தமிழ்
English
Contact
Monday 10th December 2018    
ජනාධිපතිගෙ තීරණයකට අභියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ! - නීතිපති ජයන්ත ජයසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිගෙ තීරණයකට අභියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ! – නීතිපති ජයන්ත ජයසූරිය



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පවසයි.

නීතිපති ජයන්ත ජයසූරිය විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අදාළ පෙත්සම් ඊයේ(5) දෙවැනි දිනටද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කරන අවස්ථාවේදී කරුණු දක්වමිනි.

ජනාධිපතිගේ ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් මගින් අභියෝග කළ නොහැකි බවත් පැවසූ නීතිපතිවරයා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්තේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් ජනාධිපතිට එරෙහිව සම්මත කර එම චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බවත් කියා සිටියේය.

පසුගිය නොවැම්බර් 09 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට පත් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගන්නා ලදී. අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රධානියා ලෙස කටයුතු කරන එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා, පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින්, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බව කියා සිටියේය.  ජනාධිපතිවරයා එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක, ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2) (අ ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව පවසමින්, ඒ අනුව ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී යෝජනාවක් සම්මත කර, එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපති ජයන්ත ජයසූරිය පෙන්වා දී තිබේ. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය කළ යුතු වන්නේ, චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කිරීම බව පවසන නීතිපතිවරයා, එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.