தமிழ்
English
Contact
Monday 17th June 2019    
ජනාධිපතියි, අගමැතියි විධායක ක්‍රමය හා ව්‍යවස්ථාවක් ගැන දුන් පොරොන්දුව කැඩුවා - සරත් විජේසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතියි, අගමැතියි විධායක ක්‍රමය හා ව්‍යවස්ථාවක් ගැන දුන් පොරොන්දුව කැඩුවා – සරත් විජේසූරිය



නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ තමන් ඇතුලු සිවිල් සමාජ කණ්ඩායම්වලට හා ජනතාව ඉදිරියේ දුන් පෙරොන්දු කැඩූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් දැන් කිසියවක් අපේක්ෂා කළ නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

දේශපාලන නායකත්වයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කර එය සම්මත කරගත නොහැකි බව පෙන්වා දුන් මහාචාර්යවරයා වත්මන් නායකයන් දෙදෙනාටම  ඒ සඳහා අවංක වුවමනාවක් නොමැති බවද පෙන්වා දෙයි. අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අසත්‍ය ප‍්‍රචාරවලට පිළිතුරු යන තේමාවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී අද (8) සංවිධානය කළ මහජන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මෙසේද කීය.

‘‘2015  ජනාධිපතිවරණය පැවැත්වීමේදී  රටට අවධාරණය කළ කරුණ තමයි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක්  නිර්මාණය කරනවා කියන එක.  ඒ වගේම ඒ ජනාධිපතිවරණයේ තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන එක.

ඒ වෙනුවෙන් නිර්පාක්ෂිකව පොදු අපේක්ෂකයෙක් තෝරා ගෙන සෝභිත හාමුදුරුවෝ  ප‍්‍රභල නායකත්වයක් ලබා දුන්නේ මේ රට  නීතිය මත පාලනය කරන රටක් බවට පත්කරන්නයි.

මම මේ රටේ ජනාධිපති වෙලා ඉන්නෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති බවට පත්වෙලා ඉන්නෙත් සෝභිත හිමියන් ගොඩනගපු ඒ ව්‍යාපාරය නිසා  බවත් උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය  අහෝසි කිරීමට කටයුතු කරන බවත් මෛත‍්‍රීපාල  සිරිසේන මහතා සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයේදී  ලෝකයටම ඇහෙන්න  ප‍්‍රතිඥාවක් දුන්නා.

ඉන්පසු සෝභිත හිමියන්ගේ ගුණසමරු දෙකේදීම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ ගැන කතාකළේ නැහැ. තුන්වන ගුණ සැමරුවේදී ඔහු කුමන්ත‍්‍රණය කරලා මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත් කළා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමටවත් මෛත‍්‍රීපාල  සිරිසේන ඔහුගේ ධූර කාලය තුළ ඉඩ ලබාදෙන්නේ නැහැ කියන එක අපිට ඉතාම පැහැදිලියි. මේ තිත්ත ඇත්ත අපි තේරුම් ගත යුතුයි.

විධායක ජනාධිපති ක‍්‍රමයට මුල සිට විරුද්ධ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විධායක ජනාධිපති ක‍්‍රමය තියාගන්න ඕන කියලා  කියන්නේ මෛත‍්‍රීපාල සිරිසේන නිසයි.  ආරම්භයේදී මේ ගැන තිබුණු  අදහස් දැන් වෙනස් වෙලා තියෙනවා.

ලංකාවේ  පළවෙනි වතාවට  තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කිරීමට මහජන අදහස් ලබාගත්තේ. ඉන්පසු මුළු පාර්ලිමේන්තුවම  සහභාගි කරගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම දැම්මා.

දේශපාලන නායකත්වය එයට අවංක වුවමනාවක් කැපවීමක් නැත්නම් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් නිර්මාණය කරලා ඒක සම්මත කරගන්න බැහැ. අද අපිට පේනවා මේ නායකයන් දෙදෙනාටම  ඒ අවංක වුවමනාව නැති බව. රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් මේක  අතහැරලා තියෙනවා.

අපි සිවිල් සංවිධාන  නියෝජිතයෝ විදියට මුල ඉඳලම ජනාධිපතිවරයාටත්,  අගමැතිවරයාටත් දන්වා  සිටි දේ තමයි ඔබ දෙදෙනා එකට එක වේදිකාවක ඉඳගෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවක් සම්බන්ධයෙන්  ජනතාවට අවබෝධයක් ලබාදීමේ ව්‍යාපාරය ගොඩනගන්න කියලා. මේ දෙදෙනා මේ කටයුත්තට එකඟ වුනේ නැහැ.

අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුත්ත වෙනුවෙන්  පහුගිය කාලය තුළ මහජනතාව  දැන්වත් කිරීමට විවිධ මට්ටමින්  කැපවුනේ සිවිල් සංවිධාන පමණයි.  ඒකට අවශ්‍ය දේශපාලන නායකත්වයක් ලැබුණේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ධූර කාලය තුළ කවුරුන් මොන තරම් උත්සාහ කළත් පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත ඉටුවන්නේ නැහැ. ඒක ඉටුකරන්නට අවශ්‍ය වාතාවරනය මේ වනවිට පාර්ලිමේන්තුවේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළේ  සෝභිත හිමියන් මුලා කිරීම පමණක් නෙමෙයි ඉතාම නින්දිත  විදියට මේ රටේ සුලූ ජාතිකයන් පවා මුලා කළා. දැන්  අන්තවාදී  කොටස් සමඟ එකතු වෙලා ඔවුන්ගේ පිහිටෙන් නැවත වරක් විධායක  ජනාධිපති වීමේ සිහිනයක් දකිමින් සිටිනවා’’

(මූලාශ්‍රය – ලංකාදීප)