தமிழ்
English
Contact
Friday 24th May 2019    
ජනාධිපති කළ වරදට සමාව ගත යුතුයි - අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති කළ වරදට සමාව ගත යුතුයි – අනුර දිසානායක



තමන් විසින් ගත් තීරන නිසා ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතියෙන් සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක පවසයි.

අද (7) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. මූලස්ථාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. නායකයා මේ බව පැවසීය.

ඔහු මෙසේද පැවසීය.

“මේ තරම් විගඩම්කාරී විකටකාරී අරාජික තත්වයකට පත්කළේ ජනාධිපතිවරයා විසින්. ආර්ථිකය කඩාවට්ටලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කොට ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට හෑල්ලූවට ලක්කළේ ජනාධිපතිවරයා විසින්. ඒ නිසා ඔහු කළ මෙම දේශපාලන අපරාධය සම්බන්ධයෙන් හෘද සාක්‍ෂියක් තිබෙනවා නම් ඔහු ජාතියෙන් සමාව ගත යුතු බව අපි අවධාරණය කරනවා. තව දුරටත් තමන්ගේ දේශපාලන කුමන්ත‍්‍රණය ඉදිරියට ගෙන යාමට උත්සාහ නොකොට ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන ලෙස අපි ජනාධිපතිවරයාට බලකරනවා.“

තවදුරටත් අදහස් පළ කළ අනුර දිසානායක මෙසේද කියා සිටියේය.

“මේක රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයක්. මෛතී‍්‍රපාල සිරිසේනත්, මහින්ද රාජපක්‍ෂත් එක්වී බලය පැහැරගත් දේශපාලන කුමන්ත‍්‍රණයක්. එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණය අදාල බරින් තේරුම් ගත යුතුව තිබෙනවා. රනිල්, මහින්ද යාලූ මිත‍්‍රයන්වී කරට අත දා ගැනීමෙන් මෙම ප‍්‍රශ්නය කෙළවර කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ. මෙවැනි රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණවලට පිළිතුරක් ලබාදිය යුතුයි. එනිසා මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට හවුල්වූවන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුව මැදිහත්වී පනතක් සම්මත කරගැනීමෙන් කොමිසමක් පත්කළ යුතු බව අපි අවධාරණය කරනවා. එම කොමිසමේදී අපේ රටේ මාධ්‍ය ආයතන කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ සිට කි‍්‍රයාකිරීම සම්බන්ධයෙන්ද වගවිභාග කළ යුතුව තිබෙනවා. මෙවැනි දේශපාලන කුමන්ත‍්‍රණයක් සිදුවනව විට ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අපේ රටේ මාධ්‍ය ආයතන වැඩි ප‍්‍රමාණයක් සිටගත්තේ කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ.“

මින් පෙරද මෙසේ සමාව ගැනීම් පිළිබද අදහස් ජ.වි.පෙ. විසින් පළ කර තිබිණි. ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වනදා ප්‍රජාතන්ත්‍රවිරෝධීව, නීතිවිරෝධීව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් සිදු කළ කුමන්ත්‍රණය හේතුවෙන් මේ වනවිට මුළු රටම අරාජික වන තත්වයකට පත්ව ඇති බැවින් තමන් කළ වැරැද්ද නිවැරදි කර ජනාධිපතිවරයා මුළු ජාතියෙන්ම සමාව ගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කරණ ලදී. ඔහු  අගමැති කාර්යාලයේ වැය ශීර්ෂය අත්හිටුවීමේ යෝජනාව සම්බන්ධ විවාදයට එක්වෙමින් එසේ පැවසූවේ ඔක්තෝබර් 29 වැනිදා පාර්ලිමේන්තුවේදීය.

කෙසේවෙතත් පසුගිය දිනවල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 19 වැනි ආණ්ඩු ක්‍රම වයවස්ථා සංශෝධනය භාවිත කරමින් සිදුකළ ක්‍රියාකාරකම් සම්බන්ධව ජනතාව විසින් දැඩි ලෙස විරෝධය දැක්වූයේ ජනාධිපතිවරයා බලයට පත් කිරිමටත් එම ව්‍යවස්ථා සංශෝධනය බිහි කිරිමට කටයුතු කළ දේශපාලන නායකයන්ටය. එහිදී 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් නොකරමින් එහෙත් රාජපක්ෂ දැඩි ලෙස විවචෙනය කරමින් මෛත්‍රිපාල දිනවීමට ආධාර කළ ජ.වි.පෙ. පසුව, රනිල්-මෛත්‍රි හවුල් ආණ්ඩුවේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රැසක් හිමිවන බවටත් විධායක බලය දුර්වල කරන බවටත් ජනතාවට දේශපාලන ලණු ගිල්වන්නට කටයුතු කළ බව දේශපාලන විවේචකයන් විසින් සදහන් කර තිබේ. එසේම දැන් ජ.වි.පෙ. නායකයන් ජනතාවගෙන් සමාව ගතයුතු බවට බලකර කියන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පමණකි.