தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ජනමාධ්‍ය ඇමති ඩලස්, ලොක්කන්ගෙ රෙදි සමග හමුදා නිල ඇඳුම් සෝදයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනමාධ්‍ය ඇමති ඩලස්, ලොක්කන්ගෙ රෙදි සමග හමුදා නිල ඇඳුම් සෝදයි!



හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත්වීමේදී අනවශ්‍ය තත්වයක් උද්ගත වී නැති බව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ හදිසි නීති රෙගුලාසි පනවමින් ඇතැම් සිවිල් කටයුතු සඳහා හමුදාව යෙදවීම ගැන සිය අවධානය යොමු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

මෙරට සිවිල් කටයුතු සඳහා යුද හමුදාව මැදිහත්වීමේ ගැටලු ගණනාවක් වාර්තා වී තිබියදී සහ කෝවිඩ් මර්දන බලකාය හමුදාපතිගේ මූළිකත්වයෙන් ගෙන ඇති වැරදි තීන්දු කරුණු සහිතව ඔප්පු වී තිබියදී මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. එපමණක් නොව, තමන් විසින් හමුදාවේ අනවශ්‍ය මැද්හත්වීම් නැතැයි අසත්‍ය පවසන අතර තම රටේ සියලු දෙනාද ඊට සාක්ෂිකරුවන් විය හැකි බව ද ඇමතිවරයා පවසා ඇත.

ඇමතිවරයා විසින් මේ ආකාරයට හමුදාව විසින් සිදුකළ අනවශ්‍ය මැදිහත්වීම් කිසිවක් නැතැයි ආණ්ඩුවේ වැරදි තීරණ සම්බන්ධ සුදු හුණු ගෑම සිදුකර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

යුද සමයේ පැවති අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ඇතැම් හමුදා නිලධාරින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළ නමුත් පසුව විමර්ශන සහ නඩු කටයුතු අතරමැද ඔවුන් නිදහස් කර යවන ලද්දේ වත්මන් ආණ්ඩුව විසිනි. විශේෂයෙන් මිනිමැරුම් චෝදනාවලට වරදකරුවන් වූ හමුදා නිලධාරින් නිදහස් කිරීම ජාත්‍යන්තර වශයෙන් අවමානයක්ව තිබේ. යුද හමුදාවේ කටයුතු සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නමුත් ඒ සම්බන්ධ විමර්ශන කරන බවට පොරොන්දු වී පසුව කිසිවක් නොකිරීම හේතුවෙන් ආණ්ඩුවේ වගවීම සම්බන්ධ මානව හිමිකම් සමුළුවේදී චෝදනා මතුව ඇත.

දෛනිකව යුද හමුදා සෙබලුන් විවිධ අපරාධවලට සම්බන්ධ වන බවට වාර්තා මතුවන අතර අපරාධ සිදු කර ගැලවීමට හමුදා නිල ඇඳුම පාවිච්චි කළ හැකි බවට මතයක් පොද්වේ හමුදා සේවය තුළ ස්ථාපිත වී ඇත.

සිවිල් කටයුතු සඳහා නිලධාරින් ලක්ෂ ගණනක් වැටුප් ලබමින් සේවය කරද්දී ඊට යුද්ධය සඳහා පුහුණුකළ සෙබලුන් යොදවමින් ආණ්ඩුව විශාල ගැටලු රාශියක් සමාජය වෙත මුදා හැර ඇත. කෝවිඩ් වසංගතය පැමිණි මුල් වකවාණුවේදී නාවික හමුදා මෙබලුන් ඊට යෙදවීමේ දෝෂය මනාව අනාවරණය කරමින් වැලිසර කඳවුරකටම කෝවිඩ් රෝගය බෝ කෙරුණේ ආණ්ඩුවේ සහ හමුදාපතිවරයාගේ වැරදි තීන්දු නිසා බව තවමත් පිළිගෙන නැත. දිගින් දිගටම සිවිල් කාර්ය සඳහා සෙබලුන් යොදාගැනීමේ දෝෂයන් පිළි නොගෙන ජිනීවා සමුලුවේ ප්‍රකාශ වලට පිළිතුරු දීමේ ලොන්ඩරි කාර්යභාරයක් ජනමාධය ඇමතිවරයා විසින් භාර ගෙන ඇත.