தமிழ்
English
Contact
Friday 6th December 2019    
ජනාධිපතිවරණයට දින 4යි - අමෙරිකාව, චීනය, ඉන්දියාව විමසිල්ලෙන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයට දින 4යි – අමෙරිකාව, චීනය, ඉන්දියාව විමසිල්ලෙන්!



මෙවර ජනාධිපතිවරණය කෙරෙහි එක්සත් ජනපදය, චීනය සහ අසල්වැසි ඉන්දියාව විමසිල්ලෙන් බලා සිටීන බව විදේශ පුවත් ඒජන්සි වාර්තා කරයි.

මෙවර ජනාධිපතිවරණයේදී තරග වදින අපේක්ෂකයන් අතර චීනය සමඟ පක්ෂපාතිකම් පවත්වන ගෝඨාභය රාජපක්ෂත් අමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය ඇතැයි සැලකෙන වත්මන් පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසත් තීරණාත්මක තරගයක යෙදී සිටී. ඊටත් අමතරව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 33 දෙනකු අතුරින් ගෝඨාභයට හා සජිත්ට සහාය පළකරන අපේක්ෂකයන් 12 සිටින බව මැතිවරණ කොමිසමෙන්ම අනාවරණය කරන ලදී. ඒ අනුව මෙම අනුග්‍රාහකත්වය එකී සහායක අපේක්ෂකයන්ප්‍රෙචාරක ව්‍යාපාර සඳහාද හිමිවන බව පැහැදිළිය. පසුගිය 2015 ජනාධිපතිවරරණයේදී මහින්ද රාජපක්ෂට විදේශ තානාපති කාර්යාල හරහා මෙන්ම ඇතැම් සමාගම්වල ගිනුම්වලින් අරමුදල් පොම්ප කළ බවට පසුව අනාවරණය විය. මේ අතරම අසල්වැසි ඉන්දියාව එක්සත් ජනපදයට පක්ෂපාතිව එහෙත් චීනයට පසමිතුරුව ලංකාවේ දේශපාලන බලතුලනය පාලනය කිරීමේ අරමුණකින් කටයුතු කරයි.

රාජපක්ෂ පාලනය තුළ චීනය ලංකාවේ ආර්ථික ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති දියත්කළ අතර එය එක්සත් ජනපදයේ අවධානයට යොමු වූ අතර 2015දී බල හුවමාරුවේදී ප්‍රධාන කාර්යභාරයක් ඉන්දියාව මෙන්ම එක්සත් ජනපදය ඇතුලු බරහිර රටවල තානාපති කාර්යාල විසින් ඉටුකළ බව රහසක් නොවීය. එක්සත් ජනපදයේ අරමුණ ආසියානු මහද්වීපයේ මෙන්ම ඉන්දිය සාගර කලාපයේ චීනය විසින් ව්‍යාප්ත කරන ‘තීරයක්-මාවතක්‘ වැඩපිළිවෙළට එරෙහිව සිය ‘ආසියාවට හැරෙමු‘ වැඩසටහන ශක්තිමත් කිරීමය. මේ වෙනුවෙන් ඇක්සා ගිවිසුම ගෝඨාබය රාජපක්ෂ 2007 අත්සන් කරනු ලැබ රනිල් වික්‍රමසිංහ එය කාල නියමයක් නැතිව දීර්ඝ කරනු ලැබිණි. පසුගිය කාලයේ ‘සෝෆා‘ ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය පසුබිම රනිල්-මෛත්‍රි ආණ්ඩුව විසින් සකස්කළ අතර නවතම පියවර වන්නේ මෙරට ඉඩම් අයිතිය නිදහස් කරමින් එක්සත් ජනපද ප්‍රාග්ධනයට මාවත විවිර කරනු ලබන මිලේනියම් චැලෙන්ජ් වැඩසටහනය.

ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද පුරවැසියකුව සිටියදී 2005 ලංකාවට පැමිණ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධුරය ලබාගන්නට සිය සොයුරු සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන් ද්විත්ව පුරවැසිභාවය ලැබීය. ඉන්පසුව ඔහු චීනයේ විවිධ පුහුනු පාඨමාලා හදාරමින් සහ චීන අවි යුද්ධයට මිලදී ගැනීමට මැදිහත් වෙමින් මහින්ද රාජපක්සගේ චීන හිතවාදි පිළිවෙත අනුව කටයුතු කළේය. ඔහු පසුගිය වසර තුළ ද චීනයේ මාස කිහිපයක් ගත කරමින් චීනයට සමීපතාව ප්‍රකට කළ අයෙකි. එපමණක් නොව, ඔහු ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ අනුමැතිය හිමිවනතුරුම අමෙරිකානු පුරවැසිකම අත්හැරීම කල්දමමින් සිටි අයෙකු ලෙස විවචෙනයට ලක්ව සිටී.

වසර පහක් ඇමතිකම් කළ සජිත් ප්‍රේමදාස විදේශ බලවේග සම්බන්ධයෙන් මතදැක්වීම් නොකර ඉන්නට ප්‍රවේශම් වුවද පසුගිය වසරේ ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමඟ ඇතිවූ දේශපාලන කැළඹීමේදී රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අගමැතිධුරයට පත් කිරීම දක්වා ක්‍රියාවලියේදී ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළේය. අමෙරිකානු උවමනාවන් ඉටුකරන්නකු ලෙස සැළකෙන රනිල් වික්‍රමසිංහ ඒ නිසාම ඉන්දිය රජයේ අනුග්‍රහයෙන් 2015දී රාජපක්ෂ රෙජීමය පරදවා බලයට පත් වූ බවට රාජපක්ෂවරුන්ගේ විවේචනයට ලක් විය.

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරයේදී ගුවන් තොටුපොළට ගොස් ඔහු පිළිගැනීමට පරිවාර ඇමති ලෙස පැමිණියේද සජිත් ප්‍රේමදාසය. 2015 සිට ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල වර්ධනයක් දක්නට ලැබිණි. එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ද විවිධ අංශවලින් වැඩි විය. ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කළ අතර විශේෂයෙන්ම වරාය, ගුවන් සේවා, දුම්රිය යනාදී අංශවලට ඉන්දියාව දුන් දායකත්වය කැපී පෙනුණි. ඒ අතරවාරයේදී සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව ශ්‍රී ලංකාව තුළ චීනයේ පැවැත්ම ද සමබරව පවත්වාගෙන යෑමට දැඩිව උත්සුක විය.  

මේ ආකාරයට මෙරට 7වැනි ජනාදිපතිවරයා තේරීමේ ජනාධිපතිවරණය ජාත්‍යන්තර දේශපාලනයේ පොරපිටියක් බවට පත්ව තිබේ. ලංකාවේ මිලියන 16කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශවන ඡන්ද ප්‍රමාණය 80% ප්‍රතිශතය ඉක්මවා යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා පළ කරයි. ඒ කුමන සංඛ්‍යාලේඛනයකින් හෝ එම ජනාධිපතිවරණයේදී අනාගත ලංකාවේ මිලියන 22ක් ජනතාවට හිමිවන ඉරණම ප්‍රකාශ නොවන බවද ස්ථිරය.

ජනාධිපතිවරණයේ ප්‍රතිපලය අවසන් වශයෙන් නිකුත් කෙරෙතැයි අපේක්ෂිත නොවැම්බර් 17 රාත්‍රි හෝ 18 වැනිදා අලුයම ජයග්‍රාහකයා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්වනු ඇති බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. එසේවුවද මේ ජනාධිපතිවරණයේ දක්නට ලැබෙන ජාතික හා ජාත්‍යන්තර බලපොරය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකරන ඇතැම් දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ පරාජිතයා පිළිබඳ දැනගන්නට පුරවැසියන් කිසිවකුට අවශ්‍ය නම් නිවසේ කැඩපත හමුවට යායුතු බවයි.