தமிழ்
English
Contact
Friday 14th August 2020    
ජයලත් මනෝරත්න, ජීවන රංගභූමිය හැර යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජයලත් මනෝරත්න, ජීවන රංගභූමිය හැර යයි!



ප්‍රවීන නාට්‍ය අධ්‍යක්ෂවරයකු, රංගවේදියකු, රංගකලා ආචාර්යවරයකු, ගායන ශිල්පියකු, හා කවියකු වූ ජයලත් මනෝරත්න අද(12) අලුයම අභාවයට පත් විය.

කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න, 1948 ජූනි මස 12 වැනිදා නුවරඑලියේ දෙහිපේ ග්‍රාමයේ උපත ලැබීය. ලිපිකරුවෙක් ලෙසට රාජ්‍ය සේවයට එක්ව එහි වසර දහසයක් සේවයකර රැකියාවෙන් ඉවත් වී පූර්ණ කාලීනව රංගනය ම තෝරාගත් මනොරත්න කලාකරුවා විසින්ම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය මහත් අවධානයට ලක් විය.

පාසල් සමයේදී ‘අස්පගුඩුං’ නාටකයෙන් වේදිකාවට පිවිසි ඔහු පසුකාලීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ ශිෂ්‍යයකු ලෙස රංගනය හදාරන්නට සමත් විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙන්ම මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය ගනනාථ ඔබේසේකර, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තම්බයියාපිල්ලේ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය කාල් ගුණවර්ධන, මහාචාර්ය පී.ඊ.ඊ.ප්‍රනාන්දු, ආචාර්ය සිරිමා කිරිබමුණ, ආචාර්ය ජේ.බී දිසානායක, මහාචාර්ය ම.ව.සුගතපාල ද සිල්වා, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය රම්මන්ඩල, මහාචාර්ය කේ.එන් ජයතිලක, මයිකල් ප්‍රනාන්දු, කේ.එන්.ඕ.ධර්මදාස, ඒ.කේ.ගුණසේන, කුසුමා ජයසූරිය, ආචාර්ය බර්ටි ගංගාධාර ආදීන්ගෙන් සුසැදි ආචාර්ය මණ්ඩලය සිය ශාස්ත්‍රිය ජිවිතය පෝෂණය කළ බව මනෝරත්න පසුව ප්‍රකාශකර තිබුණා. වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වැනි සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයයන්හි රංග දායකත්වය පෑ ඔහු සරත්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග පෙම් සබඳතාවකින් විවාහ විය. පසුකාලයක සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් මනෝරත්න තවදුරටත් පුළුල් ලෙස විෂය පිළිබඳ මනා දැනුමක් ලැබගන්නට සමත් විය.

රංගධරයකු ලෙස ඔහු මැවු විශිෂ්ට භූමිකා වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන රංගන කලාපයන් සියල්ලම ආවරණය වේ. එහිදී ගම්පෙරළිය ජිනදාස, ගුරුතරුව නාට්‍යයේ සාහිත්‍ය ගුරුතුමා, සඳ අමාවකයි ටෙලි නාට්‍යයේ පීටර් අයියා, සකිසඳ එලියස් ටෙලි නාට්‍යයේ එළියස් අප්පුහාමි, බෝඩිම නාට්‍යයේ ජයලත් ආදිය දැක්විය හැකිය.

කවියකු ලෙසද ප්‍රතිභාවක් සහිත වූ ඔහු 80 දසකයේදී ‘දොළොස් මහේ පහන’ කාව්‍ය සංග්‍රහයේදී සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති සමග සිය කාව්‍ය නිර්මාණ සහෘදයන්ට පිරිනැමීය. ඉන්පසුව, සිංදු බිංදු, ගල්වඩු රාළ වැනි ළමුන් වෙනුවෙන් වූ  නිර්මාණ මෙන්ම, දවස තවමත් තරුණයි, මිනිහට නින්ද යන්න ඇති, පියදාස සහ කුමාරිය (කෙටිකතා – බුද්ධදාස ගලප්පත්ති සමග) ඔහු විසින් කෘති ලෙස ඉදිරිපත් කළේය. සිය ශාස්ත්‍රිය අධ්‍යයනයේ පලයක් ලෙස ඔහු ‘සිංහල නාටකයේ ප්‍රසාංගික හා කලාත්මක වර්ධනය’ නමින් කෘතියක්ද ලියා පල කළේය.

මේ විශිෂ්ට කලාකරුවා 1980 සිට මේ දක්වා වූ 30 වසරක කාලය තුළ හෙතෙම නාට්‍ය 15 ක් පමණ නිර්මාණය කර තිබේ.

ජයලත් මනෝරත්න රංගධරයා රගපෑ වේදිකා නාට්‍යාවලිය

  1. අස්පගුඩුං 1966
  2. සිංහබාහු – 1966 – ගම්වැසි
  3. මනමේ – 1968 – ශිෂ්‍යයෝ
  4. පේමතො ජායති සොකො 1969 – උද්දාල බමුණා
  5. මකරා – 1973
  6. දුන්න දුනු ගමුවේ – 1974 – බැගෑසේන
  7. අසාත මන්තරේ – 1974 – දිසාපාමොක් ඇදුරු
  8. හිරු නැති ලොව – 1974 – මුහන්දිරම්
  9. රතු හැට්ටකාරී – 1974 – ගුරුන්නාන්සෙ
  10. ගජමන් පුවත – 1975 – කටුවානේ මුහන්දිරම්, ගජමන් ආරච්චි, පුයි අප්පු
  11. සතුරු මිතුරු – 1976 – කෝසල
  12. නරිබෑනා 1976 – කපුරාළ
  13. නරියා සහ කේජු – 1976 – කේබල්
  14. අන්ගාරා ඟඟ ගලා බසී 1978 – රොඩික්
  15. මා වැනි බිලින්ඳා – 1978 – ලොකු සාදු
  16. සිරිසඟබෝ – 1978 – බම්මන්නා
  17. තවත් උදෑසනක් – 1978 – රන්බණ්ඩා
  18. අහස් මාලිගා – 1978
  19. අඬිරැළේ නාඩගම 1978 – ජොනතන් ජෙරමියා පීචම්
  20. පොකුරු වැස්ස – 1979 – රත්න පාල
  21. සත සහ සත -1980 – දේශබන්ධු
  22. මහගිරි දඹ – 1980
  23. මහාසාර – 1980 – රජ
  24. වෙස්සන්තර – 1981 – වෙස්සන්තර රජ
  25. තාරාවෝ ඉගිලෙති – 1981 – පිනා
  26. මෝදර මෝල – 1982 – ලියන මහත්තයා
  27. දිවැස් හෙලනු මැන – 1982 – පළමු දෙවියා
  28. එලොව ගිහින් මෙලොව අවා – 1982 – කලු අප්පු
  29. සිහින සාප්පුව – 1983 – ධනපාල
  30. මධුර ජවනිකා – 1983 – සින්ඩ්බෑඩ්, ලන්දේසියා, ජැන්ඩි සිංඤේ
  31. පුත්‍ර සමාගම – 1985
  32. මායා දේවී – 1985- මුදලාලි
  33. සුභසාධක – 1985 – හියු බවුස්ටඩ්
  34. රයිනෝසිරස් – 1986 – බෙරෙන්ජර්
  35. සුභ සහ යස 1986
  36. තලමල පිපීලා -1988
  37. නෙළුම් පොකුණ -1988 – මහාචාර්ය කාලදේව
  38. දෙබිඩ්ඩෝ – 1989 – අන්තෝනියෝ බෙරාර්දි
  39. රාස්ස සහ පරාස්ස – 1989
  40. සහතික නොකළ මරණයක් – 1989 – අමදියෙස්
  41. උක්දඬු ගින්න – 1990
  42. ලුසින්දේ – 1990
  43. සොක්‍රටීස් – 1990 – සොක්‍රටීස්
  44. වාසුදේව – 1990 – වාසුදේව
  45. ද්විත්ව – 1991
  46. නාග ගුරුළා – 1992
  47. ඔත්තුකාරයා – 1992
  48. අන්දරේලා -1993
  49. ගුරු තරුව -1996
  50. සඳගිර -1998
  51. කනේරු මල් – 2000
  52. අපේ පන්ති කාමරය – 2000
  53. ලෝකය තනියායක් – 2005
  54. හොරු සමඟ හෙළුවෙන් – 2006
  55. සුද්දෙක් ඔබ අමතයි – 2010
  56. බුරුවා මහත්තයා 2012
  57. සෙල්ලම් නිරිඳු – 2013
  58. හඬ නිහඬ – 2016
  59. මාල වලලු

ඔහු විසින් නිමැවූ සොක්‍රටීස්, පුත්‍ර සමාගම, ගුරුතරුව, අන්දරේලා, ලෝකය තනි යායක්, බූරුවා මහත්තයා ආදී විශිෂ්ට වේදිකා නාට්‍ය මෙරට සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සම්භාවනාවට පත් නිර්මාන අතර වේ.

ඔහුගේ අතින් නිමැවුණු නාට්‍යාවලිය

  1. ‘මහගිරි දඹ’ (1980)
  2. ‘පුත්‍ර සමාගම’ (1985)
  3. ‘තලමල පිපීලා’ (1988)
  4. ‘අන්දරේලා’ (1993)
  5. ‘ගුරු තරුව‘ (1996)
  6. ‘සඳගිර’ (1998)
  7. ‘කනේරු මල්’ (2000)
  8. ‘ලෝකය තනියායක්’ (2005)
  9. ‘මකරා’ (2007)
  10. ‘සුදු රෙදි හොරු’ (2008)
  11. ‘බුරුවා මහත්තයා’ (2012)
  12. ‘සෙල්ලම් නිරිඳු’ (2013)
  13. ‘හඬ නිහඬ’ (2016)

ඔහු රංග දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍ය ප්‍රමාණය අතර. ඇබැද්දිය, අරුංගල්, බෝඩිම, දූ දරුවෝ, දුම්රිය අන්දරය, ගල් පිළිම සහ බොල් පිළිම, ගජමන් නෝනා, ගම්පෙරළිය, ඉරට හඬන මල්, ජීවිතය දකින්න, කන්දෙ ගෙදර, මඩොල්දූව, මගේ කවිය මට දෙන්න, මිනිස්සු, මෝරාගිරි කන්ද, නොපිපෙන මල්, පස්සේ ගෙනා මනමාලි, පැටීලගෙ කතාව, පවර මෙනුවර, පුංචි පුතු, රම්‍ය සුරම්‍ය, සකිසඳ එලියස්, සඳ අමාවකයි, සූරිය කුසුම, තුන්පත් රටාවක ලස්සන, උතුවන් කන්දේ සූර සරදියෙල්, වීදුරු මල්, වළාකුලු, වන බිමේ සිරකරුවෝ, වර්ණ, වැටෙන් එහා, රොමාගේ වාසනාව යනාදී නිර්මාණ වේ.

දොළොස් මහේ පහන, දවස තවම තරුණයි, සින්දු බින්දු, මිනිහට නින්ද යන්න ඇති සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය ඔහු විසින් රචනා කළ කෘති වේ.

මනෝරත්න නම් විශිෂ්ට රංගධරයා 1976 තිලක හා තිලකා චිත්‍රපටියෙන් සිනමාවට පිවිසි මනෝරත්න රංගනයෙන් දායක වූ චිත්‍රපට ප්‍රමාණය පනහකට ආසන්නය.  1979 – හඳයා, 1980 – සිරිබෝ අයියා, 1987 – හිත හොඳ චණ්ඩියා, 1987 – මංගල තෑග්ග, 1991 – ස්ත්‍රී, 1992 – උමයංගනා, 1992 – සිසිල ගිනිගනී, 2002 – පුංචි සුරංගනාවී, 2003 – සුදු කළුවර, 2004 – සූරිය අරණ, 2004 – ප්‍රේමවන්තයෝ, 2004 – ගිනි කිරිල්ලි, 2006 – හිරි පොද වැස්ස, 2006 – භේරුන්ඩ පක්ෂියා, 2008 – සිරි රජ සිරි, 2008 – වලා පටල, 2009 – බිංදු, 2010 – බඹර වලල්ල, සප්ත කන්‍යා, සමනළ තටු, හිරිපොද වැස්ස, ප‍්‍රවේගය, හෝගානා පොකුණ,  ජීවිතයෙන් ජීවිතයක්, මුහුදු ලිහිණි, ප්‍රාර්ථනා, අතුරු මිතුරු, හිම ගිර,  රතු අලුයම, සුදු කළු සහ අළු, දරුවනේ, දේදුණු ආකාසේ, තාල සහ ඒලෙවල්, සූම්, ගෝල් වැනි නූතන නිර්මාණ දක්වා වූ දායකත්වය අනභිබවනීය වේ.

ඔහු රංග දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍ය ප්‍රමාණය අති විශාලය. ඇබැද්දිය, අරුංගල්, බෝඩිම, දූ දරුවෝ, දුම්රිය අන්දරය, ගල් පිළිම සහ බොල් පිළිම, ගජමන් නෝනා, ගම්පෙරළිය, ඉරට හඬන මල්, ජීවිතය දකින්න, කන්දෙ ගෙදර, මඩොල්දූව, මගේ කවිය මට දෙන්න, මිනිස්සු, මෝරාගිරි කන්ද, නොපිපෙන මල්, පස්සේ ගෙනා මනමාලි, පැටීලගෙ කතාව, පවර මෙනුවර, පුංචි පුතු, රම්‍ය සුරම්‍ය, සකිසඳ එලියස්, සඳ අමාවකයි, සූරිය කුසුම, තුන්පත් රටාවක ලස්සන, උතුවන් කන්දේ සූර සරදියෙල්, වීදුරු මල්, වළාකුලු, වන බිමේ සිරකරුවෝ, වර්ණ, වැටෙන් එහා යනාදී නිර්මාණ ඒ අතර වේ.

දොළොස් මහේ පහන, දවස තවම තරුණයි, සින්දු බින්දු, මිනිහට නින්ද යන්න ඇති, සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය ඔහු විසින් රචනා කළ කෘති වේ.

කලක් රෝගාතුරව සිට සුවය ලබා සිටි ඔහු අභාවයට පත්වන විට 71 වැනි වියේ පසුවිය. බොරලැස්ගමුව, අබේරත්න මාවතේ අංක 18 නිවසේ විසූ මේ ප්‍රවීන හා අදීන කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 15 වැනි බදාදා සිදුකරන්නට නියමිතය.

මේ ප්‍රවීන හා අදීන කලාකරුවාගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

http://jayalathmanorathna.org/

 

කලකට පෙර මනෝරත්න කලාකරුවා විසින් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ද සමග සිටි අවස්ථාවක ඉදිරිපත් කළ සරල රංගනයක්….