தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
ජනාධිපති ලංකාගම ගියත් විනාශය දිගටම! - පරිසර ඇගයුම් නැතිවම පාර හදන්න නියෝග! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ලංකාගම ගියත් විනාශය දිගටම! – පරිසර ඇගයුම් නැතිවම පාර හදන්න නියෝග!



නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වනයට යාබද වන කලාපයට හානිවන බව අනාවරණයකර තිබියදී එම මාර්ග ඉදිකිරීම දින 90ක් තුළ අවසන් කරන්නට ජනාධිපතිවරයා නියෝගකර ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග සිදුකර ඇති පරිසර හානි කිහිපයක් අතර පළමුව මාධ්‍ය විසින් සිදුකළ අනාවරණයක් හරහා ජනතාවගේත් පරිසරවේදීන්ගේත් විරෝධයට ලක්වූ සිංහරාජ වනවිනාශය මේ ආකාරයට ඉදිරියට සිදුවන්නට නියමිතය. මෙවැනි මාර්ගයක් ඉදිකරන්නට වනසංරක්ෂණ හෝ පරිසර අමාත්‍යංශ අවසරයක් ගෙන නැතිවා පමණක් නොව, සිදුවන්නට නියමිත පාරිසරික හානි පිළිබඳ නිසි ඇගයුමක්ද සිදුකර නැත. මේ තත්වය සම්බන්ධ කිසිදු විභාග කිරිමකින් තොරව මාර්ග ඉදිකිරීම භාරදී තිබුණේ යුද හමුදා භටයන්ටය. ජනාධිපතිවරයා සමග අද (29) ලංකාගම ගිය රජයේ නිලධාරින් අමතා මාර්ග ඉදිකිරීම් කටයුත්ත දිගටම සිදුකරන්නට උපදෙස් දී ඇත. එහෙත් විනාශයට ගවෙීමක් කරන්නට මෙන් වන රක්ෂිතයට එක් නිවසකින් පැල 03 බැගින් පැල 2100 සිටුවන්නට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරණ ලද බව රජයේ පුවත් වෙබ් අඩවියේ වාර්තා පවසයි. ජනාධිපතිවරයා විශේෂ හෙලිකොප්ටරයකින් ලංකාගම වෙත පැමිණි බවද ප්‍රභූන් පිරිසක් ලංකාගමට වැටී ඇති මාර්ගයේ ගමන්කර ඇති බවද ප්‍රදේශවාසීහු පවසති. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා , සම්පත් අතුකෝරළ, නිපුණ රණවක, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ අමාත්‍යාංශ රැසක නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

කෙසේවෙතත් ලංකාගමට ඉදිකරන මාර්ගයේ අවශ්‍යතාව වන්නේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යාම, නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී අවශ්‍යතා බව ජනතාවගේ අදහස විය. එහෙත් පරිසර විනාශයක් කරමින් මේ නව මාර්ග ව්‍යාපෘතිය යුද හමුදාව ලවා ආරම්භ කරණ ලද්දේ අඩි 15ක කාපට් මාර්ගයක් ලෙස ප්‍රදේශයේ හෝටල් හිමියන්ගේ අරමුණු මත බවට පරිසරවේදින්ගේ චෝදනාව විය. විය.
මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ.
ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට පැවති කැඩි බිඳීගිය කොටස් නැවත පිළිසකරවන අවස්ථාවක් ලෙස මෙය සිදුවේ.