தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ජනාධිපතිවරයා අගමැතිවරයෙකු ගැන නොව විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන සිතිය යුතුයි - සරත් විජේසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරයා අගමැතිවරයෙකු ගැන නොව විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන සිතිය යුතුයි – සරත් විජේසූරිය



ජනාධිපතිවරයා කතා කළ යුත්තේ හොඳ අගමැතිවරයකු පත්කරගැනීම නොව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසා තිබේ. ‘ලංකාදීප’ පුවත්පත සමඟ පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදුළුවාවේ සෝභිත හිමියන් සමග අස්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් වී ඇතැයි ද ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී නැවත පත්කරගැනීමට ජනාධිපතිවරයා නුදුසුස්සෙකු යැයි ද එපරිද්දෙන්ම ඊළග පාර්ලිමේන්තුවක අගමැතිවරයකු වීමට රනිල් වික්‍රමසිංහ මහතා ද නුසුදුස්සෙකු බවයි.

සරත් විජේසූරිය ප්‍රමුඛ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරනු ලැබුවේ විධායක ක්‍රමය අහෝසි කරවා ගැනීමට යයි පවසමිනි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම උදෙසා කළයුතු ප්‍රධානම කටයුත්ත ලෙස ඔවුන් එය දක්වන ලදී. එසේම පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පියවරක් ලෙස සළකමින් ඔවුන් සියළු දෙනා 19 වන ව්‍යවස්ථා සංශෝධනයටද සහාය පළ කරන ලද නමුත් ජනාධිපතිගේ ධූර කාලය වසර 5 දක්වා පහළ දැමීමට අමතරව ඉන් සිදුවූවේ ඉතා අල්ප දෙයකි.

ඉන් අනතුරුව මහාචාර්ය සරත් විජේසූරිය නියෝජනය කරන සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ගෙන එන 20 වන සංශෝධනයටද සහාය පළ කරමින් සිටිනු දක්නට ලැබේ. ඉදිරියේදීද නැවතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පවසන ඕනෑම කෙනෙකු සමඟ මෙම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සිට ගනු ඇති බවට සාධරණ සැකයක් ඇතිවීම වැළක්විය නොහැක. මේ ආකාරයට සරත් විජේසූරිය ඇතුළු සිවිල් සංවිධාන බොහොමයක් දිගින් දිගටම රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය බවට ලඝු කරමින් සිටියි.