය අයිතින් කපද්දි ජනතාව පාරට බැහැලා ඒ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හඩ නැගුවා. සයිටම් ආයතනය මේ මහජන නියෝජිතයො කියන අය පාර්ලිමේන්තුවෙදි ආරක්ෂා කළා. විධායකය, සයිටම් ආයතනය ආරක්ෂා කළා. ගැසට් නිවේනයකින් සයිටම් ආයතනය පිලිගත්තා. අධිකරණය පවා ඒ උපාධිය පිලිගන්න කියලා තීන්දු කළා. නමුත් ජනතාව, සටන්කරලා පාරට බැහැලා සයිටම් ආයතනය වහන තැනට පාලකයන්ට බලකළා. ජනතා බලයෙන් ඔය කියන ත්‍රිමුර්තියම පරාජය කළා. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නෙ නැත්නම් ඒ ත්‍රිමූර්තියම ජනතාවගේ බලයට යට කරන්න පුලුවන්.
මේ ආකාරයට, ගොවි ජනතාව, ධීවර ජනතාව, සුලු පරිමාණ නිෂ්පාදකයන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ජනතාව හැටියට ඒ ඒ අවස්ථාවල ආරක්ෂා කරගත් අයිතිවාසිකම් තිබෙනවා. ඒ නිසා සියලු ක්ෂේත්‍රවල සටන්කරන ජනතාවට ඒකරාශි වෙලා තමන්ගෙ යුක්ති සහගත අරමුණු ඉටු කරගන්න අවස්ථාවක්, ශක්තිමත් වේදිකාවක් අවශ්‍යයි. රාජ්‍ය, පෞද්ගලික අංශවල වගේම වෙනත් විවිධ ක්ෂෙත්‍රවල වැඩකරන ජනතාව, කාන්තාවන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් මේ සියලු දෙනාට තමන් විශ්වාසකරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න, අහිමි කර ඇති අයිතිවාසිකම් ජයග්‍රහණය කරන්න අවශ්‍ය ක්‍රියාකාරි මධ්‍යස්ථානය ජන අරගල මධ්‍යස්ථානය බවට පත්කරගන්න අපට පුලුවන්. ඒ වෙනුවෙන් අපි වාමාංශික පක්ෂ එකත් වෙලා ඉදිරිපත් කරන මේ ජනතා සැලැස්ම සමග වැඩ කරන්න, ඒ වගේම තවදුරටත් ඒ අරමුණු සමග එක්ව වැඩකරන්න සූදානම් බලවේග සමග කටයුතු කරන්න අපිට අපේක්ෂාවක් තිබෙනවා.
මේක කොළඹ ගොඩනගන මාධ්‍ය සංදර්ශනයක් හැටියට නෙවෙයි, ගම්මට්ටමෙන්, ප්‍රාදේශීයව බිහිකරන විකල්ප ජනතා බලයක් ගොඩනගන මධ්‍යස්ථානයක්. ජනතා අරගල මධ්‍යස්ථානයේ ‘ජනතා සැලැස්ම’ අන්න ඒ අරමුණු වෙනුවෙන් අප ඉදිරිපත් කරන යෝජනාවක්. මේක කඩදාසියක් ලෙස නොව ජනතා බලයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන්න ශක්තිය, ධෛර්ය සහ ප්‍රඥාව සියලු දෙනාට ලැබේවා.”